සිංහල විරෝධී බෞද්ධ වීරෝධී ප්‍රකාශ කරමින් විග්නේෂ්වරන් කටමැත දොඩවයි..

(07.07.2018 – 12:00 +0530 – lankacnews.com)

ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විජයකලාගේ මුග්ධ ප්‍රකාශය අනුමත කළ විග්නේෂ්වරන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ අමනෝඥ ප්‍රකාශය අනුමත කරමින් ඊටත් වඩා අමනෝඥ හා දුෂ්ට, මුග්ධ ප්‍රකාශයක් උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් කර ඇත. එම ප්‍රකාශය ද විජයකලාගේ ප්‍රකාශයට දෙවැනි නොවේ. විජයකලාගේ ප්‍රකාශය රටේ බහුතර ජනමතය අනුමත නොකළාසේ ම මහඇමති විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ද මේ රටේ සිහි බුද්ධිය ඇති රටේ නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙක් අනුමත කරන්නේ නැත. මෙයද පිළිකුලෙන් පමණක් නොව දැඩි කෝපයෙන් යුතුව හෙළා දැකිය යුතුය.

විග්නේෂ්වරන් මහඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාගේ කාලයේ දෙමළ ජනතාව බියෙන් සැකෙන් තොරව ජීවත් වූ බවයි. ඇත්ත කතාකළාට විජයකලා ඉවත් කිරීම අසාධාරණ බව විග්නේෂ්වරන් මහඇමතිවරයා ප්‍රකාශ කර ඇත. ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය යටතේ දෙමළ ජනතාවට අත්වූ බේදජනක ඉරණම පුනපුනා මතක් කර දියුයුතු නොවේ. තිස්වසරක ප්‍රභාකරන්ගේ මිනීමරු ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාව පමණක් නොව රටම විනාශයට හා අගාධයට ඇද දැමු ආකාරය ගැන අපේ රට පමණක් නොව මුළු ලෝකයම දනී. දෙමළ තරුණයන් කාන්තාවන් දරුවන් ත්‍රස්තවාදයට ඇදගෙන ගිය ආකාරයත් අවසානයේ සමස්ත දෙමළ සමාජයත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලකයනුත්, බියවද්දමින් ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගත්බව කිසිවෙකුටත් අමතක නැත.

කුඩා දරුවන්ට පවා යුද අභ්‍යාස හා පුහුණුව ලබාදෙමින් පාසල් වලින් දරුවන් පැහැරගනිමින් එම දරුවන්ගේ කරේ සයනයිට් කරල් එල්ලා යුද බිමට දක්කාගෙන ගිය ඒ වියරු බිහිසුණු අඳුරු ඉතිහාසය දෙමළ සමාජයට අමතකව ඇතැයි අප නොසිතමු. දෙමළ සමාජයේ දියුණුව සංවර්ධනය හා ප්‍රගතිය පැත්තෙන් සියවසක් පසුපසට තල්ලු කරපු ඒ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදීයාගෙන් දෙමළ ජනතාවට රැකවරණයත් නිදහසත් ලැබුනේයැයි කවරෙක් හෝ ප්‍රකාශ කරන්නේ නම් එසේ ප්‍රකාශ කරන අයගේ මොළය පරීක්ෂා කර බලා අංගොඩ මානසික රෝහලට යැවිය යුතුය.

ගෙවීගිය වසර 05 ක කාලය තුළ විග්නේෂ්වරන් මහඇමතිවරයා උතුරු පළාත් සභාව භාරදුන්නද දෙමළ ජනතාවගේ සුභසිද්ධිය, යහපත වෙනුවෙන් හා සංවර්ධනය වෙනුවෙන් ඔහු අබමල් රේණුවක දෙයක් කළේ නැත. ලැබුණු බලතල වලින් කිසිවක් නොකර තවත් බලතල ඉල්ලමින් කෑමොර දුන්නා පමණි. ඔහු කළේ තම තනතුර උපයෝගී කර ගනිමින් අන්තවාදයත්, ජාතිවාදයත් පතුරවමින් ගොඩනැගීමට තිබුණු ජාතික සංහිඳියාවට හරස් කැපීමය.

සිංහල විරෝධී, බෞද්ධ වීරෝධී ප්‍රකාශ නිකුත් කරමින් කටමැත දෙඩවීම පමණකි. මෙවැන්නෙක් රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා යැයි කියන්නටවීම ගැන සමස්ත විනිසුරුවරුන්ම ලැජ්ජාවට පත්විය යුතුය.

මෙලෙස දිගින් දිගටම කොටි හිතවාදීව බෙදුම්වාදයට පක්ෂව උතුරේ ඇතැම් අන්තවාදීන් රටේ ඒකීයභාවයට එරෙහිවත් සිංහල හා බෞද්ධ විරෝධීවත් ප්‍රකාශ නිකුත් කිරීම දේශපාලන විලාසිතාවක් බවට පත්වී ඇත. තවදුරටත් මෙය ඉදිරියට යන්නට ඉඩදුනහොත් කොටි සැමරුම,කළුකොටි සැමරුම් වලින් නතර නොවී ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් දක්වාම මෙය වර්ධනයවීමේ අවධානමක් ඇත. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය නිදහස අගයන දෙමළ සමාජයටත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනමත ප්‍රධානීන්ටත් නායකයින්ටත් බුද්ධිමතුන්ට හා කලාකරුවන්ට මෙයට එරෙහිව හඩ නැගීමේ වගකීමක් ඇත.

රජය මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම හා එම ප්‍රකාශ ප්‍රමාණවත් බරකින් නොගැනීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල පළකර සිටින අතර රටේ ව්‍යවස්ථාවට හා නීතියට අනුව මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් අනාගතයේ දී භායානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇත.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මැතිතුමා ඇතුළු දෙමළ ජාතික සංධානයට ද වගකීමක් ඇති අතර විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිවද පක්ෂයක් ලෙස දෙමළ ජාතික සංධානය විනයානුකූල පියවර ගතයුතුය. එසේම දෙමළ දේශපාලන නායකයින් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය පිළිනොගන්නා තාක් සැබෑ සංහිඳියාවක් රටතුළ ගොඩනැගෙන්නේ නැත. විජයකලාගේ ප්‍රකාශය අනුමත කරමින් විග්නේෂ්වරම් මහඇමතිවරයා කරඇති මුග්ධ අමන ප්‍රකාශය අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් වහාම රටේ ව්‍යවස්ථාව හා නීතියට අනුකූලව පියවර ගන්නා මෙන් බලකර සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ජාතික සංවිධායක

+++++++++++++++++++++++++++++++++++++

‘විජයකලා අපේ නායිකාවයි..’ යාපනය පුරා පෝස්ටර්
(07.07.2018 – 10:40 +0530 – lankacnews.com)

ස්වයං ලාබ නොමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහාන් කොට විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය.

යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකා කොට තිබූ අතර පහලින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන් කොට තිබුණි.

දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා ඇති අතර යාපනය බස් නැවතුම්පල ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්ටරය අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++

විජයකලා සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ – සිංහල රාවය
(08.07.2018 – 22:49 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු යැයි පැවසු හිටපු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් සමඟ උත්සව වලට සහභාගීවීමට කැබිනට් අමාත්‍යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

අද (08) පස්වරුවේ කළුතර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

++++++++++++++++++++++++++++++++++

සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක්
(08.07.2018 – 15:22 +0530 – lankadeepa.lk)

උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ.

සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන්වේ.

සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *