20 සංශෝධනයට ජවිපෙ ඇතුලේ වලි.. අනුරට සුන්දරයි.. ලාල්ට කැතයි..

(02.07.2018 – 08:40 +0530 – lankacnews.com)

පාතාල මර්දනයට නායකත්වය දුන් රංගජීව වැනි පොලිස් නිලධාරීන් හිරේ දමා පාතාලයන්ට නිදහස දුන් වත්මන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සහ පොදු ජනතාවට මරණ බිය උරුම කර දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පසුගියදා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘‘රටට සතුරු 20 එපා!’’ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය :

“දින 100 න් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ආපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු තුනකට පස්සේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තබා තිබෙනවා. දැන් අනුර දිසානායක කියනවා, ‘මේ 20 වැනි සංශෝධනය විජිතගේ’ කියලා. විජිත හේරත් කියනවා, තවත් කෙනෙකුගේ කියලා. එහෙම බැලුවොත් ‘20 වැනි සංශෝධනය අවජාතකයි’ කියලා පෙනෙනවා. නමුත් මේකට අප්පෙක් ඉන්නවා. ඒ තමයි ජයම්පති වික්‍රමරත්න. ඔහු මේක හැදුවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්.

අනුරට සුන්දරයි – ලාල්ට කැතයි

2018 පෙබරවාරි 10 වැනිදා ලැබුණු ඡන්ද ප්‍රතිඵලයත් සමගම රනිල් වික්‍රමසිංහ කඩා වැටුණා. බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙන ඒමේ වැඩපිළිවෙළ යට ගැහුවා. මේ පරාජය වසා ගන්න රනිල් වැඩ දෙකක් තේරුවා. පළමු එක තමයි සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම. දෙවැන්න ජනතා විමුක්ති පෙරමුණ ලවා ‘20 වැනි සංශෝධනය’ ගෙන ඒම. දැන් මැතිවරණ පරාජය යට ගිහින්, සිංහල – මුස්ලිම් ගැටුමත් යට ගිහින්. උඩට ඇවිත් තිබෙන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ නැමැති සුන්දර ලලනාව පිළිබඳ කතිකාව. නමුත් ජවිපෙ නායකයනුත් මේ ගැන විවිධ කතා කියනවා. අනුර දිසානායකට අනුව ‘20 වැනි සංශෝධනය නැමැති ලලනාව’ සුන්දරයි. ලාල්කාන්තට අනුව කැතයි, අඩුපාඩු ගොඩක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආවාට ගියාට ගෙන එන්න බැහැ. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ‘එහෙන් මෙහෙන් ඇණ මුරිච්චි ගලවනවා’ වගේ සිදු කරලා දැන් මුළු රටම ‘අඤ්ඤකොරොස්’ වී තිබෙන්නේ.

මම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැන නැඟෙන අවුලක් නිදසුනක් මගින් පෙන්වා දෙන්නම්. අපි දන්නවා ජනාධිපතිවරණයකදී කිසිම අපේක්ෂකයකුට 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනය කුමක්ද, කියලා. ඒ තමයි පළමු හා දෙවන තැනට පත් අපේක්ෂකයන් දෙදෙනාට ලැබී ඇති, තුන්වන – හතරවන ආදී ස්ථානවලට පත් වන අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල තිබෙන දෙවන මනාපය ගණනය කිරීම. ඇත්තෙන්ම ජනාධිපතිවරණයකදී මේ රටේ අතිමහත් බහුතරයක් ඡන්දදායකයන් දෙවන මනාපයක් දෙනවා ද? නැහැනේ. එහෙම කිසිවකු 50% ක ඡන්ද ප්‍රතිශතයක් නොගතහොත් එහිදී කුමක් කළ යුතුද, කියා මේ ව්‍යවස්ථාවේ සඳහන්ව නැහැ.

පිස්සු හැදුනත් කරන්න දෙයක් නැහැ

19 වතාවක් සංශෝධනය වී ඇති නිසා දැන් තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ ව්‍යවස්ථාව නොවෙයි. සිදු වෙලා තිබෙන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ද වසර 04 ක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. අපි හිතමු මේ පාර්ලිමේන්තුවේ බහුතරයකට පිස්සු හැදුණා කියලා. ඒත් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බලතල නැහැ. ඒ විතරක් නොවෙයි ‘අගමැතිට පිස්සු’ කියලා වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න බැරි වුණොත් අගමැතිට ඇත්තටම පිස්සු වුවත් ජනාධිපතිවරයාට ඔහුව අගමැති ධුරයෙන් ඉවත් කරන්න බලතල නැහැ. ඒ අනුව අපට පැහැදිලියි, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පද පෙරළි’ මේ රටේ ඉරණමත් සමග ඉතා තදින් බැඳී ඇති බව.

පළාත් ආණ්ඩුව ශක්තිමත් කිරීම

මේ රට ගිලගන්න බලාගෙන ඉන්න බටහිර පිසාචයන්ට උවමනා මධ්‍යම ආණ්ඩුව දුර්වල කරලා පළාත් ආණ්ඩුව ශක්තිමත් කිරීමටයි. ඒ කියන්නේ මුදුන දුර්වල කරලා පරිධිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ඒ විදියට පළාත් ආණ්ඩුව ශක්තිමත් කරලා මධ්‍යම ආණ්ඩුව සමග ගැටුමක් ඇති කරවීම ඒ අයගේ අරමුණයි. දැන් මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළාම ඔහු පත් කරන පළාත් ආණ්ඩුකාරවරයාට ද ලැබෙන්නේ කප්පාදු වූ බලතල. පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කප්පාදු කරන විධායක බලතල යන්නේ පළාත් සභාවේ මහ ඇමතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතට. ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවඟන සහ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ නැමැති සුරූපී ලලනාව ඉදිරියට දමාගෙන බෙදුම්වාදීන්ට උවමනා හොර පාර කපා දෙන්නේ මේ ආකාරයටයි.

ඇත්ත ප්‍රශ්න යට ගහනවා

මෙම හොර පාර කපනා ආකාරය නොපෙනෙන්න මේ ආණ්ඩුව ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් ඉන්නවා. දැන් බලන්නකෝ රාජ්‍ය මාධ්‍ය දැන් අපි වෙනුවෙන් හිට්ලර් පිළිබඳව පාඨමාලාවක් කරගෙන යනවා. මම හිතන්නේ අපේ දරුවන්ට දැන් දුටුගැමුණු රජතුමා ගැනටත් වඩා වැඩි අවබෝධයක් හිට්ලර් පිළිබඳව ලැබී ඇති කියායි. අපි අපේ නායක ස්වාමීන්වහන්සේ ස්තූතිවන්ත විය යුතුයි, ‘හිට්ලර්‘ යන වචනය වදාරලා අපේ රටේ රාජ්‍ය මාධ්‍ය හරහා හිට්ලර් පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරවලා ජනතාවට ඒ පිළිබඳ දැනුම්වත් වීමට අවස්ථාවක් ලබා දීම ගැන. ඒ වගේම ‘පොල්පොට්’ කියන වචනය තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවසුවොත් ඒ පිළිබඳවත් මේ අය රටේ ජනතාව ඉතා හොඳින් දැනුම්වත් කරාවි. (සභාවේ සිනා) බොරු සංවාද හදන ගමන් මේ ආණ්ඩුව ඇත්ත ප්‍රශ්න යට ගසමින් ඉන්නවා. පාකිස්ථානයෙන් බාල ඖෂධ ගෙනෙනවා, ඇමතිගේ සාක්කුවට කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් යනවා. බදු බරින් රටම ඔත්පල කරලා, ව්‍යාපාර කඩාගෙන වැටෙනවා, ව්‍යාපාරිකයන්ට ලැබෙන චෙක්පත් ‘රිටන්’ වෙනවා. ‘හෙට දවසේ කොහොමද අපි ජීවත් වෙන්නේ?’ කියන ප්‍රශ්නයට මධ්‍යම පන්තිය ඇතුළු මේ රටේ ජනතාව පත්ව තිබෙනවා. මේ එක ප්‍රශ්නයකටවත් මේ ආණ්ඩුව කිසිදු විසඳුමක් නැහැ.

රංගජීව හිරේ – පාතාලයන්ට නිදහස

උතුරේ අනාරක්ෂිත බව දවසින් දවස වර්ධනය වෙමින් තිබියදී හමුදාව 25% කින් කප්පාදු කරනවා, යුද මූලෝපායික වශයෙන් වැදගත් උතුරේ හමුදා කඳවුරු 100 ක් පමණ ඒ යටතේ ඉවත් කිරීමට යනවා. මෙහෙම කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවටයි. ඇමෙරිකා එක්සත් ජනපදය අද ‘අසූචි ගොඩක්’ කියා හදුන්වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එදා ගෙන ආපු යෝජනාවලියට මංගල සමරවීර අත ඔසවලා එකඟ වුණේ මේ දේ කරන්නයි. අද මේ නිවට ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදීන් හා දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න ආරක්ෂක අංශවලට හැම අතින්ම පහර දෙනවා. එදා පාතාලය මර්දනය කරන්න මුල් වුණු රංගජීව කියන පොලිස් නිලධාරියා අද ඉන්නේ හිරේ. එවැනි නිලධාරීන් හිරේ දමපු මේ ආණ්ඩුව පාතාලයන්ට නිදහස දුන්නා. අපේ ආණ්ඩුව කාලයේ පාතාලයන්ට බිය ඇති වී ජනතාවට ආරක්ෂිත බව පිළිබඳව හැඟීමක් ඇති වී තිබුණා. මේ පාතාලය හිස එසවීම නිසා අද යමක් කමක් හම්බකරගත් ව්‍යාපාරිකයන් ජීවත් වන්නේ ඉතාමත් බියෙන්.

මැතිවරණයක් ළඟයි වගේ

උතුරු පළාත් සභාවේ නිල කාලයත් අවසන් වෙමින් තිබෙන නිසා දැන් මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට සූදානම් වන බව පෙනෙනවා. ඉහත කී ගැටලු ගැන කිසිම සංවාදයක් නැතත් ආණ්ඩුව මැතිවරණයකට එන්න හදන බව පෙනෙන්නේ ආයෙත් බොරු බේගල් ඇද බාන්න පටන් අරගෙන තිබෙන නිසයි. දැන් නිව්යෝර්ක් ටයිම්ස් පත්තරය අල්ලාගෙන බේගලයක් වපුරා තිබෙනවා ‘චයිනා හාබර් සමාගම හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 7.6 ක් වැය කළා’ කියා. 2015 ජනාධිපතිවරණ සමයේදී කිව්වේ ‘මහින්ද රාජපක්ෂට ඩුබායි බැංකුවක ඩොලර් බිලියන 18 ක ගිණුමක් තිබෙනවා’ කියලයි. එක බැංකුවක එච්චර මුදලක් තිබෙන කෙනෙකුට ඇයි මැතිවරණ ව්‍යාපාරයට මේ වගේ සොච්චම් මුදලක කොමිසමක්?

ජවිපෙට අනුව පරම සත්‍යය

නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ බොරු බේගල් ඇදබාලා රෙදි ගලවා ගත්තු පත්තරයක්. ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේ නිව්යෝර්ක් ටයිම්ස් සිදු කළ ජනමත විමසුමක් අනුව හිලරි ක්ලින්ටන් ජයගැනීමේ සම්භාවිතාව 72% යි. ට්‍රම්ප් ජයගැනීමේ සම්භාවිතාව 27% යි. අන්තිමේදී ට්‍රම්ප් ජයගත්තාම මේ අයගේ රෙදි ගැලවුණා. කොටි පරදවපු දවසේ ඉඳන් මේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට රාජපක්ෂවරු වහකදුරු වගේ වුණා. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ කොමිස් කතාව පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ ඇතැම් කොටස් පළ නොකිරීමට මේ පුවත්පත කටයුතු කොට තිබුණා. ‘මේ අධිරාජ්‍යවාදී, ධනපති පුවත්පත පවසන්නේ පරම සත්‍යයයි’ කියලයි අද ජවිපෙ කියන්නේ.

නැවත හංස පූට්ටුවක්

දැන් අවලාද වටය නැවත පටන් අරගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත අවලාද ගහනවා. මහින්ද කඳවුර භේදභින්න කරන්න හදනවා. ඉදිරි ජනාධිපතිවරණය තමන්ට තියන්නම වුණොත් මේ ආණ්ඩුව ඇතුළු දේශද්‍රෝහී කල්ලි ටිකට ආයෙත් පොදු අපේක්ෂකයකු හොයන්න වෙනවා. නැවත හංස පූට්ටුවකට යන්න වෙනවා. ජනතා විමුක්ති පෙරමුණටත් එකඟ විය හැකි පොදු අපේක්ෂකයකු හොයන්න වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමැති 20 වැනි සංශෝධනය අතේ තියාගෙන ගිහිල්ලා, ඒ සටන් පාඨය තමන්ගේ පොදු අපේක්ෂකයාට දීලා ඒක තොරොම්බල් කරමින් ජනාධිපතිවරණය ජය ගැනීමයි මේ අයගේ අරමුණ.

රක්තවර්ණ කුලීකරුවා

ඒ අතරේ මේ දේශද්‍රෝහී හවුල අපේ කඳවුරේ අපේක්ෂකයාට විරුද්ධව තවත් කුමන්ත්‍රණයක් සිදු කරගෙන යනවා. ඒ තමයි, ඉතාමත් අන්තවාදී යෝජනා ටිකක්, ඒ කියන්නේ සුළු ජනකොටස්වලට කිසිසේත්ම එකඟ විය නොහැකි යෝජනා ටිකක් ගෙනල්ලා ‘මේ ටිකට එකඟ වෙන්න නැතිනම් අපි සහාය දෙන්නේ නැහැ’ කියා ව්‍යාකූලත්වයක් හැදීම. මේ සියල්ල මේ බටහිර අධිරාජ්‍යවාදීන්, දෙමළ ඩයස්පෝරාව ඇතුළු දේශද්‍රෝහී කල්ලි විසින් එවනු ලබන පිල්ලි. ඒ උපායමාර්ගය අනුවම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අද මේ ශ්‍රී ලංකාවට එරෙහි ගෝලීය සැලැස්මේ ‘රක්තවර්ණ කුලීකරුවකු’ පමණයි. ඔවුන් දැන් තම අධිරාජ්‍යවිරෝධී ඓතිහාසික දේශපාලන භූමිකාව නියෝජනය කරන්නේ නැහැ.

‘මේ රාජ්‍යය බෙදා වෙන් කිරීමේ සටන නැවත මිලිටරිමය ස්වභාවයක් පමණක් ගනී’ කියලා අපට හිතන්න බැහැ. ඔඩ්ඩුසුඩාන්වල පමණක් නොවෙයි දකුණු ඉන්දියාවේ ද අවි ආයුධ සහිත කොටි ත්‍රස්තවාදීන් හසු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් මිලිටරිමය සූදානමක ඉන්න බව පෙනෙනවා. ඒ විතරක් නොවෙයි ‘ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ කියන මිත්‍යාව සනාථ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයත් දැන් සාදා ඉවරයි. ඒ වගේම මධ්‍යම ආණ්ඩුව හා පළාත් ආණ්ඩුව අතර ගැටුම හැදීමත් ඒ අතරම සිදු කරමින් යනවා. 20 ගෙන ඒම තුළත් ඒ අරමුණ තිබෙනවා. අනාගතයේදී මධ්‍යම ආණ්ඩුවට පාලනය කර ගැනීමට බැරි පළාත් ආණ්ඩුවක් හැදීමයි ඔවුන්ගේ ඉලක්කය වන්නේ. මේ ගැටුම උග්‍ර වුණාම එය තුන්වැනි පාර්ශ්වයක් වෙත විසඳීම සඳහා රැගෙන යා යුතුයි. ඉන්දුනීසියාවෙන් නැඟෙනහිර ටිමෝරය වෙන් කළේ ජාත්‍යන්තර අධිකරණ තීන්දුවකින්. සර්බියාවෙන් කොසෝවෝ වෙන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ සම්මත කළ යෝජනාවකින්. ජාත්‍යන්තර ප්‍රජාවට එවැනි මැදිහත්වීමකට උවමනා පාරයි මේ කපමින් ඉන්නේ. මේ අය සෙල්ලම් කරමින් සිටින්නේ අපේ අනාගත පරපුර සතු මේ මව් පොළොව සමගයි. ඊට ඉඩ දී නිහඬව සිටියොත් ඔවුනට මේ මව් පොළොව අහිමි වේවි. ඒ නිසා ඊට එරෙහිව පෙළ ගැසෙමු! එක්ව සටන් වදිමු!’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *