කළුබෝවිල සහ බත්තරමුල්ලෙන් හෙරොයින් කිලෝ 103 ක් අල්ලයි – හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1248

(08.07.2018 – 08:20 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන 1248 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රී කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේ දී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් පාර්සල් 30 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී බත්තරමුල්ල සුභූතිපුර නිවසක තිබී තවත් හෙරොයින් පාර්සල් 66 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව අදාළ පාර්සල් තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 103 යි ග්‍රෑම් 950 ක් පමණ තිබූ බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි ෴

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

මිලියන 50 ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අල්ලයි
(09.07.2018 – 09:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 50 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් මොහුගේ ගමන් මලූ පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 4 යි ග්‍රෑම් 186 ක් සොයා ගැනුනා.

සැකකරු පාකිස්ථානයේ ලාහොර් නුවර සිට මෙරටට පැමිණි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ෴

***************************************

දියණිය නිරුවත් කර පියා ඝාතනයට එජාප ප‍්‍රබල ඇමති සම්බන්ධයි.. මන්ත‍්‍රීටත් චෝදනා..
(08.07.2018 – 09:20 +0530 – lankacnews.com)

තම දියණිය නිරුවත් කිරීම විරුද්ද වූ පියෙකු අනුරාධපුරයේ දීපානි විද්‍යාලය අසලදී මරා දැමීමට එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයෙකුද සම්බන්ද යයි එම පවුලේ සාමාජිකයක් කියති.

තම සැමියා ඝාතනය කල එම කණ්ඩායම විසින් දරුවන්ද ඝාතනය කරන්නේ යයි තර්ජනය කරමින් ඇතැයි ඔහුගේ බිරිද පවසයි.

පවුලේ ඥාතීන් පවසන්නේ මෙම ඝාතනයට එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල ඇමතිවරයෙක්ද සම්බන්ද බවයි.

සිදුවීමට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.

+++++++++++++++++++++++++++++++++

අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනය දුවගෙ අතවරය හා මාධ්‍ය
(07.07.2018 – gossiplankanews.com)

අනුරාධපුර දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටදී ව්‍යාපාරිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පෙරේදා වාර්තාවූ කම්පිත සිදුවීමකි. කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සූජීව හෙට්ටිආරච්චි නමැති ගරාජ හිමියකු පෙරේදා (05) සවස 3.30 ට පමණ සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක් වූ අය කාර් රෙන්ටල් සර්විස් එකක් හා ගරාජයක් හිමි අයෙකු වූ අතර අනුරාධපුර, විජයපුර, ගම්සභාව අසල රාහුල මාවතේ පදිංචිව සිටි තිදරු පියකු විය.

ඔහුගේ නිවෙස වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු සිද්ධිය වාර්තාවූ දිපානි විද්‍යාලය ඉදිරීපිට තමන්ගේ මෝටර් රථය ක්‍රියා විරහිත වී තිබෙන බැවින් එය සාදා දෙන ලෙස ඉල්ලීමක් කර තිබ‍ෙන අතර එවැනි වැඩ සඳහා ඔහු රාජකාරි කරන නිසා වාහනය පරීක්ෂා කිරීමට ගොස් තිබේ.

කෙසේ වෙතත් එය ඔහු එළියට ගැනීමට උපක්‍රමයක් වූ බව ඔහු දැන සිට නැත. ඔහු විද්‍යාලය ඉදිරීපිටට පැමිණෙනවාත් සමගම එතැන රැක සිටි සන්නද්ධ කණ්ඩායමක් ඔහුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකොට පලාගොස් තිබෙන අතර බරපතල තුවාල ලබා වැටී සිටි ඔහුව අවට සිටයවුන් අනුරාධපුර රෝහල කරා රැගෙන යන අතරතුර ඔහු මරණයට පත් වී තිබෙයි.

මේ අව්අස්සේ ගරාජ් හිමියා එතැනට කැඳවාගෙන ආ පුද්ගලයා ද පලාගොස් තිබීමෙන් ඔහුද එම කණ්ඩායමේ අයකු වියහැකි බවට පොලිසියට සැක පහළවී ඇත.

මෙම ඝාතනය ගැන සිදු කරන විමර්ශනයේදී හෙළිවී ඇත්තේ කලෙක සිටම පවතින පවුලේ ආරවුලක් මත මෙම ඝාතන සිදු කර ඇති අයුරු හා මෙම පවුලට වරින්වර මරණීය තර්ජන එල්ල කළ විජයපුර ප්‍රදේශයේම පදිංචි නමගිය අපරාධකරුවකුගේ සහචරයින් පිරිසක් මෙම අපරාධය කරන්නට ඇති බවයි.

ගරාජ හිමියා සහ එම පුද්ගලයා අතර කලක සිට ආරවුල් කිහිපයක්ම සිදුව තිබෙන බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාරණය වී තිබේ.

සිද්ධියෙන් මියගිය 45 හැවිරිදි සුජීව හෙට්ටිආරච්චිට දරුවන් තිදෙනෙකි. ඒ දියණියන් දෙදෙනෙකු හා පුතෙකු ලෙසිනි.මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර දක්වා තිබුනේ මෙයට කලකට පෙර සිය වැඩිමල් දියණියට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට පහර දීම නිසා එයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

නමුත් මෙම ඝාතකයා සහ සුජීව අතර ආරවුල් ගණනාවක් වරින්වර පැවතී තිබී ඇති අතර එම ආරවුලක් අතරතුර වරක් මංගල උත්සවයකදී සුජීවගේ දියණියගේ ඇදුම් ප්‍රසිද්ධියේ ඉරාදමා ඇයට ලජ්ජා කර තිබීම එක් සිද්ධියක් පමණකි. එය අතවර තැතක් ලෙස පොලිසියේ සටහන්ව නැති අතර ඝාතන සිද්ධියෙන් පසුව හෝ එම දියණිය විසින් හෝ මාධ්‍ය වෙත පවසා නැත.

“මම වෙඩින් එකේ නට නට ඉද්දි මල්ලිට ගහලා..මම එතනට යද්දී මගේ ඇඳුම් ඔක්කොම ගලවලා දැම්ම ඒගොල්ලෝ එකතුවෙලා..අපේ තාත්තා “ඇයි මගේ දුවගේ ඇඳුම් ගැලෙව්වේ කියල අහද්දී තාත්තටත් ගහලා දැම්මා…ඊට පස්සේ පණිවිඩ එවනවා මටයි අක්කටයි ඇසිඩ් ගහනවයි කියලාත්…”

මීට මාස 10කට පමණ ඉහත විවාහ මංගල්‍ය උත්සවයකදී මෙම ආරවුල ඇතිවී තිබෙන්නේ සුජීවගේ පුතණුවන් සහ මේ කියන අපරාධකරු අතරයි.

සුජීව එදින ඔහුට පහරදීමෙන් පසු ඔහු පරාජයට පත්ව පළාගොස් තිබෙන අතර පලිගැනීමේ අටියෙන් වරින්වර ආරවුල් ඇතිකරගෙන තිබේ. සුජීවගේ බෙල්ල කපා දමන බවට අත කපා දමන බවට වරින්වර තර්ජනද එල්ල කර ඇති අතර දියණියන් දෙදෙනාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකරන බවටද තර්ජනය කොට තිබුණි. මෙම තර්ජන ගැන පොලිසියට පැමිණිලි කරන්නට සුජීව හා බිරිය ගොස් තිබුණද ඒවාට ක්‍රියාත්මක වූයේ නැති බව සුජීවගේ බිරිය දැන් පවසන්නීය.

‘මරණ තර්ජන තිබ්බ මාස 10 ම..හරියටම ඇත කපනවා..බෙල්ල වෙන් කරනවා කිව්වා…ඒ විදියටම කළා…බඩවැල් ඇදලා තිබ්බා..මම ඇස් දෙකට දැක්කා… චමින්ද, උදාර, සාගර, සමීර රොෂාන් , නාලක, කුමාරසිංහ අප්පුහාමි, මේ අය ඔක්කොම මගේ මහත්තයාව කෑලි වෙන්න කැපුවා….”

සැකකාර අපරාධකරු සොයන්නට පොලිසිය ගියත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බව වාර්තා විය. අද (7) සවස වනවිටත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිව නැත.

සිද්ධිය පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුවේ ෴

++++++++++++++++++++++++++++++

උසාවියේ නඩු 05 ක් – එක් නඩුවක් ස්ත්‍රී දූෂණ නඩුවක් – අනුරාධපුරදී මියගිය පුද්ගලයාගෙත් කැරට්ටුව හෙලිවෙයි
(09.07.2018 – webgossip.lk)

අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගියේ අනුරාධපුර විජයපුර රුහුණු මාවත ප්‍රදේශයේ පදිංචි කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙටිටිආරච්චි නම් තිදරු පියෙක්.

කෙසේවෙතත් ඝාතනයට ලක්වූ ප්‍රසන්න කුමාර මහතාගේ පවුලෙන් පොලිසියට එල්ල වන චෝදනාද ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

2017සැප්තැම්බර් මස 03 වන දින විවාහ මංගල්‍යය උත්සවයක් අතරතුර මෙම දෙපාර්ශවය අතර පහරදීමක් ඇතිවන බවත් ඉන් අනතුරුව මියගිය පුද්ගලයාගේ බිරිඳ අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පුල්ලෙයාර් චමින්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහි සුවිශේෂී කරුණ වන්නේ මියගිය සුජීව ප්‍රසන්නට එරෙහිවද නඩු 05ක් තිබීමයි.

ඒ අනුව කාන්තාවකට ලිංගික අතවර කිරීම ඔහුට එරෙහිව ඇති එක් නඩුවක් වන අතර අනෙක් නඩු පහරදී තුවාල සිදු කිරීම යන කාරණා සම්බන්ධවයි.

මෙලෙස පහරදීමේ එක් සිද්ධියක් වන්නේ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු චමින්ද පුෂ්පකුමාරට කඩුවකින් පහර දීම සම්බන්ධවයි. එම නඩුවේ සැකකරුවන් ලෙස දැක්වුණේ මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයාත් බිරිඳ, දුව හා පුතා බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

එම නිසා දෙපාර්ශවයටම නඩු තිබෙන බවත් එක් පාර්ශවයක් හෝ නිර්දෝෂී ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවත් මේ සඳහා දේශපාලන අධිකාරියේ කිසිදු බලපෑමක් නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ මහින්දගේ නායකත්වයෙන්.. වියත්මග වනුයේ මහින්ද චින්තනයේම දිගුවක්.. – ජයඝෝෂා මැද ගෝඨා ‘හරිමග’ අමතයි..
(07.07.2018 – 22:28 +0530 – lankacnews.com)

කාලයට අනුව සංවර්ධනය වෙමින් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යා යුතුව ඇති බව හිටප ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බවද ඒ මහතා පැවසීය.

කොලොන්නාව රජ මහා විහාරයේදී පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එමගින් මේ රට සංවර්ධනය කරන සැලසුම් වියත්මග සංවිධානයෙන් සකස් කරන බවත් කී ඔහු ඉදිරියේදී පිහිටුවන රජයක් පිහිටුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් බවද කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *