මාතර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙකු හඳුනා ගනියි – හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට

(29.06.2018 – 08:24 +0530 – sinhala.adaderana.lk)

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හබරකඩ වසන්ත නැමති මෙම පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී ඇති අතර, අදාළ සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවසේ සිටින ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය නිවස පරීක්ෂා කර තිබේ.

එහිදී මාතර වෙඩි තැබීම සිදු කිරීමට රැගෙන ආ බවට සැක කළ හැකි රිවෝල්වරයක්,ජීව පතොරම් 4 ක් හා හිස් පතොරම් කොපු 2 ක් නිවසේ සැඟව තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අදාළ අවස්ථාවේ දී සැකකරුගේ බිරිඳ නිවසේ සිට ඇති අතර, ඇයගේ අනුදැනුම මත මෙම භාණ්ඩ නිවස තුළ සඟවා තිබී ඇති බැවින් පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++

මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි
(29.06.2018 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

එම රන් භාණ්ඩ හෝමාගම – හබරකඩ ප්‍රදේශයේ නිවසක මිදුලේ වළ දමා තිබියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක් සහ හිස් පතොරම් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.

එහිදී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර, පසුව මව, පියා සහ රන් භාණ්ඩ වළ දමා තිබූ නිවසේ සිටි කාන්තාවක සහ තවත් අයෙකු ද අත්අඩංගුවට ගැනුණා.

සොයා ගත් රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණන් බලා නැහැ.

හබරකඩ වසන්ත අත්අඩංගුවට ගැනීම සඳහා ද පරීක්ෂණ සිදුකෙරෙන බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

———————

****************************************

කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙකුට සිසුන් 40 ක් එක්ව පහරදෙයි – සිසුවා රෝහලේ
(29.06.2018 – nethnews.lk)

සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබෙනවා. එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලු සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින්. ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. එහෙත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ සවස මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි රෝහල් ප‍්‍රකාශිකාවක් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *