මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
(22.06.2018 – 12.25 +0530 – hirunews.lk/sinhala)

මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ෴

——————————————-
(22.06.2018 – 11.55 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අදාල වෙඩි තැබීම සඳහා කොල්ලකරුවන් පැමිණි යතුරු පැදි දෙකක් සහ ස්වයංක්‍රීය ගිණි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

——————————————-
(22.06.2018 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර මීට ටික වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඉන් පොලිස් නිලධාරින් 3 දෙනෙකු සහ සිවිල් පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුවයි පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කොල්ලකරුවන් අතරින් එක් අයෙකුටද වෙඩි තැබීම හේතුවෙන් තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

කොල්ලකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළා ෴

++++++++++++++++++++++++++++++++++

මාතර වෙඩි තැබීම-1ක් සැකකරුවෙක් අත්අඩංගුවට-රෝහල් ගත කළ පොලිස් නිලධාරියා මියයයි
(22.06.2018 – 12:25 +0530 – sinhala.adaderana.lk)

මාතරදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, පොලිස් කොස්තාපල් 69532 වීරසිංහ නැමති නිලධාරියෙකි.

මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර එම පොලිස් නිලධාරියා මියගොස් ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සෙසු පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මාතර, හුණුකොටුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු මාලිගාතැන්න, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි කංකානම්ලාගේ චාමර ඉන්ද්‍රජිත් යන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

——————————————

++++++++++++++++++++++++++++++++++++

පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්! වෙඩි වැදුනු කොල්ලකරුවෙක් රැගෙන කල්ලිය පලායයි! 5 ක් රෝහලේ
(22.06.2018 – 11:17 +0530 – nethnews.lk)

මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු, පිරිමියකු සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කොල්ලකරුවකු ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් ඇතැයිද පැවසෙනවා.

කොල්ලකරුවන් පිරිසක් විසින් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකා පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය හා කොල්ලකරුවන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට වෙඩි වැදුනු පොලිස් නිලධාරීන් තිදෙනකු සහ කාන්තාවක් හා පිරිමියකු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. එක් පොලිස් නිලධාරියකුගේ තත්වය බරපතල බැවින් ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා.

———————

මාතර නගරයේ අද (22) උදෑසන සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකු මින් තුවාල ලබා රෝහල්ගතකර සිටිනවා.

පලාගිය සැකකරුවන්ගෙන් අයෙකු පසුව අත්අඩංකුවට ගෙන තිබෙනවා.











++++++++++++++++++++++++++++++++++++

මාතර කොල්ලයට, කොස්ගොඩ තාරකගේ මව ඇතුලු 5 ක් අත්අඩංගුවට – මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස්වීමක්
(22.06.2018 – 17:49 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පිරිසක් උත්සාහ කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය එම කාන්තාව බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය ජානකී ප්‍රියන්ති සොයිසා නම් අයෙක්.

ඇයගේ නිවසේ තිබී මෙරට නිශ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතොරම් භාවිත කරන ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

මේ අනුව සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 5 ක්.

මේ අතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධියේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින් එම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට 5 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඉන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔවුන් තුන්දෙනා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

ඉන් එක් සැකකරුවෙක් තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැත්තායි.

එම පුද්ගලයා අපරාධ ගණනාවකට පොලිසියට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ද වනවා.

2017 වසරේ දී කොස්ගොඩ ලෑලි හේත්තුව ප්‍රදේශයේ නිවසකදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එදිනම එම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, එදිනම එම ප්‍රදේශයේ තවත් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකෑම සහ අලුත්ගම, තංගල්ල, පානදුර ඇතුලු ප්‍රදේශ ගණනාවක බැංකු මංකොල්ලකෑම ඇතුලු අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ කොස්ගොඩ තාරක නැමැත්තා කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේ විරුද්ධවාදියෙකු බවයි.

එමෙන්ම ඔහු මාකඳුරේ මදුෂ් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

තවත් සැකකරුවෙකු කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා වන මදුක නිර්මාල් පෙරේරා විජේසේකර යි.

අනෙක් සැකකරු අතුල කිත්සිරි කුමාර නම් දුටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා ද කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම කොල්ලකෑමට තැත් කිරීමේ සිද්ධියට අදාළව අද පෙරවරුවේම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් එම සැකකරු පසුගිය අප්‍රේල් මස 21 වනදා අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ගැබිණි කාන්තාවක් ඇතුලු 4 කට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අද උදෑසන 10.25 ට පමණ කොල්ලකරුවන් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අතර එහිදී පොලිස් නිලධාරීන් සමග වෙඩි හුවමාරුවක් සිදුවුනා.

එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනෙකු මාතර රෝහලට ඇතුලත් කෙරුනු අතර 33 හැවිරිදි කොස්තාපල්වරයෙක් රෝහලේදී ජීවිතක්ෂයට පත්වුනා.

ඔහු මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර වයස අවුරුදු 5 ක සහ අවුරුදු 3 ක දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

පොලිසිය කියාසිටියේ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල් රියදුරෙක් මාතර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

පොලිසියේ වෙඩි තැබීම හමුවේ පළාගිය සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක්, වෙඩි තැබීමට රැගෙන ආ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනයක් සහ පිස්තෝල මැගසිනයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

—————————

—————————

—————————

———————————————————–















++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

පොලිසිය ජීවිත පූජාවක් කර ‘කොස්ගොඩ තාරක’ අල්ලපු හැටි
(24.06.2018 – mawbima.lk)

මාතර අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නිලේකා ජුවලරි ආයතනයට ආයුධ සන්නද්ධව යතුරුපැදි වලින් පැමිණි අපරාධකරුවන් දසදෙනකු බලාසිටින්නන්ගේ හදවත්වලට භීෂණයේ තිගැස්ම මවමිනි. අනතුරුව ඔවුහු ස්වර්ණාභරණ ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන් ප්‍රාණ ඇපයට තබාගත්හ.

නිමේෂයකින් ඔවුහු ස්වර්ණාභාරණ ආයතනයේ ඇති ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකෑහ.

කොල්ලකරුවන්ගේ මෙම සැලසුම ව්‍යර්ථ කරමින් මාතර පොලිසියේ පොලිස් කණ්ඩායමක් ස්වර්ණාභරණ ආයතනය තුළට කඩාවැදුනේ ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාවක අවස්ථාවක ලෙසය.

මේ මොහොතේ පොලිස් නිල ඇඳුම දුටු පමණින් ආයුධ සන්නද්ධ කොල්ලකල්ලිය පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ තමන් මුහුණ දී සිටින තත්ත්වයෙන් ගැලවීම පිණිසය.

එහෙත් ගැලවීමක් නැත. පොලිස් නිලධාරීහුද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහ.

යුද පිටියක් බවට පත්වූ ස්වර්ණාභරණ අලෙවිසලෙන් කොල්ලකරුවන් පැනගියේ පොලිස් නිලධාරීන්ට වෙඩි තබමින් තම ජීවිතය ගැන පවා නොතකමිනි.

මෙසේ යතුරුපැදියකින් පලායෑමට උත්සාහ කළ එක් කොල්ලකරුවකු පොලිස් ජීප් රථයේ වැදී යතුරුපැදියෙන් බිමට පෙරළුණි.

සෙසු කොල්ලකරුවෝ තිදෙනා එම ස්ථානයෙන් පලා ගියහ.

පෙර කී පරිදි ත්‍රාසජනක චිත්‍රපටයක ස්වරූපයක් ගත් මෙම ජවනිකාව සිදුවූයේ ඉකුත් සිකුරාදාය (22දා). පෙරවරු 10.00ට පමණ මෙම සිද්ධිය සැලවිණි.

වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලැබීය. වීරෝදාර ලෙස නොබියව ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තුවාල ලැබූ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මාතර රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

එසේම මෙම අවස්ථාවේදී එම ස්ථානයේ රැඳීසිටි පුද්ගලයකු සහ කාන්තාවක්ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබිණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තත්ත්වයේ පසුවූ 33 හැවිරිදි පොලිස් කොස්තාපල් වීරසිංහගෙදර සුරංග ප්‍රදීප් (69532) මහතා මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පුහුණුවීම් අවසන් කළ පොලිස් නිලධාරියෙකි.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ ‘මිනි උෂි’ වර්ගයේ ස්වයංක්‍රිය වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 18 ක් සහිත මැගසින් එකක් සහ පිස්තෝල මැගසිනයක් සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ වූ අතර වෙඩි තැබීම සිදුවී පැය කීපයකට පසු පොලිසියට රහසිගත තොරතුරක් ලැබිණි.

ඒ අසත්‍ය තොරතුරු පවසා රෝගීන් තිදෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වී ඇති බවය.

වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් ගාල්ල කරාපිටිය රෝහලට පිටත්ව ගියේ එම තිදෙනා කවුරුන්ද යන්න සොයා බැලීමටය.

එහිදී අනාවරණය වූයේ දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන ‘කොස්ගොඩ තාරක’ ප්‍රතිකාර ලබා ගැනීමට එම රෝහලට ඇතුළත් වී ඇති බවටය.

එසේම ඔහුගේ සහෝදරයා වන ‘මධුක’ ද රෝහල් ගතව සිටින බව පොලිස් නිලධාරීහු දැනගත්හ. කොස්ගොඩ තාරකගේ තවත් ගෝලයකු ඔවුන් සමඟ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව මෙහිදී අනාවරණය විය.

මාතර ස්වර්ණාභරණ ආයතනයේ කොල්ලයට පැමිණියේ කොස්ගොඩ තාරක බවට මේ අනුව පොලිස් නිලධාරීහු අනාවරණය කර ගත්හ.

පොලිස් ප්‍රතිප්‍රහාරවලින් තාරක සහ ඔහුගේ සගයන් තිදෙනාද වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා තිබිණි.

රෝහල් බලධාරීන්ට අසත්‍ය තොරතුරු ලබාදී ඔවුන් තිදෙනා මෙලෙස එම රෝහලට ඇතුළත් වී තිබිණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කොස්ගොඩ තාරක ඇතුළු ප්‍රතිකාර ලබමින් සිටි එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වන ධර්මකීර්ති මදුක නිර්මාල් පෙරේරා විජේසේකර සහ ඉරන්දෙණිය අතුල කිත්සිරි කුමාර යන අයයි.

මදුක සහ අතුල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

ධර්මකීර්ති තාරක (32) නොහොත් කොස්ගොඩ තාරකගේ ගම වන්නේ කොස්ගොඩ, කුරුලුගම් පියසය.

දකුණේ තවත් ප්‍රකට පාතාල නායකයකු වන එස්.ටී.එෆ්. නදුන්ද තාරකගේ ඥාතිවරයෙකි.

එකම කල්ලියක් ලෙස දකුණේ පාතාලය හැසිර වූ තාරක සහ නදුන් පසුව විරසක විය. එස්.ටී.එෆ්. නදුන් මේ වන විට ඉතාලියේය. වර්තමානය වන විට කොස්ගොඩ තාරකගේ ප්‍රතිවාදියා වන්නේ නදුන්ටත් වඩා කොස්ගොඩ සුජීය.

මීට වසර කිහිපයකට ඉහතදී කොස්ගොඩ සුජී සහ කොස්ගොඩ තාරකද එක වල්ලේ පොල් ලෙස සමීපව ආශ්‍රය කළවුන්ය.

කොස්ගොඩ සුජීද පසුව ඩුබායි රාජ්‍යයට පලා ගියේය. ඒ ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ්ගේ උපකාර ලබාගෙනය.

පසුව තාරක විසින් සුජීගේ කල්ලියේ සාමාජිකයන්ට තර්ජන එල්ල කරමින් ඔහු වෙනම පාතාල කල්ලියක් තනා ගත්තේය.

කොස්ගොඩ සුජී, තාරක සමඟ වෛරය ඇති කර ගත්තේ මෙම බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙසටය.

දකුණේ පාතාල නායකයන් බොහෝ දෙනෙක් පසුගිය කාල සීමාවේ විදේශ රටවලට පලා ගියහ.

එහිදී වාසිය ගැනීමට සිතූ කොස්ගොඩ තාරක කොස්ගොඩ සුජීට අභියෝග කරමින් ඔහුගේ ඥාතිවරයකු ඝාතනය කිරීමට සැලසුමක් සකස් කළේය.

එම සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසට දකුණු පළාතම හොල්ලමින් ඉකුත් වසරේ ඔක්තෝබර් 29 වැනි දින කොස්ගොඩ, යුදපිටිය ප්‍රදේශයෙන් වෙඩි පත්තු විණි.

එදින අලුයම් කාලයේ කොස්ගොඩ තාරක සිය සගයන් සමඟ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එ.ජා.ප. මන්ත්‍රි මහින්දරාජා සොයිසාගේ නිවෙසට කඩා වැදිණි.

කොස්ගොඩ තාරක එම නිවැසියන්ට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මහින්දරාජා සොයිසා සහ ඔහුගේ 21 සහ 13 හැවිරිදි දරුවන් දෙදෙනාද ඝාතනය විය.

ඉන් නොනැවතුණු තාරක ඊට යාබදව ඇති මැණික් ගම්මානයට කඩා වැදී එහි සිටි මහින්දරාජාගේ හිතවතකු මරා දැමුවේය.

තමාගේ ඥාතිවරයකු මරා දැමීමේ පුවත කොස්ගොඩ සුජීට පසුව ආරංචි විය.

ඒත් සමඟම කොස්ගොඩ සුජී හා කොස්ගොඩ තාරක අතර ද්වන්ධ සටන යළි ආරම්භ විය.

එම සටනේ ප්‍රතිඵලයක් ලෙසට ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනි දින කොස්ගොඩ සුජී විසින් තාරකගේ ඥාතිවරයකු ඝාතනය කිරීමට උත්සාහ දැරුවේය.

ඒ බටපොළ, ඊරියගහ‍ෙදාළ ප්‍රදේශයේදීය. නමුත් තාරකගේ ඥාතිවරයා සහ ඔහුගේ දරුවන් එදින දිවි බේරා ගත්හ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථයට මෙලෙස සුජීගේ ගෝලයන් විසින් වෙඩි වරුසාවක් තැබුවේය.

මෙම ගැටුම උත්සන්න වීමත් සමඟ දකුණු පළාතේ ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට ආරක්ෂක අංශවලට සිදු විණි.

ඉකුත් වසරේ පිළියන්දල අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණ එහි සිටි ආරක්‍ෂක නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කළේ තාරක විසිනි.

එසේම තාරක අලුත්ගම, තංගල්ල, පානදුර යන ප්‍රදේශවල බැංකු කිහිපයක්ද කොල්ල කෑවේය.

මීට වසර තුනකට පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් එවක ඔහුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එමෙන්ම තාරකගේ පවුලේ උදවියට දේශපාලන රැකවරණද තිබෙන බව ද පාතාල මර්දන ඒකකය මීට පෙර සඳහන් කර තිබිණි.

මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයකු ලෙස තාරකගේ මව ඉදිරිපත් වූ බව ද මාධ්‍ය වාර්තා කළේය.

මෙම කොල්ලය සඳහා යොදා ගත් එක් යතුරුපැදියක් අයිති වූයේ තාරකගේ මවටය. ඇය එම යතුරුපැදියේ ලියාපදිංචි හිමිකාරිනිය වූ බැවින් කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ජානකී ප්‍රියන්ත සොයිසා වන ඇයගේ නිවෙසේ තිබී මෙරට නිෂ්පාදිත මිලි මීටර් 09 පතරොම් භාවිත කරන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

එසේම මාතර කොල්ලයට පැමිණි තාරකගේ සමීපතමයකු වූ චාමර ඉන්ද්‍රජිත් යන අය ද පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ වසරේ අප්‍රේල් 21 වැනි දින නිට්ටඹුව, අත්තනගල්ලේදී පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුර ව්‍යාපාරිකයකු වූ මීගම ආරච්චිගේ රත්න දේවප්‍රිය යන අය වෙඩි තබා ඝාතනය කෙරුවේ මෙම සැකකරු විසින් බවද හෙළි වී තිබේ. එදින සිදු වූ වෙඩි පහරින් ගැබිනි කාන්තාවක් ඇතුළු සිවු දෙනකු තුවාල ලැබීය.

දකුණේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් තාරකගෙන් ඉදිරියේදී පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත. එවිට පාතාලයේ තවත් අබිරහස් කතා රැසක් අනාවරණය වනු ඇත.

මෙම සිද්ධියෙන් දිවිපිදූ පොලිස් කොස්තාපල් වීරසිංහ ගෙදර සුරංග ප්‍රදීප් වීරසිංහ නිලධාරියා පොලිස් සැරයන් ධුරයට උසස් කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළේය.

– චාමර අමරසූරිය

++++++++++++++++++++++++++++++++

පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන්න හැදූ මාතර සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
(23.06.2018 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා ‘පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී’ පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ රාත්‍රියේ මොහු මාතර – කිරලකැළේ ප්‍රදේශයේ ‘සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට ප්‍රහාරයක් එල්ල කර ඇති’ බවයි.

එහිදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++++++++++++++++++

23.06.2018

+++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

මාතර නිලේකා ජුවලරි කොල්ලයේ අලගිය මුලගිය සියළු තොරතුරු මෙන්න…
(24.06.2018 – 11:20 +0530 – lankacnews.com)

දකුණේ පාතාල නායක ගරුමුණි සුජිත් ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ සිටි ප්‍රබලම වෙඩික්කරුවා වූයේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකය. ඒ මීට වසර හය හතකට පෙරය. අද වන විට කොස්ගොඩ සුජීගෙන් ගේම ඉල්ලන්නේ කොස්ගොඩ තාරකය. එහෙව් කොස්ගොඩ තාරක දැන් ඉන්නේ ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.

මාතර නිලේකා ජුවලරි ආයතනය මාතර පිහිටි සුවිශාලතම ස්වර්ණාභරණ මාලිගයයි. කොස්ගොඩ තාරක තමන්ගේ තවත් එක් කොල්ලයක් ලෙස නිලේකා ජුවලරි ආයතනය කොල්ල කන්නට එන්නේ පසුගිය පෙරේදා (22) පෙරවරුවේය. පොලීසිය සදහන් කරන පරිදි ඒ සදහා කොස්ගොඩ තාරක සමග කොල්ලකරුවන් 10 දෙනෙකු පැමිණ තිබේ. කොල්ලකරුවන් ගිනිඅවි රැගෙන ස්වර්ණාභරණ ආයතනයට ඇතුල් වී එහි සේවකයින් ප්‍රාණ ඇපයට ගෙන රන්භාණ්ඩ හා මුදල් සිය ගමන් මළු වලට දමා ගන්නා අතරේ පොලීසිය රන්භාණ්ඩ වෙළෙද සැල වටලන්නේ ලද තොරතුරක් මතය. මේ කිසිත් නොදත් තාරකගේ කණ්ඩායම සැලසුම් කරන්නේ මුදල් හා රන්භාණ්ඩද රැගෙන නිරුපද්‍රිතව පලා යන්නටය.

කොල්ලයට තාරකගේ කණ්ඩායම යතුරුපැදි 03 කින් හා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ තිබේ. වෙළෙද සැලට ඇතුල් වී ඇත්තේ කොල්ල කරුවන්ගෙන් සිව් (04) දෙනෙක් පමණි. සියල්ල කොල්ල කෑමෙන් පසු නිරුපද්‍රිතව පිටව යෑමේ අරමුණින් වෙළෙද සැලෙන් එලියට එන කොල්ලකරුවන්ගේ නෙත ගැටෙන්නේ අවි අමෝරා සිටින පොලිස් නිලධාරීය. කොල්ල කරුවන් ක්ෂණිකව තීරණය කරන්නේ පොලීසියට වෙඩි තබා හෝ පලා යන්නටය. වෙඩි තබන විට පොලීසිය පලායාවී යැයි ඔවුන් සිතන්නට ඇත. පොලීසියේ එවන් සිදුවීම්ද කොල්ලකරුවන්ට හොදින් හුරුපුරුදුය. නමුත් පොලීසියද පෙරලා වෙඩි තබන්නට විය. නිර්භීත පොලිස් නිලධාරීන්ගේ අපේක්ෂාව වූයේ වෙඩිතබා හෝ කොල්ලකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමය.

පෙරේදා (22) පෙරවරුව, මාතර අනගාරික ධර්මපාල මාවත එකම යුධ පිටියක් විය. ගැටුම එදින පෙ.ව 10.25 ට පමණ සිදුව තිබේ. මෙම ගැටුමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබීය. සිවිල් පුද්ගලයින්ගෙන් එක් අයෙක් කාන්තාවකි. ඔවුන් ජුවලරි ආයතනය තුල රැදී සිටි අය වේ. මොවුන් පස් (05) දෙනාම ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කළේය. මෙයින් එක් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්විය. කිරින්දගේවත්ත, ගොඩගම, මාතර ලිපිනයේ පදිංචි වීරසිංහගෙදර සුරංග ප්‍රදීප් වීරසිංහ (69532) මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. සුරංග, පොලිස් විශේෂ කාර්යය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස මාතර පොලිසියට අනුයුක්තව සේවය කළේය. විවාහකයෙකු වන සුරංග, එක් දරු පියෙකි. පොලිස් සැරයන් නිලයට උසස් කෙරුණු සුරංගගේ අවසන් කටයුතු අද (24) සිදු කිරීමට නියමිතය. ඊයේ (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුරංගගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. සුරංගගේ පවුලට සාධාරණත්වය ඉටුකරන බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කොල්ල කරුවන් පැමිණි යතුරු පැදි 02 ක්, මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනයක් සහ පිස්තෝල මැගසිනයක් සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණි. පලායෑමට නොහැකි වූ එක් සැකකරුවෙක්ද පොලීසියේ අත් අඩංගුවට පත්විය. මෙසේ අත් අඩංගුවට පත්ව තිබුණේ නො. 54/3, මාලිගැතැන්න, වේයන්ගොඩ ලිපිනයේ පදිංවි තලුක්කුවේ කංකානම්ගේ චාමර ඉන්ද්‍රජිත් (30) නැමැති අයයි. මොහු 2018 අප්‍රේල් 21 දින නිට්ටඹුව, අත්තනගල්ලේදී මීගම ආරච්චිගේ රත්නදේවප්‍රිය නැමැති අයට වෙඩිතබා ඝාතනය කිරීම සහ ගැබිණි කාන්තාවක් හා පුද්ගලයින් සිව් (04) දෙනෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවද පොලීසිය කියයි. මොහු කොස්ගොඩ තාරකගේ විශ්වාසවන්තම ගෝලයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මොහු කොල්ලයට පැමිණ ඇත්තේ තමන්ගේ ගමන් බෑගය මාතර, කිරලකැලේ ප්‍රදේශයේ සගවා තබා බවද පොලීසිය කියයි. තම ගමන් බෑගය පෙන්වන්නට චාමර ඉන්ද්‍රජිත් පොලීසියත් සමග යන්නේ සිද්ධිය වූ දිනට පසුදින එනම් 23 දා අළුයම කාලයේය. ඔහු තම ගමන් බෑගය රැගෙන එහි තිබූ අත් බෝම්බයකින් පොලීසියට පහර දීමට තැත්කළා යැයි පොලීසිය කියයි. එහිදී චාමර ඉන්ද්‍රජිත් මිය යන්නේ පොලීසිය පෙරලා තැබූ වෙඩි පහරිනි. කෙසේ වෙතත් දැඩි පහර කෑමට ලක්වූ චාමර, අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලහැකි මට්ටමක සිටියාද යන්නද උගතෝකෝටිකය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (23) රාත්‍රී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල් වරයෙකු මිය යෑම, ඊට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරනය කළ නොහැකි බවයි. අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් රටේ පවතින්නේ ‘යහ පාලනයක්’ මිස ‘යම පාලනයක්’ නොවන බවද ඒ මහතාගේ ට්විටර් පණිවිඩයේ සදහන්.

සිදුවීමෙන් පැය කීපයක් ඉක්ම යන්නට මත්තෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නේ සැකකටයුතු තිදෙනෙක් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබෙන බවයි. වහාම ක්‍රියාත්මක වන පොලීසිය, කරාපිටිය රෝහලට පැමිණ තොරතුරු සොයා බැලීමේදී තහවුරු වන්නේ සිද්ධියේදී පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කර තිබෙන බවයි. පොලිස් වෙඩි පහර කාගෙනම තාරක ඇතුළු කොල්ලකරුවන් තිදෙනා පලා යෑමට සූදානම්කර තිබූ මෝටර් රථය වෙත පැමිණ තිබේ. තාරක ඇතුළු තිදෙනා රැගත් සුදුපැහැති මෝටර් රථය, ගාල්ල කරාපිටිය රෝහල අසලට පැමිණ රෝහල ඉදිරිපිටින් ඔවුන් බස්සවා පලාගොස් ඇත. මොටර් රථයේ තවත් දෙදෙනෙක් සිට ඇති බවද දැන ගන්නට තිබේ. ඔවුන් තුවාලකරුවන් රෝහලට බාර දීමට ඉදිරිපත් වී නැත්තේ තමන්ද පොලීසියට හසු වේවී යැයි බියෙනි.

මෙසේ කරාපිටිය රෝහල අසල දමා යෑමෙන් පසු රෝහල් ගත කර ඇත්තේ කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22), සහ නො. 135, ගුරුදැව, දුටුවැව, අනුරාධපුරය ලිපිනයේ පදිංචි ඉරන්දෙණිය අතුල කිත්සිරි කුමාර (31) යන තිදෙනාය. මොවුන් තිදෙනා මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුව මොවුන් තිදෙනා ජූලි 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද පෙරේදා (23) නියෝග කර තිබේ.

කොල්ලය සදහා කොස්ගොඩ තාරක ඇතුළු කොල්ල කණ්ඩායම පැමිණි එක් යතුරු පැදියක ලියාපදිංචි අයිතිකාරිය වන්නේ නො. 403 ඒ, නානතොට, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නැමැති අයයි. ඒ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ. ඒ අනුව කොස්ගොඩ පොලීසිය විසින් ජානකී ප්‍රියන්ති නැමැති අයද 22 දා සවස අත් අඩංගුවට ගෙන තිබේ. ඇය ඊයේ (23) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.

ජානකී ප්‍රියන්ති නැමැති අය අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය ගොස් ඇත්තේ 22 දා සවස 3.00 ට පමණය. ඇය පොලීසිය දුටු සැනින් නිවසට ගොස් දොරවසාගෙන තිබේ. 3.30 වන තෙක් පොලීසිය ඇයට කතා කලත් දොර නෑරිය බව පොලීසිය කියයි. පසුව පොලීසිය විසින් නිවසේ දොර කඩා තිබේ. එවිට ඇය නිවසේ කාමරයකට වී දොරගුළු ලා ගෙන ඇත. පොලිසිය කාමරයේ දොර කඩන විට ඇය එම කාමරයට අයත් නාන කාමරයට වි දොරගුළු ලාගෙන ඇත. පසුව ඇය පොලිසීය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ නාන කාමරයේද දොර කැඩීමෙන් පසුවයි.

ජානකී ප්‍රියන්ති යනු මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු කොස්ගොඩ තාරකගේ හා ඔහුගේ සොයුරාගේ මවයි. ප්‍රබල ශ්‍රීලනිප පාක්ෂිකයෙකු වන ජානකී, 2018 පෙබරවාරි 10 දින පැවති බළපිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට එජනිසං යටතේ නානාතොට පළාත කොට්ඨාශයට තරග කොට පරාජයට පත් විය. ජනකීගේ ස්වාමිපුරුෂයාද මීට වසර කීපයකට පෙර ගෙවත්තේ ළිදට වැටී මියගොස් තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ ජානකීගේ ස්වාමිපුරුෂයා ළිදට තල්ලුකර ඝාතනය කර ඇති බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වන ඉරිදා අළුයම 4.00 ත් 4.30 ත් අතර කොස්ගොඩදී සිදුකරන ලද සිව් (04) ඝාතනය සහ 14 හැවිරිදි දරුවෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය බැර වන්නේද කොස්ගොඩ තාරකගේ ගිණුමටය. මෙහිදී කොස්ගොඩ, යුධ පිටියේ පදිංචිව සිටි ජගමුණි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා (51) ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනාත් උක්වත්ත ආරච්චිලාගේ කපිලරත්න පෙරේරා (39) නැමැති අයත් ඝාතනයට ලක් විය. 2006 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභාවට තරග කොට මන්ත‍්‍රී වරයෙක් ලෙස පත් වූ මහින්ද රාජා, 2008 වසරේදී ශ‍්‍රීලනිපක්ෂයට එක් විය.

කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නැමැති අය මිනී මැරීම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකි. ඔහු 2011.07.18 දින පෙ.ව 10.00 ට තවත් අයෙකු සමග කොස්ගොඩ මහජන බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් 23,35,625/- ක් වටිනා රන්භාණ්ඩ සහ එහි ආරක්ෂක නිලධාරියා සතු බෝර 12 ගිනි අවිය කොල්ලකා පලාගොස් තිබේ. එම සිද්ධියට අදාලව මොහු 2013.05.05 දින මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය 40180 යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. මෙම සිද්ධියේ අනෙක් සැකකරුවා වන නිකදළුපත, වැල්ලව පදිංචි දිසානායක මුදියන්සෙලාගේ මංජුල දිසානායක (24) නැමැති අය 2013.06.26 දින බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ. ඔහු දැනට මාස 08 කට පමණ පෙර නිදන් හොරකමකට අදාල සිද්ධියදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

තාරක පෙරේරා විජේසේකර (24) සහ මංජුල දිසානායක (24) ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ එස් එෆ් බලකායේ සේවය කල දෙදෙනෙකි. මොවුන් එහි යතුරු පැදි බලකායේ සිටි අති දක්ෂ යතුරු පැදි ධාවකයින් දෙදෙනෙකි. යුද්ධ හමුදාවේ හොදම මිතුරන් වූ මොවුන් දෙදෙනා එයින් ඉවත්ව පාතාලයට සම්බන්ධ වී තිබේ. මොරටුව වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කිලෝග‍්‍රෑම් 10 කට අධික බරින් යුත් රුපියල් ලක්ෂ 150 ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ මංකොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. 2017.05.27 දින මීරිගම කොමර්ෂල් බැංකුවට දෙදෙනකු සමග ටී – 56 ගිනි රැගෙන පැමිණ රුපියල් ලක්ෂ 18 ක් මුදල් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. කොල්ලකරුවන් පසුව පලාගොස් තිබුණේද අසල ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබගැනීමට පැමිණි අයෙකුගේ යතුරු පැදියකිනි. 2017.08.10 දින දවල් 12.00 ට පමණ අත්තිඩිය කොමර්ෂල් බැංකුවට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියාට වෙඩිතබා ඝාතනය කර රුපියල් 34,36,200/- ක මුදලක් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි.

මෙම ඝාතනයන් දකුණේ කොස්ගොඩ ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින මරාගැනීම හේතුවෙන් සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ ගරුමුණි සුජිත් ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජීය. ඔහු මේ වන විට ඩුබායි රටට පැනගොස් සිටින අතර එහි සිට සිය ක‍්‍රියාකාරකම් මෙහෙයවයි.

කොස්ගොඩ අනෙක් පාතාල කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ සුවාරිස් රුවන් චාමර අබේසේකර (24) නොහොත් කොස්ගොඩ ලොකූ නැමැති අයයි. ඔහු 2017.05.08 දින රාත‍්‍රි කළුතර වැලිපැන්න, දියකොරඩුව ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු පදිංචිව සිට ඇත්තේ කොස්ගොඩ, නානතොට, 2 කණුව ප‍්‍රදේශයේය. මොහු ඝාතනය කරන ලද අවස්ථාවේදී ඔහු සමග සිටි වැලිපැන්නේ අයෙක් සහ බළපිටියේ අයෙක් බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලටද ඇතුලත් කර තිබුණි. කොස්ගොඩ ලොකූගේ ඝාතනයෙන් පසුව එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔහුගේ බාල සොහොයුරු සුවාරිස් දේශාන් අබේසේකර (21) නැමැති අයයි. සුවාරිස් දේශාන් අබේසේකර සිව් (04) පුද්ගල ඝාතනයේ ප‍්‍රධානම සැකකරුවා බවටද පොලීසිය හදුනාගෙන තිබේ. එයට අමතරව මෙම ඝාතනයන් සදහා යතුරුපැදි දෙකකින් පැමිණි තවත් දෙදෙනෙකුද පොලීසිය හදුනාගෙන තිබේ. ඔවුන් කොස්ගොඩ ලොකූට සිටි හොදම ගෝලයා වන කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) සහ ඔහුගේ සහෝදරයා එම ලිපිනයේම පදිංචි ධර්මකීර්ති මධුක නිර්මාර් පෙරේරා විජේසේකර (21) යන අයිය මලෝ දෙදෙනාය. කොස්ගොඩ ලොකූගේ පාතාල කණ්ඩායම, පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන්ය. කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායමට ඉහළ නායකත්වය දෙන්නේද මාකදුරේ මධූෂ්ය. කොස්ගොඩ සුජීගේ කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙම කණ්ඩායමට එරෙහිවය.

පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසරක යුද්ධය පැවති කාලයේ බොහෝ පිරිස් කොළඹ නොගියේ බෝම්බ බිය නිසාය. වර්තමානයේද ජනතාව බැංකුවකට හෝ යෑමට දැඩි බියක් දක්වයි. ඒ පාතාල කුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට කොයි මොහොතේ හෝ ලක් වේවී යන බිය නිසාය. රටක නීතිය වල් වැදුන විට මෙවන් දෑ අරුම පුදුම දේ නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම් ජාතියෙන් ගිලිහී යමින් තිබේ. එය ශ්‍රී ලංකේය ජාතියේ ඛේදවාචකයකි. ශ්‍රී ලංකේය ජාතිය ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලෝක සිතියම තුල ඔසවා තැබිය හැක්කේ ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලන් එක් වුව හොත් පමණි. එසේ නොමැතිව තම තමන්ගේ කාලයන් පිළිබදව කතා කිරීමෙන් පලක් නැත. වත්මන් කාලය නිවැරදි කර ගත හැක්කේද පෙර පාලකයින්ට දොස් පැවරීමෙන් නොවේ. වත්මන් වගකීම නිවැරදිව ඉටු කල නොහැකි නම් බලයට පත් කිරීමෙන් තමන් බරපතල වරදක් සිදුකර තිබෙන බවට අනාගතයේ ජනතාව තීරණය කරනු ඇත.

– K. වැලිතොටගේ

++++++++++++++++++++++++++++++++

මාතර සිද්ධියේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවන් 2 ක් බන්ධනාගාරයට රැගෙන යයි
(24.06.2018 – 15:30 +0530 – sinhala.adaderana.lk)

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට සහ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

අද (24) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි බන්ධනාගාර නිලධාරීන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අදාළ සැකකරුවන් දෙදෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක සහ අතුල කිත්සිරි කුමාර යන සැකකරුවන් දෙදෙනා මෙලෙස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර කොස්ගොඩ තාරකගේ සහෝදරයා තවදුරටත් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

අදාළ සැකකරුවන් ලබන මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමටයි ගාල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) නියෝග කළේය ෴

+++++++++++++++++++++++++++++++

මාතර වෙඩි හුවමාරුවේදී පොලීසියට සහය දුන් තරුණයා ඇගයීමට පියවර
(24.06.2018 – 14:12 +0530 – newsfirst.lk/sinhala)

මාතර දී පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබු පොලිස් සැරයන්වරයෙකු, රෝහල වෙත ගෙන යාමට ඉදිරිපත් වූ තරුණයා ඇගයීමට ලක් කිරිමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කිරිමේදී දැක්වුණේ, වෙඩි වැදී සිටි පොලිස් සැරයන්වරයා අසලට පැමිණි තරුණයෙකු ඔහු ඔසවාගෙන යන ආකාරයයි.

ඒ අනුව, එම තරුණයා පිළිබඳ තොරතුරු ලබාගෙන ඇගයීමක් ලෙස ඔහුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමටත් තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++

24.06.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *