මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනී

(02.07.2018 – 09:37 +0530 – hirunews.lk/sinhala)

මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්‍රදේශයේදී අද අලූයම සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෝටර් රථය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම පුද්ගලයාගේ බිරිඳගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශණවලදි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම සැකකරු මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තා සමඟ සමීප හිතවත්කමක් පවත්වාගෙන යන අයෙකු බව ද පොලිසිය පවසනවා.

මෙම කොල්ලය සැළසුම් කර ඇත්තේද ත්‍රිරෝද රථ රියදුරා පදිංචි හොරණ – මොරගහහේන – තලගල නිවසේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++

මාතර කොල්ලයේ සැළසුම හෙළිවෙයි
(02.07.2018 – 12:30 +0530 – hirunews.lk/sinhala)

මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි පාතාල සාමාජිකයන් හොරණ – මොරගහහේන – තලගල ප්‍රදේශයේ අපරාධ සැලසුම් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ කොල්ලයට යොදා ගත් මෝටර් රථය සමඟ තලගල ප්‍රදේශයේදී අද අළුයම අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදියි.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර මෝටර් රථය ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ බිරිඳගේ නමින්.

මෙම පුද්ගලයා මාතර කොල්ලය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොස්ගොඩ තාරක නමැති පාතාල සාමාජිකයා සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මොවුන් මීට කලකට ඉහතදී මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක් බදුපදනම මත ලබාගෙන ඇති බව සඳහන්.

එම ස්ථානයට කොස්ගොඩ තාරක මෙන්ම හබරකඩ වසන්ත සහ පාතලයේ දිනේෂ් නමැත්තා නිරත ආගිය බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් අපරාධ ක්‍රියා රැසක් මෙම ස්ථානයේ සිට සැලසුම් කර ඇති අතර, මාතර කොල්ලයේ සැලසුම ද සාකච්ජා කර ඇත්තේ එම ස්ථානයේදී බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොස්ගොඩ තාරක නමැති පාතාල කල්ලි සාමාජිකයා අද දිනයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් හදිසි උදරාබාධයක් හේතුවෙන් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පලාගොස් සිටින හබරකඩ වසන්ත, දිනේෂ් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විමර්ශණ කණ්ඩායම් 08 ක් තවදුරටත් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාළ කොල්ලය සඳහා පැමිණි කොල්ලකරුවන් සහ පොලිසිය අතර පසුගියදා සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් කොස්තාපල්වරයෙකු මියගිය අතර පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකට පසුගිය සති අන්තයේදී ඇතුළු වූ පිරිසක් එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරකම් කරන ලද මුදල් හා රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බවයි.

******************************************

මිත්තණිය ඝාතනය කළ 17 හැවිරිදි මිණිබිරිය සහ පෙම්වතා පොලිස් දැලේ
(02.07.2018 – 10:08 +0530 – hirunews.lk/sinhala)

සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ප්‍රපාතයකට විසිකළ බව කියන 17 හැවිරිදි මිණිබිරිය සහ ඇයගේ 18හැවිරිදි පෙම්වතා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ කහල්ලේ, හුංගන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර 17 හැවිරිදි මිනිබිරිය සිය මිත්තණියගේ නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර ඇය කටුගස්තොට ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරා තිබෙනවා.

එහිදී ඇය කටුගස්තොට නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවතවා ඇති බව සඳහන්.

පසුගිය 24 වනදා 17 හැවිරිදි පාසල් සිසුවිය සිය පෙම්වතා නිවසට කැඳවාගෙන ඇති අතර එහිදී රාත්‍රි කාලයේ ඔහු සමඟ ගතකර පසුදින උදෑසන පෙම්වතා නිවසින් පිටවන අවස්ථාවේ මිත්තණියට හසුව තිබෙනවා.

එහිදී ඇතිවූ බහින් බස්වීමකදී ඇයට මෝල් ගසකින් පහර දී ඝාතනයකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මියගිය මිත්තණියයේ සිරුර ඇඳ යට සඟවා සිරුර වෙනත් ප්‍රදේශයට රැගෙන යාම සඳහා පෙම්වතියගේ හිතවතෙකුගේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එදින රාත්‍රියේ දෙදෙනා විසින් මිත්තණියගේ මළ සිරුර සහ ලේ තැවරුනු ඇඳුම් මෝටර් රථය තුල දමාගෙන හන්තාන, කිතුල්මුල්ල ප්‍රදේශයට ගෙන ගොස් සිරුර ප්‍රපාතයකට පෙරළා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිරුර නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේ නිවස සසල තිබූ ආරක්‍ෂිත කැමරා වලට හසු නොවන සේ කටයුතු කිරීමට මොවුන් ක්‍රියාකර ඇති අතර වාහනයේ අංක තහඩුද ගලවා දමා අතර මඟදී යළි වාහනයේ අංක තහඩු සවිකරගෙන තිබෙනවා.

සිරුර ප්‍රපාතයට දමා යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෝටර් රථයට දමාගත් ලේ තැවරුනු ඇඳුම් මහනුවර නගරයේ කානුවකට දමා ඇත බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව සඳහන්.

පෙම්වතිය සහ පෙම්වතා එදින රාත්‍රියේ මෝටර් රථය තුල ගතකර ඇති අතර පසුදින උදෑසන නිවසට පැමිණි සැකකාර මිණිබිරිය මිත්තණිය නිවසේ නොමැතිබවට අසල්වැසියන්ට දන්වා තිබෙනවා.

අනතුරුව තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින, ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී මිණිබිරියගෙන් සහ පෙම්වතාගෙන කළ ප්‍රශ්න කිරීම හමුවේ සිදුකළ අපරාධය සම්බන්ධයෙන් සියලු තොරතුරු පවසා ඇති බව සඳහන්.

එහිදී 17 හැවිරිදි මිණිබිරිය විසින් තමන් විසින් සිය මිතත්ණිය ඝාතනය කළ බවට පොලිසියට පවසා ඇති අතර වැඩිදුරටත් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පෙම්වතා විසින් මෙම ඝාතනය කළ බවට හෙළිව තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා අත්අඩංගුවට ගැනුණු සැකකාර මිණිබිරිය සහ ඇයගේ පෙම්වතා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *