චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරයි

(26.06.2018 – 21:04 +0530 – newsfirst.lk/sinhala)

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 976 ක් වූ සම්පුර්ණ මුදලෙන් අවසන් වාරිකය චීන සමාගම විසින් පසුගියදා ලබාදුන්න ද ශ්‍රී ලංකාවේ සම්පත් චීන උගුලකට අසුවීම පිළිබඳව තවමත් දැඩි අවදානමක් වී ඇත.

ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින වැනි විවිධ රටවල්වල ද ණය උගුල් භාවිත කරමින් චීනය ක්‍රමෝපායිකව ස්ථානගතවන බව විවිධ පාර්ශව චෝදනා එල්ල කරති.

අමෙරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ සඳහන් කළේ, අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ ඉඳි වූ හම්බන්තොට වරාය 99 වර්ෂයක බද්දකට ලබා ගැනීම ණය උගුලු භාවිත කරමින් ලොවපුරා තමන්ගේ බලය තහවුරු කිරීමේ වෑයම කදිම නිදසුනක් බවයි.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා බටහිර නිලධාරීන් සමග මාස ගණනාවක් පුරා පැවති සම්මුඛ සාකච්ඡා තුළින් හා වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ලිපි ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව සම්පාදනය කළ මෙම ගවේෂණාත්මක පුවත්පත් වාර්තාව සකස් කර තිබේ.

කුඩා රටවල්වල චීනය හා චීන රජයේ සමාගම් තමන්ගේ බලය තහවුරු කළ ආකාරය මේ ගවේෂණය තුළින් හෙළි වූ බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය සහනාධාර ලබාදී හම්බන්තොට වරාය වැනි සම්පත් හමුදාමය කටයුතු සඳහා භාවිතා විය හැකි බවට ඉන්දීය නිලධාරීන් සැක පළ කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පළමු ණය කොටස වූ ඩොලර් මිලියන 307 ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ චීන රජයේ එක්සිම් බැංකුව මගිනි.

නමුත් එම ණය ලබාගැනීම සඳහා චීන රජයෙන් යෝජනා වූ චයිනා හාබර් සමාගමට වරාය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරදිය යුතු බවට චීන රජයෙන් කොන්දේසියක් පනවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ලොවපුරා චීන ණය ආධාර තුළින් ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මෙවැනි කොන්දේසි පැනවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, චීනය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති අතර 2015 ජනාධිපතිවරණය ළංවීමත් සමගම හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණ ලැබී ඇති බවයි.

ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක්ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තව ත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තව ත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනු ඇත.

මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකිනි.

චීන සමාගමක් මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට ඩො. මිලියන 7ක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරයි

චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරයි

Posted by Newsfirst.lk on Tuesday, June 26, 2018

+++++++++++++++++++++++++++++++++++++++

How China Got Sri Lanka to Cough Up a Port

https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html

+++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ
(28.06.2018 – 19:58 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය කරුණු රැසක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

ඒ, සිය නිල ට්විටර් ගිනුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්.

++++++++++++++++++++++++++++++++

නිව්යෝක් ටයිම්ස් අනාවරණය අසත්‍යක් – හිටපු මහ බැංකු අධිපති කියයි
(28.06.2018 – 19:09 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් බැංකු ගිණුමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාගෙන ඇති බවට “ද නිව්යෝක් ටයිම්ස්” පුවත්පත කළ අනාවරණය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතා අද (28) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉල්ලීමක් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාගෙන ඇති බව “ද නිව්යෝක් ටයිම්ස්” පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණ කරනු ලැබීය.

මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් ටී ෂර්ට් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක් ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තවත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා ඇති බව එම වාර්තාවෙන් දැක්වේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තවත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකින් බවද වාර්තවේ දැක්වේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.

චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එසේ මුදලක් හිටපු ජනාධිපතිගේ ගිණුමට ලැබී ඇත්නම් ආණ්ඩුව මේ වන විට ප්‍රතිචාර දක්වා තිබිය යුතු බවත් ඒ සඳහා කිසිඳු සාක්ෂියක්ද නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා රටේ සම්පත් විකුණන පදනමක නොසිටි බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාඔ ක‍ළේය.

++++++++++++++++++++++++++++++++

Interview with Mr.Ajith Nivard Cabraal

+++++++++++++++++++++++++++++++

28.06.2018

චීන වරාය සමාගමෙන් ඩොලර් මිලියන 6.7ක් මහින්ද රාජපක්ෂගේ ජන්දයට වියදම් කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ගැන රන්ජන් ගෙන් FCID යට පැමිණිල්ලක්. ඇල්ල ප්‍රදේශයේ ගුණවත් හාමුදුරු කෙනෙක්ටත් ඩොලර් 38,000ක් දීලා

Posted by Ranjan Ramanayake on Thursday, June 28, 2018


+++++++++++++++++++++++++++++++

මහින්දට එරෙහි නිවුයෝක් ටයිම්ස් මුට්ටිය කුඩු.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් සුන්..
(29.06.2018 – 15:50 +0530 – lankacnews.com)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර මතක් කරන ආකාරයට එරට පුවත් පත් වලින් බොරු ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හොඳ උදාහරණයක් ලෙස පසුගිය ජුනි 25 දා නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතේ හම්බන්තොට වරාය ගැන පලවූ ආන්දෝලනාත්මක ලිපිය නම් කල හැකි බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු එසේ පැවසූවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

‘‘අද මේ රටවල බාහිර සංවිධානයකට මුදල් වියදම් කොට තමන්ට අවශ්‍ය විදියට පුවත් පත් වාර්ථාවක් ලියා ගන්න පුලුවන්. හොඳ උදාහරණයක් තමයි කාගේ හෝ අවශ්‍යතාවට ඉතාමත්ම පක්ෂාග්‍රහී විදියට ලියා තිබෙන මේ ලිපිය. ඒ ලිපියෙම සඳහන් වන ආකාරයට ඔවුන් සියලු විස්තර ලබාගෙන තිබෙන්නේ වත්මන් රජයට සම්බන්ධ දේශපාලනඥයින්ගෙන් හෝ නිලධාරීන්ගෙන්. කොහොමද එවැනි වාර්ථාවක් අපක්ෂපාතී වන්නේ ? ජනතා බදු මුදල්ම වෙන්න ඇති සමහර විට වක්‍ර ආකාරයකට යෙදෙවෙන්නේ මේ වගේ ලිපි ලියවාගන්න.

හම්බන්තොට වරාය ගැන වූ මේ ලිපියේ අසත්‍ය කරුණ රාශියක් අඩංගු වෙනවා. අපි ඉන් කිහිපයක් සලකා බලමු. ඔවුන්ගේ පලමු චෝදනාව තමයි මේ වරාය හිටපු ජනාධිපතිවරයාගේ සිහිනයක් සැබෑ කරන්න රජය විසින් කල අනවශ්‍ය ආයෝජනයක් කියලා. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන මදක් හෝ අවබෝදයක් තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා හම්බන්තොට වරායක් ඉදිකිරීමේ මුල් අදහස මහින්ද රාජපක්ෂගේ නෙමෙයි කියලා. ඔහු බලයට එන්නට පෙර රජයන් ගනනාවක් මෙවැනි වරායක් දකුණු මුහුදු තීරයේ ඉදිකරන්නට සැලසුම් සකස් කරමින් සිටියා, නමුත් ප්‍රමාද වූ තවත් බොහෝ ව්‍යාපෘතීන් මෙන් මෙම ව්‍යාපෘතියත් තමුන්ගේ පාලන කාලය තුල ආරම්භ කිරීමයි හිටපු ජනාධිපති වරයා කලේ.

දෙවනුව මෙම ලිපියෙන් අඟවන්නට උත්සාහ කරනවා චීනය සමඟ මේ ව්‍යාපෘතිය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මහින්ද රාජපක්ෂට තිබුනා කියා. එයත් බොරුවක්. මොකද පසුගිය රජය මේ වරාය ගොඩනැගීමට හවුල් වන ලෙස මුලින්ම ආරාධනය කලේ ඉන්දියාවටයි. නමුත් ඉන්දියාව එයට එතරම් උනන්දුවක් නොදැක්වු නිසා පසුගිය රජය තීරණය කලා තනියම මේ ව්‍යාපෘතියට අත ගසන්නට. ඔවුන් චීනය දෙසට හැරුනේ ඒ සඳහා අවශ්‍ය ණය ලබා ගන්නටයි.

ලිපියෙන් කියන්නට උත්සාහ කරන තවත් බොරුවක් නම් චීනය විටින් විට පොලී අනුපාතයන් ඉහල දමමින් වරාය හරහා අපව ණය උගුලක පැටලුවා කියන එක . මෙයත් බොරුවක්. සත්‍යය කුමක්ද ? මේ වරාය සඳහා චීනයෙන් ගත් මුලු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1250 පමණ වෙනවා. ඉන් පලමු මිලියන 300 ගන්නට ගිය විට ඔවුන් එය දුන්නේ සාමාන්‍යයෙන් ඉහල පොලියකට. මොකද යුද්ධය තදින් පැවති ඒ කාලයේ කවුරුවත් අඩු පොලියට ලංකාවට ණය දුන්නේ නැහැ. නමුත් ඉන් පසු ගත් ණයවලට අය කල පොලිය ඉතාම අඩුයි. ඒ නිසා අවසානයේ සමස්ථ ණය සඳහා වු දල පොලී අනුපාතය 3.2% කට පමණ අඩුවෙලා තිබුනා.

හම්බන්තොට වරාය ණය උගුලක් කියලා කවුරු හෝ කියනවානම් එය අමුලික බොරුවක්. මේ වරායේ දැනට නිමකොට ඇති අදියර දෙක සඳහා ගත් මුලු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1250 ක් පමණ වෙනවා. මේ ණය වලට අදාල පොලියද එකතු කරාම ගෙවන්නට තිබූ මුලු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1750 ක් පමණ වෙනවා. එ සඳහා අපට අවුරුදු 27 ක පමණ කාලයක් දී තිබුනා. නමුත් වරාය සාදා වසර කිහිපයක් ගත වන විටත්, උදාහරණයක් වශයෙන් වර්ථමාන රජය බලයට එන විට මින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ වරාය අධිකාරිය විසින් ගෙවා අවසන්. ඒ ගෙවලත් වරාය අධිකාරිය ලාබ ලබමින් සිටි ආයතනයක්. ඒ විදියට ගියානම් තව අවුරුදු 6 ක් 7 ක් යන කොට ඒ ණය සියල්ල ගෙවා අවසන් කරන්නට තිබුනා නමුත්. මේ ආණ්ඩුව ජනතාවට බොරු කියා වටිනා ජාතික සම්පතක් රටට අහිමි කලා.

නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතේ මේ ලිපියේ තවත් චෝදනාවක් තිබෙනවා චයිනා හාබර් සමාගම විසින් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 9.3 ක් පමන මුදලක් රාජපක්ෂ රජයට ලබා දුන්නා කියා චන්ද කටයුතුවලට. මම කියවල බැලුව ලිපිය හොඳට කොහෙන්ද වාර්ථාකරු මේ විස්තර ලබාගෙන තිබෙන්නේ කියලා. අනේ බලන කොට මේ විස්තර ඔවුන් ලබාගන තිබෙන්නේ යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර වාර්ථාවකින්. ඒ කියන්නේ කවුද මේ විස්තර නිව් යොර්ක් ටයිම්ස් පුවත් පතට දෙන්නේ ? අර පසු ගිය කාලේ මහින්ද රාජපක්ෂගේ ගිණුමක ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් තියනවා කියපු අයමයි. නාමල්ගේ ඩුබායි ගිණුම් ඇහින් දැක්කා කියපු අයමයි, ලංකා බැංකුවේ ගිනුමක ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික මුදල් රුපියල් බිලියන 18 ක් තියනවා කියලා කියපු අයමයි. ඔන්න සත්‍යවාදී තොරතුරු සපයන්නෝ.

ඉතින් මේ කතා ඇත්තනම් ඇයි මේ වන තුරු රජය මේ ගැන මොකුත් කරලා නැත්තේ. හරිම පහසුයිනෙ චයිනා හාබර් සමාගමට ගොසින් මේ ගැන පරීක්ෂණයක් කරන්න. මේ මුදල් ගත්තා කියන අය ගැන පරීක්ෂණ කරන්න. ඇත්තටම මොනවා හරි තිබුනනම් මේ වන විට මේ අය මොන නැටුමක් නටලද කියල අපිට හිතා ගන්න පුලුවන් නේද ?

මේ තිරයෙන් පිටු පස් ඉන්නේ පහුගිය කාලේ සමස්ථ ජාතියම රවටන්න කප්පරක් බොරු කියපු කට්ටියම නේද ? ඔවුන්ගේ සුපුරුදු බොරුව පිටරට පුවත් පතක ඉංග්‍රීසි බසින් ලියවාගෙන තිබෙන එක නේද එකම වෙනස ?

එදා ජනතාව මේවට රැවටුනා. හැබයි අද ජනතාව ඉන්නේ අවධියෙන්. මොන පාරෙන් ආවත් ආයෙත්නම් ජනතාව මේ කතා වලින් රවටන්න හම්බ වෙන්නේ නැහැ.’’

– චාමින්ද කරුණාරත්න

++++++++++++++++++++++++++++++++++

‘‘අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..’’ – නිව්යෝක් ටයිම්ස්
(29.06.2018 – 15:00 +0530 – lankacnews.com)

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇති බවට තම වාර්තාව මගින් එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් යයි නිව්යොක් ටයිම්ස් වෙබ් අඩවියට එම ආන්දෝලනාත්මක වාර්තාව සම්පාදනය කල මාරියා අබී හබීබ් මාධ්‍යවේදිනිය කියා සිටී.

සිරස රූපවාහිනිය වෙත ඇය සදහන් කර ඇත්තේ අදාල ලිපිය සැකසීමේදී මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර ගැනීම සදහා උත්සාහයන් කිහිපයක් ගත්තද ඒ සියල්ල අසාර්ථක වු බවයි.

මේ සම්බන්ධ අදාල ප‍්‍රශ්ණ 10 ක් ඔහු වෙත ලබා දී මාස දෙකක පමණ කාලයක් තිස්සේ පිළිතුරු අපේක්ෂා කළ බවත් පවසන ඇය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් මුණ ගැසීම සදහා කිහිප විටත්ම ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ බවද සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරන්නේ අදාල මාධ්‍ය වාර්තාව සකස් කර ඇත්තේ මෙරට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කරන ලද පැමිණිල්ලක් පාදක කරගෙන බවත් තමන් විසින් ලබා දුන් දීර්ඝ පැහැදිලි කිරීමේ කිසිදු කරුණක් වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන නැති බවත්ය.

චීනය හා ඇමරිකාව අතර ඇති දීර්ග කාලීන ප‍්‍රතිවිරෝධයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම අයුතු ලෙස භාවිත කර ඇති බවටත් ඔහු චෝදනා කරයි ෴

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මාධ්‍ය නිවේදනයක්
(03.07.2018 – 14:04 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා.

එමඟින් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට බලපෑම් නොකරන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *