විදුහල්පති ස්ථාන මාරු කළ වරදට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න හිටපු මහ ඇමතිට නියමවෙයි

(28.06.2018 – newsfirst.lk/sinhala)

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

2016 වසරේ සැප්තැම්බර් මස 14 වන දා අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාට නීති විරෝධී ලෙස ස්ථාන මාරුවක් ලබාදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කරමින් නඩුවක් ගොනු කර තිබිණ.

ස්ථානක මාරුව සිදු කළ අකාරය පිළිබඳ පැහැදිලි කළ, අනුරාධුපර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්. පි. කරුණාරත්න බණ්ඩාර මහතා…

‘‘2016 9 14 වෙනිදා උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය මට ස්ථාන මාරුවක් ලබා දෙනවා. මුල් ගල තැබීමේ උත්සවයේදි මහමැතිතුමා සතුටට පත් වුනේ නැහැ.. ඒ නිසා එතුහාගේ නියෝගයට අනුව මාරු කරන්න සිද්ධ වෙනවා කියලා. ඊටපස්සේ මට ස්ථාන මාරු ලිපිය ආවා. ඉල්ලීම් කරා අභියාචනා කරා මේ ස්ථාන මාරුව අවලංගු කරලා මේ විද්‍යාලයේ සේවය කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා.නමුත් කිසිම නිලධාරියෙක් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ”

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, පේෂල ජයරත්න මහතා වන්දියට අමතරව රජයේ ගාස්තුව වශයෙන් රුපියල් පනස් දහසක් ද ගෙවිය යුතු බවයි.

මාස දෙකක් තුළ කරුණාරත්න බණ්ඩාර මහතා අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස යළි පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

+++++++++++++++++++++++++++++++++

උතුරුමැද හිටපු මහ ඇමතිවරායට එරෙහිව ලබාදුන් තීන්දුව සමස්ත රාජ්‍ය සේවකයාම ලද ජයග්‍රහණයක්
(28.06.2018 – lankatruth.com)

දේශපාලනඥයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකිරීම හේතුවෙන් දේශපාලන බලපෑම් මත අසාධාරණ ලෙස මාරු කිරීම්වලට ලක්වූ නිවර්තක චේතිය විදුහලේ විදුහල්පතිවරයා විසින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව ජයග්‍රහණය කිරීම සමස්ත රාජ්‍ය සේවයේම නිලධාරින් ලද ජයග්‍රහණයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

උතුරුමැද හිටපු මහ ඇමතිවරයා වු පේෂල ජයරත්න විසින් අත්තනෝමතික ලෙස නිවර්තක චේතිය විදුහලේ විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරු කිරීමට එරෙහිව අංක 356/2016 මෙම මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කර තිබු අතර එහි තීන්දුව ප්‍රකාශ කරමින් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා වැරදි කරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුනේ විදුහල්පති ආර්.පි. කරුණාරත්න බණ්ඩාර මහතාට තම පෞද්ගලික මුදලින් රුපියල් 250,000ක මුදලක් හා රජයේ ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙස ය.

2016 වර්ෂයේ සැප්තැම්බර් 09වන දා අනුරාධපුර නිවර්තක චේතිය විදුහලෙහි පැවති මුල්ගල් තැබිමේ උත්සවයකට අදාලව එහි සිසුන් සහ දෙමව්පියන් නොකැදවිමට උරනව එහි විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටි ආර්.පි. කරුණාරත්න බණ්ඩාර මහතා එම මස 14 වැනි දින සිට වහා ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුකර තිබිණි.

එමගින් මහ ඇමතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12/01 වගන්තිය උල්ලංඝනය කරමින් විදුහල්පතිවරයාගේ මුලික අයිතිවාකම් කඩකර ඇති හෙයින් මෙම ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඊට වන්දි වශයෙන් අදාළ මුදල ගෙවන ලෙසත් මාස දෙකක් ඇතුළත් එම විදුහල්පතිවරයා යළි නිවර්තක චේතිය විදුහලටම පත් කරන ලෙසත් නියෝග කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධානලේකම්, ගුරු විදුහල්පති පෙරමුණෙහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ මෙය තනි පුද්ගලයෙකු ලැබු ජයග‍්‍රහණයක් නොව මෙරට වරින්වර බලයට පත්වෙන මධ්‍යම හා පලාත් ආණ්ඩු විසින් බරපතල ලෙස දේශපාලන බලපෑම්වලට නතු කර ගෙන සිටින ගුරුවරුන්, විදුහල්පතිවරුන් ලැබු සුවිශේෂි ජයග‍්‍රහණයක් බවත් තවදුරටත් මෙවැනි දේශපාලන පළිගැනිම් සිදුකිරිමට යාමේදී දේශපාලඥයින් මෙන්ම ඔවුන්ට ගැතිකම් කරන නිළධාරින්ද දැඩි අවධාණයට ගතයුතු නඩු තීන්දුවක් ලෙස මෙය පෙන්වා දිය යුතු බවත්ය.

එමෙන්ම මෙම නඩු තීන්දුව සමස්ත රාජය සේවයේම ජයග්‍රහණයක් බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ සුනිල් වටගල මහතා පෙනී සිටින ලදී.

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *