අඳුර දුරලන ‘එලිය’ දල්වාගෙන ගෝඨා රට වටේ.. ආණ්ඩුව පෙරලන හැටිත් අලුත් ආණ්ඩුව කරන හැටිත් කියයි..

(02.07.2018 – 00:02 +0530 – lankacnews.com)

දඹුල්ල, ගලේවෙලදී පැවති ‘එළිය’ සංවිධානයේ සම්මන්ත‍්‍රණයක් අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය :

අද මේ රටේ ආර්ථිකයට වෙලා තිබෙන දේ කවුරුත් දන්නවා. එළිය සංවිධානය හරහා මේ ආර්ථික ගැටලු, ව්‍යවස්ථා සංශෝධන ගැන ඔබව දැනුවත් කරනවා. මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසාකයන් එකතු කරලා හැදුණු ‘වියත්මග’ සංවිධානය හරහා රටේ තිබෙන ප‍්‍රශ්න විශ්ලේෂණය කරමින් ඒවාට දිය යුතු පිළිතුරු, ප‍්‍ර‍්‍රතිපත්ති සකස් කරගෙන යනවා. ගොවි මහතුන්ට ප‍්‍රශ්න තිබෙනවා. මේ රටේ ආර්ථික ව්‍යුහය නැවත ප‍්‍රතිසංස්කරණය කරගත යුතුයි. විශේෂයෙන්ම කෘෂිකර්මය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. නවීන තාක්‍ෂණය කොහොමද අපි ගොවි ජනතාවගේ ආර්ථික නිදහස ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නේ කියන කාරණය ඉතා වැදගත්. අපි රටක දළ ආදායම ඉහළ නැංවුවත්, එය ජනතාව අතර සමසේ බෙදී යන්නේ නැතිනම් ඒ ආර්ථික දියුණුවෙන් කිසි ප‍්‍රයෝජනයක් නැහැ. අපිට පුළුවන්කම තිබිය යුතුයි රටේ ආර්ථික දියුණුවත් එක්ක දිළිඳුකම අවම කර ගන්න. ලෝකයක් සමග ඉදිරියට යන විට ආසියාව ඉදිරියේදී ප‍්‍රබල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. එහිදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයත් එතැනට ගෙන යා යුතු වෙනවා. ඒ සඳහා විද්‍යාව, තාක්‍ෂණය අතින් දියුණු විය යුතුයි. දේශීය කර්මාන්තකරුවා ආරක්‍ෂා කරගෙන, කෘෂිකර්මාන්තය ආරක්‍ෂා කරගෙන ගෝලීය ආර්ථිකයත් සමග ඉදිරියට යෑම ඉතා වැදගත්.

අපිට ගොඩක් අය චෝදනා කරනවා, චීනයෙන් පමණක් ණය ගැනීම පිළිබඳව. වෙනත් ජාත්‍යන්තර ආයතනවලින් ගත්තේ නැහැ කියලා දොස් කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය අරන් අපේ රටට අද මොකද වෙලා තිබෙන්නේ. මේ ආයතන කියන්නේ කෘෂිකර්මාන්තයට මූලිකත්වයක් දීම අවශ්‍ය නැහැයි කියලා. දේශීය කර්මාන්ත දියුණු කරන්නට තිබෙන ක‍්‍රම අහිමි කරනවා. ගෝලීය ආර්ථිකයත් සමග ඉදිරියට යන විට දේශීය කර්මාන්ත අමතක කරන්න බැහැ. මොවුන් දිගින් දිගටම කරන්නේ විරුද්ධ දේශපාලනඥයන් තලාපෙළා දමන්නයි. ඒ අය අද කතා කරනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. මහින්ද රාජපක්‍ෂ රජයක් යළිත් ආවොත් දැන් තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවෙයි කියනවා. නමුත් නිදහසින් පසු බිහි වූ රජයන් අතරින් බිහිසුණු හා ත‍්‍රස්තවාදයට එරෙහිව නියම ආකාරයෙන් සටන් කරලා රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදුන්නේ මහින්ද රාජපක්‍ෂ රජය පමණයි. එදා 87, 88, 89 කාලවල තිබූ භීෂණය අද බොහෝ තරුණ තරුණියන්ට මතක නැතුව ඇති. දිගින් දිගටම ගිය ත‍්‍රස්තවාදය තුරන් කරලා රටට සාමය උදා කර දුන්නේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා උතුරට කිසිම නායකයකුයට යන්න බැරිවයි තිබුණේ. ආර්ථික මර්මස්ථාන විනාශ කළා. යුද්ධයක් තිබුණොත් රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කරදෙන්න පුළුවන්ද? මහින්ද රජය ක‍්‍රමයෙන් ගෙනා සාමය අද විනාශ වෙමින් පවතිනවා. මේ රටේ ආරක්‍ෂාව විනාශ වෙලා යනවා නම් ප‍්‍රජාතනත‍්‍රවාදයක් ඇති කරන්න පුළුවන්ද? පාතාලය නැවත හිසඔසවනවා. අද දවසක් උදා වෙන්නේ කෙනෙක්ගේ මරණයක් ගැන අහලා. යුද්ධය අවසන් කරලා සෑම කෙනෙකුටම සතුටින් ඉන්න පරිසරයක් නිර්මාණය කළා. දකුණට සාපේක්‍ෂව උතුරු නැගෙනහිර දියුණුව, සංවර්ධනය ඇති කළා. ඒ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නයි. යුද්ධයෙන් විනාශ වූ ඒ ප‍්‍රදේශවල පාරවල්, දුම්රිය මාර්ග හැදුවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා රජය ප‍්‍රාදේශීය සභා ඡන්දය කොතරම් කල් දැම්මාද? පළාත් පාලන ඡන්දයත් කල්දැම්මා. මහින්ද රාජපක්‍ෂ රජය සෑම පළාතකම සෑම ඡන්දයක්ම නිසි කලට පැවැත්වූවා. උතුරේ පළමු වරට පළාත් සභාව ස්ථාපිත කළේ මහින්ද රාජපක්‍ෂ රජයයි. මේ ආකාරයෙන් තමයි එතුමා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළේ. එතුමා මේ රටේ ස්ථාපිත කළ සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙන කාටත් ගෙන එන්නට බැහැ. ඔවුන් කරන්නේ විනාශ කිරීම පමණයි.

අද ඇමැතිවරුන් කතා කරන්නේ ද්වේශයෙන්. මේ අය තහවුරු කරන්න යන්නේ ජම්පර් ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මේ රටේ ප‍්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. වෛරයෙන්, ද්වේශයෙන් කතා කරන්නේ. යම්කිසි වැරද්දකදී ගත යුතු ක‍්‍රියාමාර්ග තිබෙනවා. අද වැරදිවලදී ක‍්‍රියා කරන්න යන්නේ දේශපාලනඥයන්, හා රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම්. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරමින් යන්නේ මේ රජයයි. ඇතැම් අයට ඒ අයගේම ඉතිහාසය අමතක වෙලා. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ මහතාට නම් පටබඳිනවා. සුදු වෑන් නිර්මාතෘ කවුද? බටලන්දේ නිර්මාතෘ කවුද? එවැනි නිර්මාතෘවරුන් තමයි අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්නේ. මගේ පෞද්ගලික දානයකදී නායක හිමිපාණන් වහන්සේ කළ අනුශාසනාවක් අල්ලගෙන මොන තරම් දේවල් කිව්වද? මෙවැනි ආරාජික තත්ත්වයකට අද රට පත් වෙලා.

මේ රජය පෙරළීම පමණක් නොව, ඉදිරියේදී එන රජයක් වැඩ කළ යුත්තේ කෙසේද කියන කාරණයත් ගැන අවධානය යොමු කළ යුතුයි. ‘වියත්මග’ ඇති කළේ ඒ නිසයි. අපිට පිටරට ඉන්න උපදේශකයන් පසුපස යන්න අවශ්‍යතාවක් නැහැ. අපේ වෘත්තිකයන් තමයි දන්නේ අපේ රටේ අවශ්‍යතා මොනවද කියලා. සෑම ශිෂ්‍යයකුටම විශ්වවවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම ඉතා අවශ්‍යයි. ඉදිරියේදී එන ඕනෑම රජයක් මේ කාරණයට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුයි. තරුණ තරුණියන් උගතුන් කළොත් තමයි ආර්ථික වෙනස ඉටුකරගත හැක්කේ. සෑම අංශයකටම දක්ෂ පුද්ගලයන් බිහි නොකළොත් අවශ්‍ය තැනට යන්න බැහැ. අපේ ප‍්‍රධානතම සම්පත මඟදී හැළෙන්නට නොදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. නමුත් අපේ බහුතර තරුණ තරුණියන් සංඛ්‍යාවකට ඒ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ නැතිනම් ඒ නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් නැහැ. මේවා ගැන අපේ රජයකදී අවධාන යොමු කරනවා. විවිධ අංශවලින් ආර්ථිකය ඉදිරියට ගෙන යෑම ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. රාජ්‍ය සේවය දියුණු, වඩාත් කාර්යක්‍ෂම කළ යුතුයි. රාජ්‍ය නිලධාරියා කාර්යක්‍ෂම නැතිනම් ඔබලාට තිබෙන අසීරුතා අපි දන්නවා. යුද්ධය ජයග‍්‍රහණය කළේ කැපවීම, හා කාර්යක්‍ෂමතාව නිසයි. දක්ෂයන්ට නිසි තැන දුන්නා. එදා හමුදාවෙත්, රාජ්‍ය සේවයේත් අපි එහෙමයි කළේ. කොළඹ සංවර්ධනය කළ හැටි කවුරුත් දැක්කා. අපි පිටින් කවුරුත් ගෙනාවේ නැහැ. අපේ රාජ්‍ය නිලධාරීන්මයි ඒවා කළේ. අපේ මූලික පරමාර්ථය වූයේ ජනතාව සතුටින් තැබීමයි. එදා අපි ඇති කළ නිදහස නිසා තමයි ඕනෑම කෙනෙකුට රටේ සෑම තැනකටම ගිහින් අපිව විවේචනය කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. යම්යම් බොරු ප‍්‍රචාර නිසා, ඇතැම් කොටස් මුලාවට පත් කළා. මුස්ලිම් සමාජය අපෙන් ඈත් කරන්න කටයුතු කළා. අද දන්නවා ඇත්ත මොකක්ද කියලා. ගම්බද ජනතාව ඒ බොරුවලට රැවටුණේ නෑ. ඇතැම් නාගරික, මධ්‍යම පාන්තික අය බොරුවලට රැවටුණා. අදත් ඔවුන් හිතාගෙන ඉන්නේ තමුන්නාන්සේලාට බොරු කරන්න. මේවා ගැන හොඳින් අවබෝධ කර ගත යුතුයි.

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *