එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ප‍්‍රකාශ කරයි

(02.07.2018 – nethnews.lk)

එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (02) ප‍්‍රකාශ කළා. ඒ, යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති නිල මෙහෙවර වැඩසටහනට එක්වෙමින්. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය පක්ෂය පිළීබඳ කටයුතු කරනවා මිස සිය ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවයි.

යාපනයේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කියා සිටියේ අද තත්ත්වය මත එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවයි. නිදහසේ ජීවත් වීමට මෙන්ම සිය ළමුන් ආරක්ෂිතව පාසල් ගොස් පැමිණීමට නම් යළිත් උතුරු නැගෙනහිර තුළ එල් ටී ටී ඊ සංවිධානය අත එසවිය යුතුයි.

ගතවූ වසර 03 දී උතුරේ සිදුවූ සංවර්ධනය පිළිබඳ සෑහීමට පත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් සිය ජනතාවගේ ඉඩම් නිදහස් කිරිම පිළිබඳ වත්මන් රජයට තමන් ස්තූතිය කළ කරන බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙහිදී සඳහන් කළා.

යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති මෙම වැඩසටහනට තිලක් මාරපන, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ද එක්ව සිටියා ෴

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++

විජයකලාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන පැමිණිල්ලක් – ප්‍රකාශය කළ අවස්ථාවේ වේදිකාවේ සිටි ඇමතිගෙනුත් පැහැදිළි කිරීමක්
(03.07.2018 – nethnews.lk)

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිංහල රාවය සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද කරන බවයි ඔවුන් කියා සිටියේ.

නිල මෙහෙවර ව්‍යාපෘතිය යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප‍්‍රකාශය කළා. එහිදී ඇය කියා සිටියේ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළි ගොඩ නැගිය යුතු බවයි. හය හැවිරිදි පාසල් දැරියක් ඉකුත්දා දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ඒ බව පැවසුවා.

එල්. ටී. ටී. ඊ. ය බලවත්ව පැවති සමයේ මීට වඩා නිදහසක් පැවති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව සැකයෙන් හා බියෙන් තොරව ජීවත් වීමට සහ ළමයින් ආරක්ෂා වීමට නම් උතුරු හා නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය යළිත් අත එසවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

සිංහල රාවය සංවිධානය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරියකගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජනතාව දැඩි විමතියකින් බලා සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කරන අවස්ථාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද උත්සව සභාවේ සිටියා. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ද විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ “එතුමිය ළමා කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරිය හැටියට ඔය සිදු වූ සිද්ධිය ගැන විශේෂ සිත්වේදනාවක් ඇති. එතුමිය කියන්න උත්සහ කළේ..මම හිතන විදිහට..ත්‍රස්තවාදය තිබෙන කාලේ ඔය වගේ සිද්ධියක් වුණා නම් නීතියක් නැති නිසා බොහෝ වේලාවට සිදු වන්නේ එවැනි අය වෙඩි තබා ඝාතනය කිරීම. ඉතින් එවැනි සමාජ යාන්ත්‍රනයක් අවශ්‍යයි කියන එක නෙමෙයි..මෙවැනි සිද්ධිවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය තමයි කියන්න උත්සහ කර ඇත්තේ.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් ඔබේ මතය ද ප‍්‍රකාශ කිරීමට නෙත් නිවුස් අවස්ථාව ලබාදෙනවා. ඔබේ මතය 077 200 1865 අංකයට වයිබර් කළ හැකියි ෴

++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

විජයකලා ඇමතිධුරයෙන් නෙරපා රටින් පිටුවහල් කරනු..
(03.07.2018 – 11:20 +0530 – lankacnews.com)

කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධූරයෙන් එළවා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

විජයකලාගේ තප්පුලෑමෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බව පැවසූ රණතුංග මහතා දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින් ද පිටුවහල් කළ යුතු බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ දී අද (03) පැවැති ජනහමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය :

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 වැනි දා මේ රටේ බලය අල්ලන කොට ඒ අයට සහයෝගය දීපු ප්‍රධාන බලවේගවලින් එකක් තමයි දෙමළ ඩයස්පෝරාව. තවත් ප්‍රධාන බලවේගයක් වු‍ණේ කොටි හිතවාදී බටහිර රටවල්. ඒ බලවේග දෙකම මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මූලික අරමුණක් ඉටුකර ගැනීම සඳහායි.

ඒ අරමුණ තමයි 2009 මැයි මාසේ 19 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී අවසන් හුස්ම හෙළපු කොටි ත්‍රස්තවාදයට නැවත පණ පෙවීම. කොටි හිතවාදීන්ගේ උපකාර ඇතිව බලයට ආපු වර්තමාන ආණ්ඩුව ගෙවුණු වසර තුනේම කළේ මේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා පෙරළා උපකාර කිරීමයි. පසුගිය වසර තුන තුළ රට තුළ ඇති වුණ වෙනස දිහා ‍බලනකොට ඒක පැහැදිලි වෙනවා.

ආණ්ඩුව බලයට ආපු ගමන් මුලින්ම කළේ ත්‍රස්තවාදය නිමා කරන්න දායකත්වය දීපු මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අන්තර්ජාතික යුද අධිකරණයට කැඳවාගෙන යාමට උත්සාහ කිරීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පදයට නටමින් විදෙස් විනිසුරුවන් ලවා යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අවසර දුන්නා.

ඊළඟට යුද විජයග්‍රහණය සැමරීමට කොළඹ පැවැත්වුණ විජයග්‍රහණයේ පෙළපාලිය නතර කළා. ඒ ගැන ඇහුවම රාජිත සේනාරත්න කියන ඇමැතිවරයා කිව්වේ ඒ පෙළපාලිය නිසා දෙමළ ජනතාවගේ හිත් රිදෙන බවයි. හැබැයි අදටත් උතුරේ දෙමළ දේශපාලනඥයන් මැයි 19 වැනි දා කොටි සැමරුම් පවත්වනවා. එතකොට සිංහල මිනිස්සුන්ගේ හිත් රිදෙන්නේ නැත්ද කියලා අපි රාජිතගෙන් අහනවා.

යුද්ධයට සක්‍රීය දායකත්වය දුන් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන්න ගත්තා. හිටපු කොටි සාමාජිකයන්, සිංහල කොටියන් දෙන කටඋත්තරවලට අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් පවා අද අත්අඩංගුවට අරන් රඳවාගෙන ඉන්නවා. මේක හරියට කුඩුකාරයෙක්ගේ සාක්ෂිකයක් මත පොලීසියේ ඕ. අයි. සී අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්.

අපේ ආරක්ෂක අංශ දඩයම් කරමින්, උතුරේ කඳවුරු ඉවත් කරමින් යන ආණ්ඩුව කොටි ත්‍රසත්වාදයට යළි හිස ඔසවන්න පැහැදිලිවම උදව් උපකාර කරමින් සිටිනවා. මීට අවුරුදු දෙකකට වගේ ඉස්සර මම ප්‍රංශයේ ඉන්න වෙලාවක කොටි හිතවාදීන් ආධාර එකතු කරන හැටි බලන්න ගියා. ඒ ගැන ජනාධිපතිවරයාට ලිපියක් පවා ලිව්වා.

හැබැයි ජනාධිපතිවරයා ඒ සියල්ල නොදැක්කා වගේ හිටියා. අපි කට කැඩෙනකම් කිව්වා උතුරේ කොටි ආයෙත් නැගිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. හැබැයි ආණ්ඩුවට ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා. ආණ්ඩුවට ඒවට විරුද්ධ වෙන්න බැරි වෙලා තියෙන්නේ එදා යහපාලන ආණ්ඩුව පිහිටුවන්න ගත්තු උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න වෙලා තියෙන නිසයි.

පහුගිය දවස්වල උතුරේ ප්‍රදේශ කිහිපයකම කොටි ආයුධ හමුවුණා. ආණ්ඩුව ඒවා යටගහලා කොටි හිතවාදීන්ට සුදු හුණු ගෑවා. අපිට බරපතළ සැකයක් තියෙනවා මේ කොටි හිතවාදීන් සංවිධානය වෙන්නේ විජයකලා නෝනාගේ අනුදැනුම මතද කියලා. මේ ගැන වහාම රහස් පොලීසි විමර්ශනයක් පැවැත්විය යුතුයි.

එහෙම නැතුව දකුණේ ජනතාව නිකරුණේ බනිනවා කියලා සිරිසේන මහත්තයාට දුක හිතිලා උතුරට ගිහින් විජයකලා නෝනා‍ව සනසලා ආවට වැඩක් නැහැ. අපි දොස් කියන්නේ සාධාරණ හේතු ඇතිවයි. වහාම මේ කොටි හිතවාදිනිය ගැන ඉහළම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඊයේ විජයකලා ඇමැතිවරියගේ කටින් එළියට පැන්නේ ආණ්ඩුව දීලා තියෙන පොරොන්දුවම බව පැහැදිලියි. ආණ්ඩුවේ ඇමැතිවරියක් කැබිනට් ඇමැතිවරුනුත් දෙන්නෙක්ම ළඟ තියාගෙන, ජනපති නිල මෙහෙවර රාජ්‍ය උත්ස‍වයේ දී කොටි ත්‍රස්තවාදය නැවත අවශ්‍යයි කියලා කියනවා නම් ආණ්ඩුවේ කොටි හිතවාදීත්වය ගැන වෙනක් සාක්ෂි වුවමනා නැහැ.

හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දෙනවා රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට කොහොමද විජයකලා නෝනා ඊළමක් පිහිටුවන්න කතා කරන්නේ? මම අහනවා වජිර අබේවර්ධන, තිලක් මාරපන මහත්වරුන්ගෙන් කොන්දක් කියලා නාමයක්වත් තමුන්නැහෙලට නැද්ද කියලා. කොන්දක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට විරෝධය පාලා රැස්වීමෙන් නැගිටලා එන්න තිබුණා.

ජනාධිපතිවරයා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා තවම මේ ගැන දන්නවා කියලා. මොකද එතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. ඒ හින්දා අපේ කතා පත්තරෙන් හරි කියවලා සිරිසේන මහත්තයෝ මේ ඊළාම් නෝනව ආණ්ඩුවෙන් එලවලා දාන්න.

ඒ වගේම මේ නෝනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් පක්ෂ‍යෙනුත් එලවලා දාන්න. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි කොටි පැරැද්දුවේ ආයෙත් නැගිටින්න පුළුවන් විදියට නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා දැන් මැරුණු කොටිත් නැගිටින්න අරගෙන.

– ප‍්‍රදීප් අනුර කුමාර

++++++++++++++++++++++++++++++++

විජයකලා පාර්ලිමේන්තුවෙන් පන්නා දමනු.. – විමල් පාර්ලිමේන්තුව ගිනියම් කරමින් කියයි..
(03.07.2018 – 15:50 +0530 – lankacnews.com)

‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් රාජ්‍ය අමාත්‍යවරියක වන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන බරපතළ වරදවල් සිදු කර ඇති බැවින් ඇයට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (02) පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

“සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙනවා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න, ඒකීයභාවය රකින්න හා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්න. විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද දරනවා. ඇය අමාත්‍යවරුන් දෙදෙනෙක් ද අසුන් ගෙන සිටි වේදිකාවක ‘එල්.ටී.ටී.ඊය නැවත ගොඩනඟන්න ඕනෙ’ කියා කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් සහ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ නිසා ඇයට තවදුරටත් අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට. මේ ගරු සභාව තුළ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ’ ඇතැම් අය කියනවා ‘එයා මේක හිතේ අමාරුවට කීවා’ කියා. ඇයගේ හිතේ අමාරුවට වෙනත් දෙයක් කර ගන්න කියන්න. මෙහිදී නිහඬව සිටීමට මේ මව් පොළවට ආදරය කරන කිසිවකුටත් බැහැ.’’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

උතුරු නැගෙනහිරට LTTE ය යළි ඕනෑ – විජයකලා තප්පුලයි.ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද..?

උතුරු නැගෙනහිරට LTTE ය යළි ඕනෑ – විජයකලා තප්පුලයි.ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද..?

Posted by Hiru TV Paththare Visthare – හිරු ටීවී පත්තරේ විස්තරේ on Monday, July 2, 2018


++++++++++++++++++++++++++++++++

රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ
(03.07.2018 – 13:59 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ.ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ (02) සිදුකළ ප්‍රකාශය පිළිබඳව දිගින් දිගටම ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් හෙට දිනය දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා.

ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පළකිරීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයාද ඇයගේ ප්‍රකාශයට විරෝධය පළ කළා.

ඇතිවූ තත්ත්වය හමුවේ කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවා.

යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැන්වූ බව කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එසේම කථානායකවරයා කියා සිටියේ ඇය සම්බන්ධයෙන් තමන්ද විනය පරීක්ෂණයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් දිගින් දිගටම රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබුණා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ පැවැත්වුණේ යාපනය – වීරසිංහම් ශාලාවේදියි.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවයි ෴

++++++++++++++++++++++++++++++++

විජයකලා ගැන තීන්දුවක් ගන්න නීතිපතිට දැනුම් දෙයි
(03.07.2018 – 16:54 +0530 – sinhala.adaderana.lk)

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතියේ යම්කිසි විධිවිධානයක් උල්ලංඝනය වී ඇත්දැයි විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

කථානායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

අද (03) පාර්ලිමේන්තුවේ දී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කුමක් ද යන ප්‍රශ්නය පැන නැගී තිබිණි.

ඒ සමඟම නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් මේ පිළිබව පියවරක් ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර එම ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනයයේ සඳහන් දිවුරුම් උල්ලංඝනය වී ඇති බවට ද අදහස් පළ කර ඇති බවට ද අදහස් පල කළේය.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා කථානායකවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ ෴

++++++++++++++++++++++++++++++++

03.07.2018

++++++++++++++++++++++++++++++++

03.07.2018

++++++++++++++++++++++++++++++++++++++

03.07.2018

++++++++++++++++++++++++++++++++++

03.07.2018

++++++++++++++++++++++++++++++++++

03.07.2018

++++++++++++++++++++++++++++++++++

විජයකලාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩී., ටී.අයි.ඩී. ඇතුලූ පොලීසියේ තැන් තුනකට පැමිණිලි
(03.07.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා.

පිවිතුරු හෙළ උරුමය, සිංහලේ අපි ජාතික සංවිධානය, සිංහල රාවය ජාතික සංවිධානය මෙලෙස පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශවයන්.

ඊයේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පළ කළේ මෙවන් අදහසක් :

‘‘2009 මැයි මාසේ 18 වැනිදාට කලින් එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී අපි කොච්චර නිදහසේ හිටියද කියලා දැන් තමයි අපිට දැනෙන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය ආයෙත් ගොඩ නැගෙන්න ඕනේ. මේක තමයි අපේ අරමුණග අපි පණ පිටින් ජීවත් වෙන්න ඕනේ නම් අපි බියෙන් සැකයෙන් තොරව ඉන්න ඕන නම් අපේ දරුවන් පාසලට ගිහින් ආයෙත් එන්න ඕනේ නම් උතුරු නැගෙනහිර පළාත්වල එල්.ටී.ටී.ඊ බලවත් විය යුතුමයි.’’

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වන පරිච්ඡේදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවුරුම්දීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන අතර, එහි සදහන් වන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වන්නා වූ සෑම මන්ත්‍රීවරයෙකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙන බවයි. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදයේ දෙවන වගන්තියෙන් ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයක් බවට සදහන් වන අතර විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය හරහා මෙරට ඒකීයභාවය සම්බන්ධ වගන්තියට කෙතරම් බලපෑමක් සිදුවනවා ද ? ඒ පිළිබදව අප විමසා අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා ගෙන්. ඔහු කියා සිටියේ මෙරට තුළ එල්.ටී.ටී.ඊ.ය වෙනත් රාජ්‍යයක් ඇති කිරීමට පෙනී සිටි කණ්ඩායමක් බැවින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මෙරට මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. ඇය මන්ත්‍රීවරයක් ලෙස දිවුරුම් දීමේදී වෙනත් රාජ්‍යයක් බිහි කිරීමට සම්බන්ධ නොවන බවට දිවුරුමක් දී ඇති බවත්, එබැවින් ඇය කළ ප්‍රකාශයත් සමඟ ඇයගේ මන්ත්‍රී ධුරය පිළිබඳව ගැටළුවක් පැන නගින බවත් ඔහු පෙන්වා දුන්නා.

පොලිස් මූලස්ථානයට අද පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගෙන වහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

අනතුරුව, සිංහලේ ජාතික සංවිධානය ද පොලිස් මූලස්ථානයට ගොස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පිවිතුරු හෙළ උරුමය ද ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් ඉල්ලා තිබුණේ විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර ඇයව අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

සත්‍යය ගවේෂකයෝ සංවිධානය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, ජාතික හෙළ උරුමය ද නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය හෙලා දැක තිබුණා.

එමෙන්ම, ඇයගේ මෙම ප්‍රකාශයට එරෙහිව අනුරාධපුර නව නගරයේ පිහිටි බස් නැවතුම්පොල ඉදිරිපිටද අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ උතුරුමැද හිටපු මහඇමති එස්.එම්.රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් වයඹ පළාත් සභාවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කළුපටි පැළද සභාවට පැමිණ තිබූ අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා වාරයට සහභාගි වී සිටියේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, රිෂාඩ් බදියුදීන්, සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ රාවණාබලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ද එලෙස අදහස් පළ කළේ ඇයගේ ප්‍රකාශය පිළිබඳව විවිධ කරුණු මතු කරමින්.

++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය ජීවමානයි.. සූදානම්.. කොටිම ඉල්ලන කොටි දෙනුන්ට දෙවැනි නන්දිකඩාල් සූදානම්..
(04.07.2018 – 00:03 +0530 – lankacnews.com)

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති රාජ්‍ය උත්සවයකදී “එල්ටීටීඊ එක යළි ගෙන ඒමයි අපේ ප්‍රධාන අරමුණ.” යැයි සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දෙන ලදී.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා :

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය තවත් එක් ළමයෙක් නොවෙයි.

‘‘ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය තවත් එක් ළමයෙක් නොවෙයි. විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජයේ වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරියක්. ඒ වගේම ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක්. මෙවැනි තත්ත්වයක් තුළ තමයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය දින ඒ විනාශකාරී ප්‍රකාශය සිදු කරනු ලැබුවේ.

ඇගේ ඒ ප්‍රකාශය ත්‍රස්තවාදයට අනුබල දීමක්. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රකාශිකාවක් සංවිධායකවරියක් විදිහට තමයි ඇය එම ප්‍රකාශය සිදු කිරීම අපි දකින්නේ . ඒ අවස්ථාවේදී ලංකාවේ විදේශ ඇමති හිටපු නීතිපති තිලක් මාරපන මැතිතුමා, ලංකාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, එම කතාව අසාගෙන හූමිටි තබමින් එම ස්ථානයේම රැඳී සිටියා. වගකීමක් තියන රජය නියෝජනය කරන අමාත්‍යවරුන් විදිහට ඒ අය ඒ ප්‍රකාශය අනුමත කරනවද කියන හැඟීම අපට තියෙනවා එම අවස්ථාවේ ඔවුන් එය සාවධානව අසා සිටීමෙන් සහ එයට විරෝධය නො දැක්වීමෙන්.

ඒ වගේම අපි කියනවා මේ ආණ්ඩුව පැහැදිලි ලෙසම මේ කොටි පුල්ලි මතුවෙලා තියන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්දැයි රටට හෙළි කළ යුතුයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කොටි දෙනට අද අඩුවෙලා තියෙන්නේ සයිනයිඩ් කරලක් විතරයි කියන එක.

ඒ නිසා අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කියා සිටිනවා මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ පිළිබඳ විමසිල්ලෙන් අපි සිටිනවා. මේ රටේ වළලා දැමූ කොටි ත්‍රස්තවාදයට යලි නැගී සිටින්නට ඉඩ තැබිය යුතු නැහැ. මේ අපි කරපු පැමිණිල්ල තවත් එක් පැමිණිල්ලක් පමණක් විය යුතු නොවේ යැයි අපි පොලිස්පතිතුමාට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය වරයාට මෙන්ම මෙරට ජනාධිපතිවරයාටද අප මතක් කර සිටිනවා. මේ විජයකලා මහේෂ්වරන් කොටි දෙන ගරු අධිකරණය හමුවට පැමිණි විය යුතුයි, ඇය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගත යුතුයි කියන කාරණය අප අවධාරණය කරනවා.’’

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අදහස් දක්වමින් :

‘‘අපි දැක්කා ඊයේ, මියගිය කොටි අවතාර මැද්දේ නැගිටපු විජයකලා නැමති ද්‍රෝහී ගැහැණියගේ ප්‍රකාශයෙන් මුළු රටම කැළඹී තියෙනවා. අපි දකිනවා පාලක පක්ෂයේ ජනාධිපති අගමැති හැරෙන්නට මුළු රටම බොහෝම කැළඹිල්ලට පත් වී ඇති බව. අපි මතක් කරන්නට කැමතියි එක කාරණාවක් – කිසිවෙකුට දිනන්නට බැහැ කියපු ලෝකයේ තිබෙන රුදුරු තම ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම ලෙසින් හැඳින්වූ ඉතාම ගෞරවනීය සටනකින් පසුව පරාජය කළ රාජ්‍ය නායකයා තවමත් ජීවතුන් අතර. ඒ නිසා විජයකලා කියනවනම් නැවතත් කොටි නැගිටින්නට අවශ්‍යයි කියලා අපි ඇයට මතක් කරනවා දෙවෙනි නන්දිකඩාල් කලපුව හදන්නත් අපට පුළුවන් බව. මොකද පළමුවෙනි නන්දිකඩාල් හදපු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අදටත් ජීවතුන් අතර, ඒ වගේම එම යුද්ධයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජීවතුන් අතර. එම නිසා දෙවන නන්දිකඩාල් කලපුව පළමු නන්දිකඩාල් කළපුව වඩා විශාල බව අපි ඒ කොටි දෙනට මතක් කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර සහ නීති ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

++++++++++++++++++++++++++++++++++

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලයි
(03.07.2018 – 20:23 +0530 – hirunews.lk/sinhala)

පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබෙනවා ෴

++++++++++++++++++++++++++++++++++

විජයකලාගේ ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි
(04.07.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එම ප්‍රකාශ තුළින් ජනතාවගේ ගැටළු පිළිබඳ අවධානය වෙනතකට යොමුවන බවයි.

මේ අතර හිට්ලර් ගැන ඇසූ පමණින් කළබල වන යහපාලනය, රාජ්‍ය ඇමතිවරියක් වූ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව ගන්නා තීරණය ගැන රටම බලා සිටින බව ගැටඹේ රජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමියන් ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ උතුරේ ඡන්ද අපේක්ෂාවෙන් කෙරෙන මෙවන් ප්‍රකාශ සුළු කොට සැළකුවහොත් ඉදිරියේදී රටේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

රට පාලනයේදී නායකයන් අසමත් බවට විජයකලා අමාත්‍යවරිය කළ ප්‍රකාශය සත්‍යයක් බවද උන්වහන්සේ සඳහන් කරනවා ෴

++++++++++++++++++++++++++++++++++++

04.07.2018

++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++

දිලුම්ට කළ විමර්ශන විජයකලාටත් කරන්න
(04.07.2018 – 18:49 +0530 – sinhala.adaderana.lk)

2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලදි ද රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාති වන පරිදි කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පැවසීය.

අද (04) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.

පසුගිය දා මහනුර සිදු වු ගැටම්කාරි සිද්ධිය අවස්ථාවේදි ත්‍රාස්ත විමර්ෂණ එකකය පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතාගේන පැය 5 කට අධික කාලයක් එ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සිදු කල බැවින් එ් ආකාරයෙන්ම විජයකලා අමාත්‍යවරියගෙනුත් ඒ පිලිබඳව ප්‍රශ්න කිරිම් සිදු කල යුතු බව මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව පාලනයට පැමිනියේ විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් අන්තවාදි පිරිසට ඔවුන්ගේ බලාපොරෝත්තු ඉෂ්ට කර දෙනට පොරොන්දු වි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය ෴

++++++++++++++++++++++++++++++++

ව්‍යවස්ථාව සැකසීමේ අලුත් උත්සාහයක් – ජා.නි.පෙ.
(05.07.2018 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම ක්‍රියාත්මක වීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් :

‘‘විජයකලා මහේෂ්වරන් කියනවා කොටි නැවත නැගිට්ටුවන්න ඕනා කියනකොට මැයි මාස 19 වැනිදා විග්නේෂ්වරන් ජන සංහාරක සති පවත්වනවා. සිවාජිලිංගම් මෝගන් ෂිවකුමාර් කොටි සාමාජිකයාව පාසල් සිසුන් සමග ගිහිල්ලා සමරනවා. අර පැත්තෙන් ක්ලෝමෝ බෝම්බ දුරස්ථ පාලක සහ හමුදා නිල ඇදුම් හම්බවෙනවා. මේ පැත්තෙන් අනුර කුමාර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය අරගෙන එනවා. අර පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාව නමැති අටමගල අටවලා ඒකෙ සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න සම සභාපතිවරුන් කරලා ධර්මලිංගම් සිද්ධාර්ථම් මධ්‍ය පරිධිය අනුකමිටුවේ සභාපතිකරලා නව බෙදුම්වාදි ව්‍යවස්ථාවක් ගෙන ඒමට කත් අදිනවා. මේ වෙන්නෙ මොකක්වත් නොවෙයි මේ වෙන්නේ ‘මහින්ද රෙජිම් චේන්ජ්’ එක. මේ වෙන්නේ – දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම තමයි මේ දියත් වෙන්නෙ.’’

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා :

‘‘කොටින් තමන්ගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමෙන් අනතුරුව විජේකලාට මන්ත්‍රීකමකට එන්න ලැබුණ වගේ සැනසීම ලබාදෙන්නට තමයි යාපනයේ අයට මේ කොටි කරලියට ගේන්න ඕනා කියලා විජයකලා කියන්නෙ. මහේෂ්වරන් මන්ත්‍රීතුමත් මමත් බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු අය හැටියට එතුමාගේ මෘත දේහය වැල්ලවත්තේ නිවසට ගෙන ඒමට පෙරතුව මම එතනට ගියා. විජේකලා එතකොට මන්ත්‍රීතුමිය – ඇමතිතුමිය නෙවෙයි – මහේෂ්වරන්ගේ බිරිද එතන බිම වැටිලා කොටින්ට සාප කරමින් දෙස් තියමින් හඬාවැටුණෙ ‘මේ බලන්න කරපු අපරාධයක මහත’ කියලා දෙමලින් – කැඩිච්ච සිංහලෙන් අපිත් එක්ක කතා කරලා.’’

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඒකාබද්ධ තරුණ පෙරමුණ කොළඹ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ :

‘‘මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇහුවා විජයකලා මන්ත්‍රීතුමියගෙන්. එතුමියගේ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිනවා වගේම අපි දැක්ක නොයෙක් පාර්ශවයන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිලිබඳව විනය පරීක්ෂණයක් කරනවා කියලා. විනය පරීක්ෂණය වගේම අපි බලාගෙන ඉන්නවා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න පිළිබඳව.’’

පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ තුෂාර දිසානායක මහතා ද මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළා :

‘‘මේ විද්‍යානුකූල කැබිනට්ටුවේ ඉන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දරුවන්ගේ තාත්තලා. ඒවගේම එල්.ටී.ටී.ඊ ය යලි උපද්දවනවා යැයි කියන විජයකලා නම් වූ එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් පෙනී සිටින අම්මාවරුන්. දැන් එල්.ටී.ටී.ඊ උප්පැන්න හදමින් ඉන්නෙ. රාජිතලා වගේ එල්.ටී.ටී.ඊ තාත්තලාත් විජයකලා වගේ එල්.ටී.ටී.ඊ අම්මාවරුනුත් එකතුවෙලා එල්.ටී.ටී.ඊ දරුවා නැවත උපද්දන්න හදන වේලාවක ඒ සම්බන්ධයෙන් වින්නඹු කම් කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවට – මේ ආණ්ඩුවේ කැබිනට්ටුවට කියනවා’’ ෴

+++++++++++++++++++++++++++++++++

විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ
(05.07.2018 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරුවේ භාර දී තිබෙනවා.

මේ අතර, එල්.ටී.ටී.ඊ. ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළ අතර, ඒ අනුව තමන් හමුවන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව ඇය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඇය මාධ්‍ය මඟහැර එම ස්ථානයෙන් පිටව ගිය අතර, අද ඇය කියා සිටියේ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරිය අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී අත්පොළසන් දෙමින් ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් මහතා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, අද රැස්වූ බියගම ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ නියෝජිතයින් එම සභාව ඉදිරිපිටදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට එරෙහිව විරෝධතාවක් සිදු කළා.

ඔවුන් එහිදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපීල්ලේ ප්‍රභාකරන්ගේ අනුරුවකටද ගිනි තැබුවා.

ගාල්ල මහ නගර සභාවේ අද පැවති මාසික රැස්වීම අතරතුරද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කර පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වුණා.

එසේම, තලවකැලේ ලිඳුල නගර සභාව අද රැස්වූ අවස්ථාවේදී එහි සභාපති අශෝක සේපාල මහතා, ඇයගේ ප්‍රකාශයට එරෙහිව කළු පටි පැළඳ විරෝධය දක්වමින් සෙසු නියෝජිතයින්ටද ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කළත්, ඊට සහය දැක්වූයේ තවත් දෙදෙනෙකු පමණයි.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද අද කළුපටි පැළඳ, විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සභාවට පැමිණ සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අම්පාර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්ද අද පැවැත්වුණා.

එමෙන්ම, උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනි ආනන්දි ශෂිදරන් නිවේදනයක් නිකුත් කරමින් විජයකලා මහේෂ්වරන් අමාත්‍ය ධුරයෙන් හෝ මන්ත්‍රී ධූරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය, වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව උදාහරණයක් වශයෙන් යොදාගෙන ඇති බවයි.

මේ අතර, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ස්වාමි පුරුෂයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් 2008 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය කොටහේන ප්‍රදේශයේ කෝවිලක් ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුද ඇමතිවරියගේ ප්‍රකාශය පිළීබඳව අද අදහස් පළ කළා.

ඝණනාදන් නිත්‍යානන්දන් නැමැති ඔහු, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශ පරස්පර බවයි.

එබැවින් ඇයගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ට කිසිදු අදහසක් නොමැති බවද ඔහු කියා සිටියා.

++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

පොලිසිය යාපනයට ගොස් විජයකලාගෙන් ප්‍රශ්න කරයි
(24.07.2018 – 21:49 +0530 – lankadeepa.lk)

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද පැය තුනකට අධික කාලයක් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

තමන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රවර්ධනය කිරීමට මිස එල් ටී ටී ඊ සංවිධානය ප‍්‍රවර්ධනය කිරීමට මෙම ප‍්‍රකාශය සිදු නොකළ බවත් තමාට එම ප‍්‍රකාශයේ බරපතල ස්වභාවය තේරුම් ගියේ සිද්ධියෙන් අනතුරුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සිය ප‍්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි ෴

++++++++++++++++++++++++++++++++++++

මන්ත්‍රී විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස්
(07.09.2018 – 18:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත්තේ ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ උතුරු හා නැගෙනහිර පළාත්වල යළි එල්.ටී.ටී.ඊ, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි.

මෙම ප්‍රකාශයෙන් පසුව ඒ පිළිබදව විවිධ පාර්ශව විරෝධය පළ කළ අතර, ඒ හේතුවෙන් ඇයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *