ආවා කල්ලිය යාපනය බයභීත කරවයි.. ස්ථාන දෙකකදී ප්‍රහාර.. දෙදෙනෙක් රෝහලේ..

(04.07.2018 – 12:40 +0530 – lankacnews.com)

යාපනය දිස්ත්‍රීක්කයේ චුන්නාකම් හා කොකුවිල් ප්‍රදේශවලදී ඊයේ (03) රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය හා චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

පළමු පහාරය එල්ල වී ඇත්තේ යාපනය චුන්නාගම් ප්‍රදේශයේ නිවසකට වන අතර එහිදී යතුරුපැදි 04 කින් 08 දෙනෙකු මුහුණු ආවාරණය කරගනිමින් පැමිණ නිවසේ තිබූ ඉඩු බාහිරාදියට හානි කොට 15 හැවිරිදි සිවරාසා සාරුජන්ට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ තම පුතනුවන් යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කල බවට තුවාල ලැබූ සිවරාසා සාරුජන්ගේ පියා වන අරුනාචලම් සිවරාසා චුන්නාගම් පොලීසියට පැමිණිල්ලක් දමමින් පවසා ඇත.

මේ අතර යාපනය පොලිස් වසමේ පූනාරි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී ගමන් කරමින් සිටි තරුණයෙකුටද ආවා කල්ලි ප්‍රහාරයක් එල්ල වී රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

එහිදී 23 හැවිරිදි හරිදාස් සත්‍යදාස් නැමති තරුණයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තිදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට යාපනය පොලීසියට තොරතුරු අනාවරණය වී ඇති අතරම ප්‍රදේශ දෙකේම ප්‍රහාරයන් එල්ල කල කිසිවෙකුත් මේ වන තුරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

******************************************

පොලිසිය ඇතුලේම ලොක්කෙක් කාන්තා නිලධාරීන් දෙදෙනෙකුට ලිංගික අතවර කරන්න යයි
(04.07.2018 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය තුළදීම කාන්තා නිලධාරීන් දෙදෙනෙකුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික අතවර සිදුකිරීමට උත්සහ කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ වාද්දුව පොලිස් ස්ථානයෙන්.

එම පොලිස් ස්ථානය තුලදී එම සිද්ධියට මුහුණදී ඇත්තේ එහි සේවයේ නියුතු කාන්තා පොලිස් කොස්තාපල්වරියකට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකයි.

අදාළ නිලධාරිනියන් දෙදෙනාට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ එම පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාටයි.

ඒ අනුව වාද්දුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති අතර ආදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලද පැමිණිල්ලකට අනුවයි මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *