රෝගීන්ගෙන් 75% කට බෙහෙත් ගත්තත් ප්‍රෙෂර් බහින්නේ නෑ – විශේෂඥ වෛද්‍ය රුවයිස්‌ හනීෆ්

(21.06.2018 – divaina.com)

මෙරට රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබන අධිරුධිර පීඩනයෙන් (හයි බ්ලඩ් ප්‍රෙෂර්) පෙළෙන්නන්ගෙන් සියයට 75 කට රෝග තත්ත්වය සඳහා බෙහෙත් නියම කළද ඔවුන්ගේ රුධිර පීඩන මට්‌ටම පහළ නොබසින බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවයිස්‌ හනීෆ් මහතා “දිවයින”ට පැවසීය.

බෙහෙත් නියම කිරීමෙන් රෝග තත්ත්වය පාලනය කිරීමට හැකිව ඇත්තේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගෙන් සියයට 25 කගේ පමණක්‌ බවද වෛද්‍ය හනීෆ් මහතා කීවේය.

මෙසේ බහුතරයකගේ අධි රුධිර පීඩන මට්‌ටම පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ නියම කරන බෙහෙත්වල ක්‍රියාකාරීත්වය මතද, දෛනික චර්යා රටාව හෝ වෙනත් හේතුවක්‌ මතද යන්න පිළිබඳව මෙතෙක්‌ අනාවරණය වී නොමැති බව සඳහන් කළ වෛද්‍ය හනීෆ් මහතා පාලනය නොවූ අධි රුධිර පීඩන මට්‌ටමින් පෙළීම මෙරට හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රෝක්‌) වැනි රෝගවලට ගොදුරු වීමෙන් මියයන සංඛ්‍යාව ඉහළ යැමට හේතුවී ඇතැයි විශ්වාස කෙරෙන බව අවධාරණය කළේය.

“සමබර අහරක්‌ නිරෝගී සිරුරක්‌” මැයෙන් වූ වැඩසටහනක්‌ මෙම ඉරිදා (24 දා) උදැසන 6.15 සිට මහජනතාවට නොමිලයේ පැවැත්වීමට වෛද්‍ය සංගමය කටයුතු යොදා තිබේ.

ඒමන්ති මාරඹේ

********************************************

ඇමරිකාවේ උපාය
(21.06.2018 – divaina.com)

ඉන්දීය සම්භවයක්‌ ඇති ඇමරිකානුවෙක්‌ වන අතුල් කේෂාප් මෙරට ඇමරිකානු තානාපති ලෙස වැඩ භාර ගත්තේ පසුගිය 2015 වසරේදීය. කේෂාප් මහතා සිය තානාපති ධුර කාලය ඉකුත් වී තව ටික දිනකින්ම මෙරටින් පිටව යනු ඇත. කේෂාප් මහතා මීට සති දෙකකට පමණ පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූයේ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදීය. හිටපු ජනාධිපතිවරයා හා ඇමරිකානු තානාපති අතර පැවැත්වූ සාකච්ඡාව ගැන මුලින්ම කරුණු හෙළිකර තිබුණේ යාපනයේ පළවන දෙමළ පුවත්පතක්‌ විසිනි. එහි සඳහන්ව තිබුණේ කුමක්‌ද? ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙරට ජනපති වීමට ඉඩ ලබා නොදෙන බව තානාපතිවරයා විසින් හිටපු ජනපතිට අවධාරණය කර ඇති බවයි. යාපනයේ පුවත්පත කරනු ලැබූ මේ හෙළිදරව්වත් සමඟම දකුණේ මාධ්‍යයද මේ හමුව ගැන උනන්දු විය. කවරක්‌ නමුත් බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියේ මෙරට ජනපති අපේක්‍ෂකයා තෝරන්නට හෝ ඔහුගේ හොඳ නරක විග්‍රහ කරන්නට ඇමරිකාවට ඇති අයිතිය කුමක්‌ද යන්නයි. ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගත යුතු වන්නේ ඇමරිකාවට අවශ්‍ය පරිදි නම් නොවේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝකයේ බොහෝ රාජ්‍යයන්වල බල හුවමාරුව සඳහා මැදිහත් වේ. එය ඔවුනට සූදුවක්‌ වැන්න. එහෙත් මේ හුවමාරු නිසා සාර්ථක රාජ්‍යය අසාර්ථක රාජ්‍යයන් බවට පත්විය.

1956 මැයි මාසයේ මෙරට පැවැති මහ මැතිවරණයට ඇමරිකාවේ බලපෑම් එල්ල වූ බව ප්‍රකට කරුණකි. එදා සිට අද දක්‌වාම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය උත්සාහ කරන්නේ තමන්ට අවශ්‍ය ලෙස මෙරට නායකයන් මෙහෙයවීමටය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කැමැති වුවත් අකැමැති වුවත් එය මෙරට ජනතාවට ප්‍රශ්නයක්‌ නොවේ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ උපදෙස්‌ මෙරට ඡන්ද දායකයන්ට වැදගත් නැත. 2015 ජනාධිපතිවරණයටත් විදේශ බලපෑම් ඉතා දැඩි විය. එහිදී වොෂින්ටනය මෙන්ම දිල්ලිය ද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළෝය. නමුත් රට ඉදිරියට ගොස්‌ ඇත්ද? නැතිනම් එක තැන පල්වන තත්ත්වයට පත්ව නැද්ද?

අතුල් කේෂාප් ප්‍රමුඛ ලොව සෑම රටකම වෙසෙන ඇමරිකානු තානාපති නිලධාරීන්ගේ මැදිහත්වීම් යහපත් හෝ ශුද්ධ කාරණා ලෙස දකින්නට නොහැකිය.

අද සිරියාවේ සිදුවන්නේ කුමක්‌ද? ලිබියාව කෑලි කෑලිවලට කැඩී බෙදී වෙන්වීමේ තත්ත්වයක්‌ උදාවී ඇත්තේ කුමන හේතුවක්‌ නිසාද? ඉරාකය ඛේදජනක ඉරණමකට මුහුණපා ඇත්තේ මන්ද? මේ සියල්ලම ඇමරිකාවේ අතපෙවීම් නිසාය. 2003 දී ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේය. මේ ආක්‍රමණය නිසා ඉරාක වැසියන් ලක්‍ෂ හයකට අධික පිරිසක්‌ මරණයට පත්විය. අද ඇමරිකාව ඉරාකය අතහැර දමා ගොස්‌ ඇතත් දිනපතා බෝම්බ පිපිරීම් වලින් මියයන ප්‍රමාණයේ නම් අඩුවක්‌ නැත. සදාම් හුසේන් යටතේ ඉරාකය සාර්ථක රාජ්‍යයක්‌ විය. සුන්නි – ෂියා භේද තිබුණේ නැත. අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම් බිහිව තිබුණේ නැත. සදාම් විනාශ කර ලෝක සාමය ඇති කිරීමේ ඇමරිකන් උපාය නිසා සිදුවූයේ කුමක්‌ද? කලාපයම අස්‌ථාවර වීම නොවේද? අදත් ඉරාකයේ මිනී කඳු ගොඩගැසේ. ලිබියාවේ පාලක ගඩාෆි යටතේ එම රාජ්‍යය සාර්ථක රාජ්‍යයක්‌ විය. අරාබි වසන්තය සමඟ ගඩාෆි එළවීමට ඇමරිකාව ප්‍රමුඛවම සහාය ලබාදුන්නා පමණක්‌ නොව ගුවන් ප්‍රහාර ද එල්ල කිරීමට නිර්ලෝභී විය. නමුත් ගඩාෆි නැති ලිබියාව අපායක්‌ වී ඇති බව නොදන්නේ කවරකුද?

මේ උදාහරණ කිහිපයක්‌ පමණි. ඇමරිකාව කිසි විටක සද්භාවයෙන් දේශපාලන මැදිහත්වීම් සිදු නොකරයි. ඒ සියල්ල කපටි තක්‌කඩි මැදිහත් වීම්ය. එනිසාම ඇමරිකාවේ කැමැත්ත අකැමැත්ත කවරක්‌ වුවත් හත් වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ටය. මෙරට දේශප්‍රේමී ජනතාව ඇමරිකානු තානාපතිවරුන්ගේ කූට උපායන් ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කිරීම වටී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *