රට කිසි දැවෙන ප්‍රශ්නයක් නොදකින ජනාධිපතිට අනු නාහිමිගේ හිට්ලර් කතාව ඇහිලා.. මහාවංශයේ අසාර්ථකම පාලනය මෙයයි..

(26.06.2018 – 16:40 +0530 – lankacnews.com)

රටේ කිසිදු දැවෙන ප්‍රශ්නයක් නොදකින නොඇසෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයන්ට මල්වතු අනු නා හිමියන්ගේ අනුශාසනාව නම් හොඳට ඇසී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා කලබල විය යුත්තේ හොර තක්කඩි රැලක් විසින් රටට කරන විනාශය ගැන මිස අනු නා හිමියන්ගේ අනුශාසනාව ගැන නොවන බව පැවසූ රණතුංග මහතා බොරු සිංහ නාද නතර කර ඉතුරු වී ඇති කෙටි කාලයේවත් රට වෙනුවෙන් වැඩක් කරන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අද වෙනකොට ජනාධිපතිවරයාගේ ඉඳන් ආණ්ඩුවේ බොහෝ ප්‍රබලයන්ගේ කතාවලට මූලික වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ උපන් දිනය දා අස්ගිරි අනුනාහිමි පවත්වපු අනුශාසනාවයි. උන්වහන්සේ ප්‍රකාශ කළේ ගෝඨාභය මහත්තයාට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා නෙමෙයි කියන කාරණය මොළය තියෙන ඕනෑම කෙනකුට වැටහෙනවා.

නමුත් මේ ආණ්ඩුවේ ඉන්න කාටවත් මොළයක් කියලා නාමයක්වත් නැති නිසා මේ අනුශාසනාව වැරැදියට වටහාගෙන අනු නායක හාමුදුරුවන්ට අපහාස කරමින් යනවා. ජනාධිපතිවරයා මොර දෙනවා එහෙම පාලනයකට ඉඩ තියන්නේ නැහැ කියලා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි සද්දයක් නැතුව ඉන්න ජනාධිපතිවරයාට මේ කතාව නම් හොඳට ඇහිලා තියෙනවා.

දැන් බලන්න මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇදි ඇදී යන තැපැල් සේවක වර්ජනයක් තිබෙනවා. දවසට තුන් හතර දෙනා ගාණේ වෙඩි කාලා මැරෙන පාතාල තර්ජනයක් මතු වෙලා තියෙනවා. ඒ කිසිම දෙයක් ගැන ජනාධිපතිවරයා කටවත් හොල්ලලා තියෙනවද කියලා හොයලා බලන්න. ඒවාට නිහඬව ඉන්න ජනාධිපතිවරයාට මේක විතරක් ඇහෙන්නේ ඇයි?

ඒකෙන් පේනවා මේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ ඊළඟ ජනාධිපතිවරණයට කොච්චර බයකින් ඉන්නවද කියලා. මේ අය දැනටම පරාජය පිළිඅරන් ඉවරයි. ඒ අය නිසැකවම දන්නවා ඊළඟ ජනාධිපතිවරයා බිහිවෙන්නේ පොහොට්ටුවෙන් කියලා. ඒ විතරක් නෙමෙයි පොහොට්ටුවෙන් එන ජනාධිපතිවරයා මේ ආණ්ඩුවේ හොරකම් එළිකරන බවත් ඒ අය දන්නවා.

දැන් කැස කවන්නේ අපිට නිසැකවම හිමිවන ඒ ජයග්‍රහණය කුමන්ත්‍රණ මගින් හෝ උදුරා ගන්නයි. මුදල් ඇමැති මංගල සමරවීර නිවේදන පිට නිවේදන නිකුත් කරමින් ගෝඨාභය මහත්තයට මඩ ගහන්නේ ඒකයි. එතුමට තියෙන්නේ ගෝඨාට මඩ ගහන එක‍ නෙමෙයි‍. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි මංගලට පැවරිලා තියෙන්නේ.

හැබැයි තමන්ට පැවරුණු ඒ රාජකාරිය පැත්තක තියලා අපිට මඩ ගහන එක තමයි එයා දැන් කරන්නේ. බලන්න මංගල යටතේ ආර්ථිකය මොන තරම් අගාධයකට වැටිලද කියලා. ‍ඩොලරය රුපියල් 162 යි. ඉදිරියේ දී මේක රුපියල් 200 දක්වා නොයයි කියලා මංගලට සහතික වෙන්න පුළුවන්ද? ඇඳුම් මහපු මංගලට ආර්ථිකය ගොඩනගන්න බැහැ.

ඩොලරය රුපියල් දාහට ගියත් කමක් නැහැ කියලා මුදල් අමාත්‍යාංශයට අයාලේ යන්න ඉඩහැරලා මංගල මඩ ගගහා යනවා. ජනාධිපතිවරයා කලබල වෙන්න ඕනේ මෙන්න මේ වගේ ඇමැතිවරුන් රට විනාශ කරන එක ගැන මිසක් අනු නායක හාමදුරුවෝ ගෝඨාභය මහත්තයාගේ නිවසේ දී කරපු අනුශාසනාවක් ගැන නෙමෙයි.

එදා මහින්ද මහත්තයට දොස් පවරපු අයට පවා අද එතුමාගේ අගය දැනෙනවා. අද හිතේ නිදහසෙන් බැංකුවට යන්න බැහැ. කොයි වෙලාවේ පාතාලයෝ කඩා වැඩෙයිද දන්නේ නැහැ. පාරක යන්න බැහැ. ලංකාව දැන් චිකාගෝවක් වෙලා ඉවරයි. හැමදාම හැමතැනම වෙඩි තැබිලි, මරාගැනිලි.

මිනිස්සු කල්පනා කරනවා මේවා පාලනය කරන්න නම් රාජපක්ෂවරුන්ම ආයෙත් එන්න ඕනේ කියලා. එදා පාතාලයෝ රට අතහැරලා පැනලා ගියේ රාජපක්ෂලාගේ සෘජු පාලනය නිසයි. ප්‍රභාකරන් නැති කරපු රාජපක්ෂවරුන්ට මේ තුට්ටු දෙකේ පාතාලයෝ ලොකු නැහැ කියලා දැනගෙන හිටපු නිසයි නිදි පැදුරටත් නොකියා රටෙන් පැනලා ගියේ.

යහපාලනය ආපු ගමන් මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් මුලින්ම කළේ රට පැනපු පාතාල නායකයෝ ලංකාවට ගෙන්නා ගත්තු එක. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයත් පාතාලයත් ගහට පොත්ත වගේ බද්ධ වෙලායි තියෙන්නේ. අද පොලිස්පති භාවනා කර කර ඉන්න කොට පාතාලයෝ පිටරට ඉඳලා රට පාලනය කරන තැනට ඇවිත් ඉවරයි.

මේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම පාලනය තමයි වර්තමාන පාලනය කියලා බය නැතුව කියන්න පුළුවන්. ඇවිත් අවුරුදු තුනෙන් රට විනාශ කළා. ජාතික ආරක්ෂාව විනාශ කළා. රටේ සම්පත් පිටරටට විකුණලා දැම්මා. ආර්ථික බිඳ දැම්මා. මහ බැංකුවා හොරා කැවා. රටේ පාලනය පාතාලයට දුන්නා. මේකද එදා දෙනවයි කිව්ව වෙනස කියලා අපි අහනවා.

මිනිස්සු ඉල්ලුවේ මේ වගේ වෙනසක් නෙමෙයි. බොරු කියලා බලය ගත්තට බොරුවෙන් බලය රැකගන්න බැහැ කියන එකට හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුව. දැන් මිනිස්සු ඉල්ලන්නේ මේ හොරු රැල එලවලා දාන්න කියලයි. ජනතාවට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය පොහොට්ටුව විතරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

++++++++++++++++++++++++++++++++

26.06.2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *