අවුරුදු දහඅටකට පසු චිත්‍රපට බෙදාහැරීම රජයට පවරාගනී; සතුටින් දෑස්‌ පියාගත හැකියි – නිළිරැජින කියයි

(22.06.2018 – divaina.com)

රට පුරා චිත්‍රපට බෙදාහැරීම සිදුකළේ පෞද්ගලික සමාගම් හතරක්‌ විසිනි. ඒ 1971 ජාතික චිත්‍රපට සංස්‌ථා පනතට පටහැනිව යමිනි.

වසර දහඅටක්‌ පුරා සිදුවූ මෙම ක්‍රියාවලිය උඩු යටිකුරු කරමින් වහා ක්‍රියාත්මක වන පරිදි යළි චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්‌ථාව වෙත පවරාගෙන ඇත. ඒ විෂය භාර ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මතය.

මේ පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ඉදිරිපත්වූ අදහස්‌ මතු දැක්‌වේ.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති සිනේන්ද්‍ර සේනාරත්න මහතා :

සිනමාවේ අර්බුදය විසඳාගන්න ජනාධිපතිතුමා විද්වත් කමිටුවක්‌ පත් කළා. මේ කමිටුව කිහිප වරක්‌ රැස්‌වී කරුණු පහළොවක නිර්දේශ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. ඉන් පසුවත් සිනමාවේ උන්නතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිහිපයක්‌ සිදුකළා. මේ වාර්තා හමස්‌ පෙට්‌ටියට නොදමා වහා ක්‍රියාත්මක වී අර්බුදයෙන් සිනමාව ගොඩගත යුතු බව අපේ විෂය භාර ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා උපදෙස්‌ දුන්නා.

අද චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, රංගන ශිල්පීන්, සිනමා ශාලා හිමියන් තෘප්තිමත් නෑ. පසුගිය 12 වැනිදා අප මේ වාර්තාව සකස්‌ කළ කමිටු සාමාජිකයන් යළි හමුවුණා. අප සිනමා ශාලා හිමියන්, නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු සමග සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වූවා. ශාලා හිමියන් ප්‍රකාශ කළේ ඔවුන්ට කිසිදු සාධාරණයක්‌ වන්නේ නෑ ලාභ නෑ. ශාලා සියල්ල වසා දැමීමට සිදුවන බවයි. හැත්තෑ ගණන්වල සිනමා ශාලා හාරසියයකට වැඩිය තිබුණා. දෙදාහේදී ඒක දෙසිය පනස්‌එක දක්‌වා අඩුවුණා. චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට දුන් පසු අද තියෙන්නේ සිනමා ශාලා එකසිය හැත්තෑහතයි.

පෞද්ගලික අංශය මගින් චිත්‍රපට බෙදා හැරීමේදී සාධාරණයක්‌ වන්නේ නෑ කියා සිනමා ශාලා හිමියන් ප්‍රකාශ කළා. එක එක සමාගම් ඒ ඒ අයට අවශ්‍ය පරිදි චිත්‍රපට බෙදා හරිනවා. නිෂ්පාදකවරු අධ්‍යක්‍ෂවරුන් කියා සිටියොත් බෙදාහරින්නන්ගේ බලපෑම් මත ශාලා හිමියන් ගන්නා තීරණවලින් තමන්ට අසාධාරණයක්‌ වන බවයි.

ඒ අනුව ඇමැතිතුමා, ලේකම්තුමා ඇතුළු සියලු දෙනා තීරණය කළා 1971 පනත අනුව චිත්‍රපට සංස්‌ථාවේ බලතල යළි ක්‍රියාත්මක කරන්න. පනත යළි ක්‍රියාත්මක කරන්න. එදා ඩික්‌සන් නිලවීර මහතා දුන් මාර්ගෝපදේශ මත චිත්‍රපට සංස්‌ථාවත් යම් නිද්‍රාශීලී ගමනක නිරත වුණා. අප සතු බලතල පෞද්ගලික අංශයට පවරලා අප බලා සිටියා. නිෂ්පාදකවරු ගතවූ අවුරුදු දහඅටේදීම කළේ තමන් හැදූ චිත්‍රපටය අරගෙන මේ පුද්ගලික සමාගම් කිහිපය පසුපස යැමයි. ඔවුන් චිත්‍රපටය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළොත් ඒ චිත්‍රපටය නිෂ්පාදකවරු චිත්‍රපට සංස්‌ථාවේ ප්‍රදර්ශන මණ්‌ඩලයට භාර දෙනවා. එහෙම අපට ලැබුණු චිත්‍රපට අසූ ගණනක්‌ දැන් පෝලිමේ තියෙනවා.

දැන් තිබෙන සිනමා ශාලාවලට අප සාධාරණ ලෙස මේ චිත්‍රපට බෙදා දෙනවා. අප සියලු සිනමා ශාලා වර්ගීකරණයක්‌ කරනවා. චිත්‍රපටය වර්ගීකරණය කරලා සෑම ශාලාවකටම අප චිත්‍රපට බෙදා දෙනවා.

මේ කාරණය සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඇමැතිතුමාගේ නිර්දේශය අපට ලබාදී තිබෙනවා.

චිත්‍රපට බෙදා හැරීමේ බලතල සියල්ල අප යළි චිත්‍රපට සංස්‌ථාවට පවරා ගන්නවා. දැනට සමාගම් හතරක්‌ බෙදා හැරීමේ කාර්යය කරනවා. ඔවුන් අත්සන් කළ ගිවිසුම්වල පවා තිබෙන්නේ මෙය තාවකාලික පියවරක්‌ පමණයි. පසුව පනත සංශෝධනය කරලා එය නීතිගත කරනවා කියලා. නමුත් අවුරුදු දහඅටක්‌ ගත වුණත් පුද්ගලික අංශයට පැවරීම නීතිගත කර තිබුණේ නෑ. මේ තත්ත්වය යටතේ තවදුරටත් සිනමාව විනාශ වෙනවා දකින්න අපට බැහැ. මෙය එක්‌ දවසකින් ගත් තීරණයක්‌ නොවේ. සිනමාව වෙනුවෙන් අද අපි දැවැන්ත තීන්දුවක්‌ ගත්තා. ශක්‌තිමත්ව අලුත් ගමනක්‌ අපට යා හැකියි.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා :

හැත්තෑ එකේ චිත්‍රපට සංස්‌ථා පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම තමයි 1947 සිට මේ දක්‌වා අපේ සිනමාවේ සුවිශේෂී සිදුවීම සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මේ තීරණය ගත්තේ සමස්‌ත සිනමාකරුවන්ගේ ඉල්ලීම මතයි.

එදා මැතිනිය ගත් තීන්දුවට පසුව දේශීය සිනමාව වෙනුවෙන් ගත් ඉහළම තීන්දුව තමයි පසුගියදා විජයදාස රාජපක්‍ෂ ඇමැතිතුමා ගත්තේ. මේ තීන්දුව මීට වසර ගණනාවකට පෙර ගත්තා නම් අපේ සිනමාව මෙතරම් ප්‍රපාතයකට වැටෙන්නේ නෑ. 1971 දී නිහාල්සිංහ මහතා සංස්‌ථා මණ්‌ඩල හරහා බෙදා හැරීමේ ක්‍රමයක්‌ විධිමත් ලෙස කරගෙන ගියා. එදා ස්‌වර්ණමය යුගය බිහිවුණේ. නමුත් හැත්තෑ හතේදී මෙය පෞද්ගලිකරණය කළා. අප බැගෑපත් වුණා එහෙම කරන්න එපා කියලා. පෞද්ගලිකරණය සාර්ථක නම් සිනමා ශාලා අද මෙතරම් අඩු වුණේ කොහොමද. එදා අවුරුද්දකට මිලියන 200 ක්‌ චිත්‍රපට කර්මාන්තය විසින් රජයට ලබා දුන්නා. ඒත් අද සංස්‌ථාව භාණ්‌ඩාගාරයෙන් යෑපෙන තත්ත්වයට පත්වුණා. පනත අනුව චිත්‍රපට බෙදා හැරීමේ පූර්ණ වගකීම සංස්‌ථාව සතුයි. එය පුද්ගලික අංශයට දුන්නේ නීත්‍යානුකූලව නොවේ. අවුරුදු දහඅටක්‌ සංස්‌ථාවට හිමිවිය යුතු මුදල් පෞද්ගලික සමාගම් කිහිපයක්‌ විසින් උපයා ගත්තා. සිනමාව ඇදවැටුණා. එදත් අදත් මේ ගැන මා කතා කළා. මම දේශපාලනය අත හැරියේත් මේ නිසා. අපේ හඬ යටපත් කරමින් බලවේග කිහිපයක්‌ ක්‍රියාත්මක වුණා.

රටේම සිනමා කර්මාන්තය උදෙසා ඓතිහාසික තීන්දුවක්‌ ගත් මොහොතක්‌ මේ. අවුරුදු දහඅටක සටනක ජයග්‍රහණය අහිමි නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදයේ සභාපති බෙනට්‌ රත්නායක මහතා :

පුද්ගලයන් තුන් හතර දෙනෙකුගේ උවමනාව මත පසුගිය අවුරුදු දහඅටම චිත්‍රපට පෙන්නුවා. ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්‌ සිනමාව පාලනය කළා. ඔවුන් කලාත්මක චිත්‍රපට පස්‌සට දාලා තමන් කැමැති වාණිජ චිත්‍රපට පෙන්වීමේ පහත් ක්‍රමයක්‌ අනුගමනය කළා. වෙනම නියාමන ඒකකයක්‌ යටතේ චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක්‌ චිත්‍රපට සංස්‌ථාව යටතේ ස්‌ථාපිත කළ යුතුයි. ප්‍රමිතිකරණයක්‌ යටතේ චිත්‍රපට බෙදාහැරිය යුතුයි. අපිට ලාංකීය සිනමාව නිවැරදි මාවතක ගෙන ගොස්‌ සිනමාවේ ස්‌වර්ණමය යුගය යළිත් බිහි කරන්නට හැකිවේවි.

නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය :

අද ඓතිහාසික දවසක්‌. මට මේ කර්මාන්තය කොතරම් එපා වුණාද කියනවා නම් චිත්‍රපට සංස්‌ථා භූමියට පසුගිය කාලේ එන්නේ නැතුව හිටියේ. මේ තීරණය අපි කලක සිට බලාපොරොත්තු වුණා. මට අද හරිම සතුටු දවසක්‌. මෙවැනි දවසක්‌ අපට උදාකර දීම ගැන විජයදාස රාජපක්‍ෂ ඇමැතිතුමාට තුති පුදනවා. අපට සතුටින් ඉදිරියේදී දැස්‌ පියා ගන්න පුළුවන් වේවි. අප කළ සටනක ප්‍රතිඵල ලැබුණා. දැන් අපි එකිනෙකා විරුද්ධ නොවී එක ගමනක්‌ යා යුතුයි.

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සභාපති රොහාන් වැලිවිට මහතා :

මම පසුගිය අවුරුදු නවය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ වී සිටියා. නමුත් මෙවැනි කාර්යයක්‌ අපට කරන්න බැරිවුණා. පිකටිං නොකර, පෙළපාලි නොගොස්‌, සටන් පුවරු ඔසවන්නේ නැතිව අද අපි මේ ජයග්‍රහණය ලැබුවා. මිලියන එක්‌දහස්‌ හත්සිය ගණනක්‌ පසුගිය වසර දහඅටේදී රජයට අහිමි වුණා. මේ බෙදාහැරීම පෞද්ගලික අංශයට ලබාදීම නිසා. එනිසා දිනෙන් දින අපේ සිනමාව පහළට ගියා.

ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහතා :

අපි අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ජනාධිපතිවරු, අගමැතිවරු පස්‌සේ ගියා. කලකිරුණා. චිත්‍රපට සෑදීමෙන් ඉවත් වුණා. අදින් පසු අපි යළි චිත්‍රපට හදනවා. අපි සියලු දෙනා අලුත් ජීවයක්‌ ලැබුවා. ජනාධිපතිතුමා මේ තත්ත්වය තේරුම් ගැනීම අපේ වාසනාවක්‌. පුද්ගලික සමාගමක්‌ පවත්වාගෙන ගිය සිනමා ඒකාධිකාරය බිඳ දැමුවා. අප කොතරම් හොඳ චිත්‍රපට හැදුවත් මේ පුද්ගලික බල අධිකාරිය අපේ චිත්‍රපට පහත දමලා විදේශීය චිත්‍රපට ප්‍රවර්ධනය කළා. තව ටික කලක්‌ ගියා නම් දේශීය සිනමාවක්‌ නැති වෙනවා. චිත්‍රපට සංස්‌ථාව මේ ඒකාධිකාරයේ බලයට යටවුණා. දැන් එසේ විය යුතු නෑ.

ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය :

අපේ සරිගම චිත්‍රපටය සම්පූර්ණ මුදල දීලා භාර ගන්න බෙදාහැරීමේ සමාගමක්‌ ඉදිරිපත් වුණා. ඒත් අපි කුඩා සිනමා ශාලා වෙත “සරිගම” ලබා දුන්නා. ඒ ශාලා ඩිජිටල්කරණය කිරීමේ පොරොන්දුව මත. සිනමා ශාලා හිමියන් ඊට එකඟ වුණා. ඒත් එදා හිටපු සංස්‌ථා සභාපතිවරයා කළේ මේ චිත්‍රපටය දුවන්න බැරි විදියට යම් යම් තීරණ ගැනීමයි. අතීතයේ වැරදි හදාගෙන අලුත් විදිහට යමු. අපට අද දක්‌වා අලුත් චිත්‍රපටයක්‌ හදන්න බැරි වුණේ ඒ අපේ චිත්‍රපටයට කළ අසාධාරණය නිසා. අපව එදා පරාජය කළා. ඒ අප සිනමාව වෙනුවෙන් ගත් සුබවාදී තීරණය නිසා.

– අජිත් අලහකෝන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *