ETI අධ්‍යක්ෂවරුන් 4 කට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(06.07.2018 – 20:48 +0530 – hirunews.lk/sinhala)

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඊට අමතරව ඔවුන් සිව්දෙනාට ලබන 17 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කෙරුණා.

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංග එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිව්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත්තේ මෙම තහනම වහාම ආගමන විගමන පාලකවරයාටද දැනුම් දෙන ලෙසටයි.

මීට අමතරව මෙම සිව්දෙනාට ලබන 17 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නොතීසිද නිකුත් කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ 2011 වසරේ සිට ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති සහ රෙගුලාසි උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගොස් ඇති බවයි.

මොවුන් විදෙස් ගත වුවහොත් මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සිය තැන්පත් කරුවන්ට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අවස්ථා රැසකදී වාර්තා වුණා.

මෙම ආයතනයේ රුපියල් බිලියන ගණනක් මුදල් තැන්පත් කළ ගනුදෙනු කරුවන් අවස්ථා ගණනාවකදී ඊ.ටී.අයි. ආයතනයේ ප්‍රධාන කාර්යාලයට පැමිණියේ තම තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින්.

නමුත් ඒ කිසිදු අවස්ථාවක තැන්පත්කරුවන්ට අදාල මුදල් ලබා දීමට ආයතන බළධාරීන් කටයුතු නොකළ අතරල මේ හේතුවෙන් උණුසුම් තත්ත්වයන් පවා ඇති වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *