අද (05) රෑ සිට ඉන්ධන මිල ඉහළට

(05.07.2018 – 22:38 +0530 – sinhala.adaderana.lk)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව,
• ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ යනු ඇත.

• ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් නව මිල රුපියල් 155 ක් වන අතර එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් වැඩි කර තිබේ.

• මේ අතර ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක් වෙයි.

• සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල වන්නේ රුපියල් 129 කි ෴

*****************************************

අතුරුගිරියේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයන් 3 ක් අත්අඩංගුවට
(05.07.2018 – 19:13 +0530 – sinhala.adaderana.lk)

අතුරුගිරිය, ප්‍රදේශයේ සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයින් තිදෙනෙකු අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී සහ කළුතර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අවුරුදු 19 ත් 25 ත් අතර වයසේ පසුවන මෙම සැකකරුවන් තිදෙනා මේ වන විට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැඩිගමුව චමින්ද නැමැත්තාගේ සහායකයින් බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මොවුන් අතුරුගිරිය ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා යතුරුපැදි කොල්ලකෑම් සහ රුපියල් ලක්ෂ 25 කට අධික මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි සැකකරුවන් බව පොලීසිය පැවසීය.

ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ එම උණ්ඩ 05 ක්, කඩුවක් මෙන්ම කොල්ලකන ලද යතුරුපැදි දෙකක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

*********************************************

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ධූරයෙන් ඉල්ලා අස්වෙයි
(05.07.2018 – 17:16 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2017 වසරේ ජූලි 1 වන දින සිට ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි.

පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුර ද හෙබ වූ අතර පුනරුත්තාපන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස මෙන්ම එක්සත් ජාතික පෙරමුණු රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *