ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කෙරේ

(08.07.2018 – 21:55 +0530 – hirunews.lk/sinhala)

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ පිහිටි ඇයගේ නිවෙසේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

Click on image to play the song

—————————

———————————–

meemessasinhalasongs.com > Priyani Jayasingha

sarigama.lk > Priyani Jayasinghe

+++++++++++++++++++++++++++++++++

ගායන ශිලිපිනි ප්‍රියානි ජයසිංහ ඝාතනයේ අභිරහස එළියට
(09.07.2018 – 09:10 +0530 – hirunews.lk/sinhala)

ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

ස්වාමි පුරුෂයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවට අනාවරණ වී තිබෙනවා.

පලාගිය ස්වාමිපුරුෂයා සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ෴

++++++++++++++++++++++++++++++++

ප්‍රියානි ජයසිංහගේ සැමියා අත්අඩංගුවට
(09.07.2018 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට ඇයගේ සැමියා අද (09) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටියදී බවයි වාර්තාවන්නේ.

පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබුනේ.

ස්වාමි පුරුෂයා ප්‍රදේශය අතහැර පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බව ද සඳහන් වුණා ෴

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

සැමියාගේ වද හිංසා නිසා දින තුනක් ආරාමයක ඉඳලා…! සැමියාටත් පොලිසියෙන් වසරක තහනමක්..! ප්‍රියානිගේ ඝාතනය පිටුපස සැඟවුනු කතාව
(09.07.2018 – nethgossip.lk)

ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඊයේ රාත්‍රීයේදී ඝාතනයට ලක්ව තිබුනා. දෙදරු මවක් වූ පානදුර අරුක්‌ගොඩ නිවසේ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණු අතර කලක් තිස්සේ පැවති ආරවුලක් හේතුකර ගනිමින් ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වුනේ.

ඊයේ (08) රාත්‍රී සිදුවූ මෙම ඝාතනය කතුරක් ගෙල ප්‍රදේශයට ඇන සිදුකරන ලද ඝාතනයක් බවට පොලීසිය සැක පලකර ඇති අතර සිය සැමියා විසින් මීට පෙර අවස්ථා ගණනකදීම ඇයට පහරදී ඇති බවද වාර්තා වනවා. ඒ අනුව සිය සැමියාගේ වද හිංසා නිසා දින තුනක කාලයක් ආරාමයක ගොස් එහි රැඳී සිට ඊයේ (08) දින නැවත නිවසට පැමිණ තිබෙනවා.

එසේම ප්‍රියානි ජයසිංහ මහත්මිය සිය සැමියා පිළිබඳව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුට වසරක කාලයක් නිවසට පැමිණීමට තහනම් කර තිබී ඇති අතර එම තහනමද මීට මාස කිහිපයකට පෙර අවසන් වී තිබෙනවා. එම තහනමෙන් පසු සැමියා නිවසේ රැඳී සිට තිබෙනවා.

‘‘කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම්’’ සහ ‘‘සුන්දර හදකට දී පෙම් වදන්’’ යන ගීතවලින් රසිකයින් අතර ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වන වියෙහි පසුවුනා.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ පරිදි මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා ෴

+++++++++++++++++++++++++++++++++

09.07.2018

+++++++++++++++++++++++++++++++++

ප්‍රවීණ ගායිකා ප්‍රියානි ඝාතනය පෙර සැලැසුමක්
(10.07.2018 – mawbima.lk)

ජනප්‍රිය ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (09 දා) පානදුර – වලානේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනිය 51 හැවිරිදි දෙදරු මවකි.

සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කතුරක කොටසක් නිවෙසෙහි කාමරයක ඇඳ අසල දමා තිබියදී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

පෙරේදා (08දා) රාත්‍රි අටට පමණ ගායන ශිල්පිනිය හා සැකකාර සැමියා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඉන් අනතුරුව සැකකරු මෙම කතුරු තුඩ උපයෝගි කරගෙන ඇයගේ ශරීරයේ අට පොළකට පමණ ඇන මෙම ඝාතනය සිදු කර තිබූ බව පොලිසිය කියයි.

එම සිද්ධිය වන අවස්ථාවේ ගායන ශිල්පිනිය, ඇයගේ සැමියා, ලේලිය හා මාස තුනක් පමණ වයසැති මිනිබිරිය නිවෙසේ සිට ඇති අතර ඇයගේ පුතා අසල පිහිටි වෙළෙඳසලකට ගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

මිනිබිරිය මිත්තණිය වන ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනිය සමඟ කාමරයේ ඇඳ මත වාඩි වී සිට ඇති අතර ලේලිය රූපවාහිනිය නරඹමින් සිට ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිය මාමාණ්ඩිය වන සැකකරු කාමරය තුළදී නැන්දණියට පහර දෙනවිට ඇය කෑ ගසන හඬ ලේලියට ඇසී ඇත. ඒ සමඟම රූපවාහිනිය නරඹමින් සිටි ලේලිය වෙළෙඳසලට ගිය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී අනතුරුව අසල්වැසි නිවෙසක් වෙත දිවගොස් සිද්ධිය දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

ඒ වනවිට වෙළෙඳසලට ගොස් සිටි ගායන ශිල්පිනියගේ පුතා වහා නිවෙසට පැමිණෙද්දී සිය මව ඇඳ මත ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක අසල්වාසීන්ගේ සහායෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යද්දී අතරමඟදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියත් සමඟ සැකකරු පලාගොස් තිබූ බව පවසන පොලිසිය ලැබුණු තොරතුරක් අනුව ඔහු පසුව අත්අඩංගුවට ගත් බව කීය.

සැකකරු සිය බිරිය වූ ගායන ශිල්පිනිය ඝාතනය කිරීම සඳහා කල් ඇතිවම සැලසුම් කර ඇති බව ඝාතනය සඳහා යොදා ගත් කතුරු තුඩෙන් පැහැදිලි වන බවත් එහි දෙපැත්ත කැපෙන ලෙස මුවහත් තබා තිබූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

අපරාධය සිදු වූ ස්ථානයට පැමිණි පානදුර අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය පානදුර මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය. ගායන ශිල්පිනිය හා සැකකාර සැමියා අතර කාලයක සිට නිරතුරුවම ආරවුල් හට ගෙන තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුට අධිකරණය මඟින් නිවෙසට යෑම කලකට ඉහත තහනම් කර තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ගායන ශිල්පිනිය ඇයගේ පුතු හා ලේලිය සමඟ මෙම නිවෙසට පැමිණ තිබුණේ මීට මාසයකට පමණ ඉහතදී බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීහුද පරීක්ෂණ පැවැත්වූහ.

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොහාන් සිල්වා, උප පොලිස් පරීක්ෂක නලින් ද පියතිලක, සැරයන් එදිරිසිංහ (3081), කොස්තාපල් තුෂාර (79335) යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.

+++++++++++++++++++++++++++++++++++

මම කාමරයට ගිහින් බලන විට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද වැටිලා හිටියා
(10.07.2018 – mawbima.lk)

“මම සාලයේ ටී.වී. එක බල බලා ඉන්න කොට කාමරයෙන් එක පාරටම කෑගැහිල්ලක් ඇහුණා. “අනේ රෂිනි මාව බේරාගන්න කියලා.” ඒ සමඟම මම දුවලා ගිහින් ඉස්සරහ ගෙදර ඇන්ටිට කියලා ගෙදර එනකාට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද වැටිලා හිටියා.”

පානදුර කුඩා අරුක්ගොඩ අලුබෝගහවත්ත ප්‍රදේශයේ නිවෙස තුළදී සිය සැමියා එල්ල කළ කතුරු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ලේලිය වන රෂිනි තක්ෂිලා ෆොන්සේකා මහත්මිය ඇඬූ­ කඳුළින් පැවසුවාය.

පෙරේදා (08 දා) රාත්‍රී ගායන ශිල්පිනිය හා ඇයගේ සැමියා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව කතුරකින් අටපොළකට ඇනීමෙන් නිවෙස තුළදී බරපතළ තුවාල ලැබූ ඇය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මරුමුවට පත්වූවාය.

රෂිනි තක්ෂිලා මහත්මිය මෙසේද පැවසුවාය :

‘‘එදා 08 වැනිදා රාත්‍රි හතයි තිහත් අටත් අතරදී පමණ අම්මයි තාත්තයි කතා කර කර හිටියා. මහත්තයා ගියා කඩේට, මම සාලයේ ටීවී බල බලා හිටියේ. අපිට ඉන්න මාස තුනක් වයස එකම දරුවා අම්මා සමඟ කාමරයේ ඇඳේ ඒ වන විට හිටියේ.

එක පාරටම මට ඇහුණා අනේ රෂිනි මාව බේරාගන්න කියලා. අම්මා හයියෙන් කෑගැහුවා. ඒ සමඟම මම ඇන්ටිලාගේ ගෙදරට දුවගෙන ගියා. අම්මා මට කියලා තිබුණේ මොකක් හරි වුණොත් එයාලට කියන්න කියලා. මම මහත්තයාටත් කෝල් කරලා කිව්වා.

මම ආයේ ගෙදර එනකොට මහත්තයා ඇවිල්ලා හිටියා. මම කාමරයට ගිහින් බලන විට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද හිටියා. කතුරක් ඒ අසල බිම වැටිලා තිබුණා. කවුරුත් ගෙදර හිටියේ නැහැ.

මහත්තයා අම්මව ගේ ඉස්සරහට අරගෙන ආවත් තනියම ගෙනියන්න බැහැ. පස්සේ එහා පැත්තේ ගෙදර අංකල් කෙනෙක් ඇවිත් උදවු කළා.

මම විවාහ වී ආවාට පස්සේ මේ වගේ ප්‍රශ්න වෙනවා දැකලා නැහැ. නමුත් මහත්තයා මට කියලා තිබුණේ අම්මයි තාත්තයි අතර ප්‍රශ්න තියෙනවා කියලායි. ඒ වගේම අම්මත් කියලා තිබුණේ බැන්ද දවසේ ඉඳලා ප්‍රශ්න තමයි කියලා.’’

ඝාතනයට ලක්වූ ගායන ශිල්පිනියගේ පුතු වන ලෝචන නිපුන් ඊටන් මහතා මෙසේ පැවසීය :

‘‘මම කඩේට ගිහින් විනාඩි හතර පහකට පස්සේ වයිෆ් කෝල් කරලා කිව්වා තාත්තා අම්මට ගහනවා කියලා. විනාඩි දෙක තුනක් යන විට මම ගෙදරට ආවා.

මම අම්මා ඉන්න කාමරයට ගිහින් බලන විට අම්මා ලේ පෙරාගෙන ඉන්නවා දැක්කා. තාත්තා පේන්න හිටියේ නැහැ. මම අම්මව උස්සගෙන ගේ ඉස්සරහට ගිහින් කෑගැහුවා උදවු ඉල්ලලා. වාහනයක දාලා පානදුර රෝහලට අරගෙන යනවිට අම්මා නැති වුණා.’’

අසල්වැසි කාන්තාවක් වන නදීකා කරුණාරත්න මහත්මිය මෙසේ පැවසුවාය :

‘‘මම ගෙදර ඉන්න විට රෂිනි දුව කෑගහගෙන දුවගෙන ආවා. අම්මට මොනවද වෙලා කපලා වගේ කියලා. මම දුවගෙන ප්‍රියානි අක්කලගේ ගෙදරට ගියා.

ඇගේ කාමරයට ගිහින් ප්‍රියානි අක්කේ! ප්‍රියානි අක්කේ!! කියලා කතා කළත් කතා කළේ නැහැ. ඇස් දෙකයි කටයි ඇරගෙන ඇඳේ දිගා වෙලා හිටියා. මුළු ඇඟේම ලේ තිබුණා.

රෂිනිගේ පොඩි බබා ප්‍රියානි අක්කගෙ ඇඟට තදවෙලා හිටියා. මම විගහට බබාව මගේ අතට ගත්තා’’ ෴

++++++++++++++++++++++++++++++

09.07.2018

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

මගේ බිරිඳ ගැන මට ලොකු සැකයක්‌ තිබුණා; දවස්‌ 4 – 5 ගමන් ගිහින් එනවා; දුරකථනයට ගත්තත් ගන්නේ නැහැ
(11.07.2018 – divaina.com)

ජනප්‍රිය ගායන ශිල්පිනිය ඝාතනය කළ සැමියා පාපොච්චාරණය කරයි

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ (51) ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටට ගත් ඇගේ සැමියා පානදුර ප්‍රධාන මහේස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දා දක්‌වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රභාත් රසික ඊටන් නමැති 52 හැවිරිදි අයෙකි.

ගායන ශිල්පිනී ප්‍රියානි මහත්මිය ඝාතනය කිරීමෙන් පසු පලාගිය සැකකාර සැමියා පෙරේදා (09 දා) පානදුර වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කීපයක්‌ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව පානදුර දකුණ මූලස්‌ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙලෙස පාපොච්චාරණය කළ බව පොලිසිය කියයි.

“මට වයිෆ් ගැන සැකයක්‌ තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසි දෙයක්‌ අහන්නෙ නැති ගතියක්‌ තිබුණා. සමහර වෙලාවට එයා අනුරාධපුරයේ ගියාම දවස්‌ 4-5 ගත කරලා එනවා. එයාගේ හෑන්ඩ් ෆෝන් එකට ගත්තම ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ. මෙන්න මේ නිසා මට එයා ගැන ලොකු සැකයක්‌ තිබුණා. එයා මට අධිකරණයේ නඩුවක්‌ පැවරුවා.

පස්‌සෙ අධිකරණයෙන් මට ගෙදර යන එක තහනම් කළා. ඒ තහනම ගිය මාසේ අවසන් වුණා. පස්‌සෙ මම ගෙදර ගියා. අපි සාමදානයෙන් ජීවත්වෙමු කියලා මම එයාට කිව්වා. ඒ ඉන්න කොට මට ආයෙමත් එයා ගැන සැකයක්‌ ආවා. එයාගේ හැසිරීම මට ඇල්ලුවේ නැහැ. එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ. මම කතා කළත් ගණන් ගන්නේ නැහැ. පසුව මම තීරණය කළා එයා මරන්න. කතුරක එක කොටසක්‌ හොඳට මුවහත් කළා. ඒක හංගාගෙන හිටියා. ජූලි 8 වැනිදා ඉරිදා රෑ 8.00 ට විතර පුතා ගෙදර සිටියේ නෑ. ලේලි සාලේ හිටියා. මම පුදුම කේන්තියකින් හිටියේ. මම එයා හිටිය කාමරයට ගියා. තිබුණ කෝපයට මම එයාගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇන්නා. මට මොනවා වුණාද දන්නේ නෑ. එයා කෑගැහුවා. මම එතනින් පැනලා දිව්වා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්ෂණ සිදු කරති ෴

+++++++++++++++++++++++++++++++++

මියගිය ප්‍රියානිට අවසන් ගෞරව දැක්වීමට රසික රසිකාවියෝ වැල නොකැඩී එති
(11.07.2018 – mawbima.lk)

සැමියා විසින් එල්ල කරන ලද කතුරු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ ලේකම් ජානක වික්‍රමසිංහ මහතා ඇතුළු කලා ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පානදුර, කුඩා අරුග්ගොඩ, අලුබෝගහවත්ත ප්‍රදේශයේ ඇයගේ සහෝදරියගේ නිවෙස වෙත ඊයේ (10දා) රැගෙන එනු ලැබිණි.

ගායන ශිල්පනියගේ දේහය ඇයගේ පුතුන් දෙදෙනා වන ලෝසිත හා ලෝචන වෙත භාර දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා ඇතුළු පැමිණි කලා ශිල්පීහු ප්‍රථමයෙන් බුහුමන් දැක්වූහ.

ඉකුත් 08 වැනි දින රාත්‍රි ගායන ශිල්පිනියගේ සැමියා ඇයට කතුරු තලයකින් ඇන ඝාතනය කර තිබිණි.

‘අනේ තාත්තේ ඔයා එහෙම කළේ ඇයි තාත්තේ, මගේ අම්මට එහෙම කළේ ඇයි තාත්තේ, ඔයාට එහෙමවත් මතක් වුණේ නැද්ද තාත්තේ’ යැයි සිය මවගේ හදිසි වියෝව අසා විදේශ ගතව සිට මෙරටට පැමිණි ලෝසිත පුතු සිය මවගේ දේහය දෙස බලමින් ඉකි ගසමින් හඬා වැටෙන්නට විය. ඇයගේ දෙවැනි පුතු වන ලෝචන හා ලේලිය වන රෂිනිද හඬා වැටෙන අයුරු දක්නට ලැබිණි.

‘කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් තනියට ඉන්නම් තනි නොකරනවානම්’ යන ගීතයෙන් ශ්‍රාවක සිත් ඇද බැඳ ගත් ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මියගේ හදිසි වියෝව අසා කම්පනයට පත් දහස් සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන් කුඩා අරුග්ගොඩ නිවෙස වෙත පැමිණ ඇයගේ දේහයට ගෞරව බුහුමන් දක්වන්නට වූයේ දෑසේ කඳුළු පුරෝගෙනය.

මියගිය ගායන ශිල්පිනියගේ අවසන් කටයුතු හෙට (12දා) පානදුර, මිනුවන්පිටිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

++++++++++++++++++++++++++++++++

Priyani Jayasinghe Funeral (Photos)

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

පියාගේ 100 වන ජන්ම දිනය සමරා මාස 5 කින් ඔහුටත් පෙරම සමුගෙන ගිය ප්‍රියානි
(11.07.2018 – gossiplankanews.com)

අනපේක්ෂිත ලෙස පසුගියදා සමුගෙන ගිය ප්‍රියානි ජයසිංහ ගායිකාව කලාකරුවන් සමග මෙන්ම සිය පවුලේ අය සමග ඉතා හොඳ සම්බන්ධයක් පවත්වාගෙන ගිය තැනැත්තියකි. ඇය මින් වසර දෙකකට පමණ පෙර 2016 සිය වැඩිමල් පුතු ලෝෂිත හසරැල් සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වූයේ ‘සුන්දර හදකට‘ යන නමිනි. ඇයගේ කටයුතු වලට ගායක ගායිකා සංගමය මෙන්ම කලා සංධානයද මහත් උපකාර කරන ලදි.

ඇය පසුගිය කාලයේ කලා සංගම් සංවිධානය කරන බොහෝ උත්සව අවස්ථාවන්ටද එක්වෙමින් එහි ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කටයුතු කළාය.

නිතරම ෆේස්බුක් ඔස්සේ තමන්ගේත් තම හිතවත් කලාකරුවන් සමග සිටින ඡායාරූපත් ප්‍රසිද්ධ කිරීමට ඇය කැමැත්තක් දැක්වූවාය. ඇය සිය ගණන් සෙල්ෆී ඡායාරූප ෆේස් බුක්හි පළ කර තිබුණද ඇයත් සැමියාත් සමග සිටින ඡායාරූප ඇත්තේ එකක් පමණක් වන අතර එය ලබාගෙන තිබුනේ ඇගේ සංගීත ප්‍රසංගය දිනයේ බාහිර ඡායාරූප ශිල්පියෙකු විසිනි.

කලෙක සිටම ඇයගේ ජීවිතය ගෙවුනේ සැමියාගෙන් දුරස්ව බවට දන්නා කියන අයද සාක්ෂි දරයි.

ප්‍රියානිගේ පියාණන් තවමත් ජීවතුන් අතරය. ඔහුට වයස 100 සැමරුවේ පසුගිය පෙබරවාරි මාසයේය. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්ද ප්‍රියානි ඇගේ ෆේස් බුක් ගිණුමට එක්කර තිබුණි.

මේ සුන්දර ළෙංගතු කලාකාරියගේ සමුගැනීම මෙතරම් ඉක්මණීන් සිදුවේ යයි ඇය හා සමීප කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයකි.වයස සියයක් සපුරා මාස 5 කට පසු පියාණන්ටද අවාසනාවන්ත ලෙස ඇගේ නිසල දේහය නරඹන්නට සිදු විය ෴

++++++++++++++++++++++++++++++++

Priyani Jayasinghe’s Personal Album

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

කතුරු පහරින් මිනිසත්කම සිදුරු වූ ගී කිරිල්ලියගේ රුදුරු ඝාතනය
(15.07.2018 – mawbima.lk)

නෝක්කාඩු, අවලාද, ශාරීරික වධ හිංසා, අපහාස, උපහාස, රැවුම්, ගෙරවුම්, දුක් කඳුළු කෙළවර ආරවුල සමනයට පත්ව ඇත. එනිසාම හැමදාමත් අහසේ පායන සඳ අලුත් සඳක් සේ ඇය දුටුවාය. ගැටුම් මැද තැබූ බතද ඉදී අවසන්ය. ඇගේ තරහද නිවී අවසන්ය. එනිසා ඔහුටත් අමනාප නොවී ඉන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය. මේ තමාට පමණක්ම උරුම වූ අත්දැකීමක් නොවන බව ඇය දැන සිටියාය. ඇය තමා වැනි සුවහසක් ස්ත්‍රීන් වෙනුවෙන් මෙසේ ගැයුවාය.

අලුත් සඳ ඇවිත් අහසට එළියයි මුළු රෑම
කඳුළු නිසා නොපෙනුණාය සුන්දර සඳ පාන
බතද ඉදී ඉවරයි දැන් උණුසුම ඇත තාම
තරහ නිවී ඉවරයි මගේ ඔබ තරහද තාම

දින, සති, මාස අවුරුදු ඉක්මවී දෙන්නා දෙමහල්ලෝ කරදඬු උස්මහත් වූ පුතුන් දෙදෙනකුගේ මවුපියන් බවට පත්වූහ. නමුත් නිවෙසේ ආදායම් උපයන්නිය, වගකීම් දරන්නිය බවට පත්වූයේ ඇයයි.

දරුවන්ට ඉගැන්වීමේ සිට නිවෙසේ බත සරි කිරීම දක්වා වූ සියලු වගකීම් ඇගේ හිස මතට පැටවෙද්දී සැමියා තවදුරටත් නිවෙසේ නිලලත් ගෘහ මූලිකයා බවට පත්ව තම ආධිපත්‍ය නිවෙස තුළ පතුරවමින් සිටියේය. ඒ සියල්ල මුවින් නො‍දොඩා ඇය විඳ දරා ගත්තද ඔහුගේ බීමත්කම ඇයව බොහෝ සේ පීඩාවට ලක්කරමින් තිබිණි. ස්ථිර රැකියාලාභියකු නොවූ ඔහු වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලක් වුවද යෙදවූයේ තම බීමත්කම වෙනුවෙන් පමණි.

පාන්දර එක දෙක වන තෙක් උගුරේ ලේ රස මුවට දැනෙන තෙක් ඇය ප්‍රසංග වේදිකාවල ගී ගයමින් වෙහෙසව සිටියාය. අමාරුවෙන් උපයන ඒ මුදලින්ම තම පංගුව ඉල්ලමින් ඇයට ශාරීරික වධ බන්ධන පැමිණවීමට තරම් ඇගේ සැමියා කුරිරුව සිටියේය. සියල්ලටම හේතුව ඔහුගේ බීමත්කම යැයි ඇය සිත සනසා ගත්තද ඉන් ඇයට හිමිවූයේ තාවකාලික වූ සහනයක් පමණි.

උදෑසන නිවෙසින් පිටත් වන ආදරණීය සැමියා රාත්‍රියේ බීමතින් නිවෙසට පැමිණෙන බේබද්දකු බවට පත්ව සිටියේය. බීමතින් පැමිණ තමා වෙත නිරන්තරයෙන් කරන්නාවූ පහරදීම්වලින් ඇය කායික වශයෙනුත් මානසික වශයෙනුත් මහත් පීඩාවකට පත්ව සිටියාය. ‘මොකක්ද ප්‍රියානි අක්කා ඔයා මේ කරන්නේ, හැමදාම ඔහොම ගුටිකාකා ඉන්න පුළුවන්ද, ඔන්න ඔය මිනිහාව ඩිවෝස් කරලා දාන්න’ ඔවුන්ගේ පවුල් ආරවුල් දන්නා සමීපතමයෝ ඇයට අවවාද කළහ. නමුත් ඇගේ ජනප්‍රියත්වයට, පුතුන් දෙදෙනාට ලැජ්ජාවක් වෙතැයි සිතීම වැනි සංස්කෘතිය, සදාචාරය හා සම්ප්‍රදාය මුල් කොටගත් බැමි රාශියකින් ඇය බැඳී සිටියාය. එනිසා විවාහ බැමි ලිහා දමා නිදහස් වූ ජීවිතයක් ප්‍රාර්ථනා කිරීමට ඇය බිය වූවාය.

එහෙත් එම ආරවුල් නිමාවක් දුටුවේ නැත. ඇතැම් දිනවල ඇය ඔහුගෙන් ලත් ප්‍රහාර නිසා තුවාල ලැබුවාය. ඇයගේ කරදඬු උස් මහත් වූ පුතුන් දෙදෙනාට තම මවට උරුම වන තාඩන පීඩන සම්බන්ධයෙන් තිබුණේ දැඩි සිත් වේදනාවකි. තවදුරටත් අම්මා බීමත් පියාගේ පීඩනය මුදාහැරිමේ ගොදුරක් නොවිය යුතු බවට ඔවුන් තීරණය කොට තිබිණි. එම සංවාදවල ප්‍රතිඵලයක් වශයෙන් ඇය තම සැමියා සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දමා ආවේ සැමියාට තිබූ ආදරයට එරෙහිව නොව ඔහු කෙරෙන් මුදාහළ ප්‍රචණ්ඩත්වයට එරෙහිවය. ඇයට අවශ්‍යව තිබුණේ සමඟියයි.

පළමුවර පොලිසියේ අවවාද අනුශාසනා මැද ගැටුම් සමථයකට පත්ව ඔවුන් සමාදාන වී පැමිණියද ඒ සමඟි සමාදානයට වැඩි ආයුෂ තිබුණේ නැත. කාලය කෙමෙන් ගතව ගොස් ලොකු පුතා වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගත වූ අතර පොඩි පුතා විවාහ දිවියට ඇතුළත්ව සිටියේය. මේ අතරතුර කාලයේ ඇගෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට සැමියාට එරෙහිව පැමිණිලි 10 ක් පමණ ලැබී තිබුණු අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා පවුල් ආරවුල් ඇති කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබිණි.

නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබූ කාලය තුළ ඇගේ සැමියාට නිවෙසට පැමිණීම අධිකරණයෙන් තහනම් කොට තිබිණි. එම කාලය තුළ ඇගේ ජීවිතයේ සැනසීම සොයා යන්නට ඇය පෙලඹුණාය. බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් කියැවීමටත්, භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමටත් ඇය වැඩි කාලයක් වෙන් කළාය. නිරන්තරයෙන් ඇයට රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබෙන්නට විය. ප්‍රසංග වේදිකාවෙන්ද ඇගේ ගීතවලට වැඩි ඉල්ලුමක් ලැබෙන්නටද විය. ආර්ථික ප්‍රශ්න බොහොමයකට එය මනා අස්වැසිල්ලක් වූ අතර විදෙස්ගතව සිටින ලොකු පුතාට අවශ්‍ය බොහෝ දෑ ඇය ඒ මුදල්වලින් ඉටු කළාය. ගෙදර ගමන් බිමන් යෑම සඳහා කුඩා මෝටර් රථයක්ද ඇය මිලදී ගත්තාය. පසුගිය පෙබරවාරි 17 වැනිදාට යෙදුණු ඇගේ පියාගේ සිය වැනි ජන්ම දිනය වෙනුවෙන් පුංචි පහේ උපන් දින සාදයක්ද සූදානම් කළාය.

දිනෙන් දින ඇය ජීවිතයේ එතෙක් නොවිඳි සතුට හා සැනසුම අත්විඳිමින් සිටියාය. එහෙත් වසර ගණනාවකින් නිවෙස වෙත නොපැමිණි සැමියා වෙනුවෙන් ඇය සුසුම් ලෑවාය. බාල පුතාගේ අලුත උපන් දියණියට යාන්තම් මාස තුනක් ගෙවී ගියේ ඇයට මිත්තණියකට හිමි සතුට ලබා දෙමිනි. විදෙස්ගතව සිටි ලොකු පුතා ලෝෂිත හසරැල් අම්මා ළඟ නොසිටියත් ඇය තාත්තාගේ කරදරවලින් විනිර්මුක්තව විඳිනා සැනසීම ගැන සතුටු වූවේය. සියලු දෙනාගේ සතුට හා ආශීර්වාදය මැද පසුගිය ජුනි 10 වැනිදා ඇය 52 වැනි වියට එළැඹුණාය. ඒ අතරතුර ඇගේ සැමියා වූ රසිකට අධිකරණයෙන් ලබාදී තිබූ තහනම් නියෝගයේ කාල සීමාව අවසන් වෙමින් තිබිණි. කොතෙක් වධ බන්ධනයන් ඇයට පැමිණ වුවද, සිත තළා පෙළා දැමුවද ඔහු කෙරේම හැරුණු සිතක් ඇය සතු විය. පුතුන් දෙදෙනා ඇගේ අනුකම්පාවට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඇය පැවැසුවේ ‘මොනා වුණත් ඒ ඔයාලගේ තාත්තානේ පුතේ, පව්නේ, බීම නවත්වනවා නම් අපිට ආයේ තාත්තව ගෙදරට ගන්න පුළුවන් වෙයි’ යනුවෙන්ය.

ඇය කී අයුරින්ම ඔහු නැවතත් ඇයට බීමත්ව පැමිණ පහර නොදීමට ප්‍රතිඥාවක් දී යහපත් ස්වාමිපුරුෂයකු ලෙස කුටුම්භය තුළට එක්වූවේය. පසුගිය ජුනි මාසයේ සිට ඔහු නැවතත් නිවෙසේ ගෘහ මූලිකයා බවට පත්වූවේය.

ඔහු නිවෙසට නැවත පැමිණෙන විට නිවෙසට අලුත් සාමාජිකයන් දෙදෙනකු එකතුවී සිටි අතර, ඒ ඔවුන්ගේ මිනිපිරිය සහ බාල පුතාගේ බිරියය. ‘රසික අයියා සහ ප්‍රියානි අක්කා ආයෙත් සමාදාන වෙලා. හොඳින් ඉන්නවා කියන්නේ’ අලුබෝගහලන්දවත්ත ගම පුරාම ඒ ආරංචිය පැතිර ගොස් ගත වූයේ ටික කලකි. රැකියා විරහිතව සිටි රසික නැවත වතාවක් පරණ පුරුදු ආකාරයටම බීමතට වැටුණේය. පුංචි පුංචි බහින්බස්වීම්වලින් ඒවා කෙළවර වූ අතර ගුටි ප්‍රහාරදීම දක්වා ඒවා දුරදිග ගියේ නැත. තම නිවෙස නැවත යුද පිටියක් බවට පත්වන දිනය අත ළඟ බව ඇය ඉවෙන් මෙන් දැන සිටියාය. එනිසාම ඇය බොහෝ සෙයින් ආගමට දහමට ළැදිව සිටියාය. භාවනා වැඩසටහන්වලට වැඩිපුර සහභාගි වෙමින් සිටියාය.

ඇය තම මිනිපිරිය වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කළාය. ඇගේ ලොකුම බලාපොරොත්තුව වූයේ විදෙස්ගතව සිටින ලොකු පුතා හොඳ ගායකයකු හා වාදකයකුව සිටිනවා දැකීමටයි. ඇය ඒ වන විටත් ඔහු වෙනුවෙන් බොහෝ කැපකිරීම් කොට තිබුණාය. නිරන්තරයෙන් වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් අම්මාගේ දුක සැප විමසන ලොකු පුතා අම්මාගේත්, තාත්තාගේත් අඬදබර ගැන කනස්සල්ලෙන් සිටියේය. ඔහු නිරතුරුව අම්මාට පරිස්සමින් ඉන්නැයි කීවේ ඒ නිසාය.

පසුගිය අට වැනි ඉරිදා දිනයේ ඇගේ දවස සුපුරුදු පරිදි ගෙවී යමින් තිබිණි. ඇය මිනිපිරිය නිදි කරවමින් ඇඳට වී සිටියාය. ලේලිය සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි අතර ඇගේ සැමියා වූ බාල පුතා කඩයට ගොස් සිටියේය. ඒ වන විටත් ප්‍රියානිගේ සැමියා රසික නිවෙසට පැමිණ සිටියේ නැත. ඔහු කොහේ හෝ අරක්කු තිප්පොළකට වී සිටින බව ඇය දැන සිටියාය.

රාත්‍රි 8.30 ට පමණ වන විට සුපුරුදු පරිදි බීමතින් ඔහු නිවෙසට පැමිණියේය. සාලයේ සිටින ලේලිය පසු කරමින් ඔහු සිය බිරිය සිටි කාමරයට ඇතුළු විය. දෙදෙනා අතර බහින්බස් වන බව එකිනෙකාගෙන් පිටවුණු උස් ස්වරයන්ගෙන් ලේලිය වටහා ගත්තාය. එහෙත් එකවරම ප්‍රියානිගේ කටහඬ වේදනාත්මක කෑගැසීමකට පරිවර්තනය විය.

‘අනේ රෂිනි… මාව බේරගන්න’ කියමින් ප්‍රියානි කෑගැසුවාය. ඒ හඬින් බියට පත්වූ ලේලිය රෂිනි ජංගම දුරකතනයෙන් සිය සැමියාට කතා කොට ඒ බව දන්වා, උදවු ඉල්ලන්නට අසල්වැසි නිවෙසක් වෙත දිව ගියාය. අසල්වැසි කාන්තාවන් සමඟ ඇය නැවත පැමිණෙන විට ඇගේ සිඟිති දියණියගේ සිරුර මත ලේ වැකී සිරුරින් යුතු ප්‍රියානි වැටී සිටියාය.

එහෙත් ප්‍රියානිට පහර දුන් රසික කාමරයෙහි සිටියේ නැත. කඩයට ගොස් නැවත පැමිණි ප්‍රියානිගේ දෙවැනි පුතා කාමරයට එන විට ප්‍රියානි ඇස්දෙක හා මුව අයාගෙන අවසන් හුස්ම පොද ආශ්වාස කිරීමේ සටනක නිරතව සිටියාය. ඇයගේ සිරුර ඔසවාගත් දෙවැනි පුතා අසල්වැසියන්ගේ උපකාරයෙන් පානදුර රෝහලට ගෙන ගියද ඒ වන විටත් ඇය ජීවිතය අතහැර දමා ගොස් සිටියාය.

සුවහසක් පෙම්වතියන්, බිරින්දෑවරුන්ගේ සිත් සනසමින් ගීත ගණනාවක් ගායනා කළ ප්‍රවීණ ගායිකා ප්‍රියානි ජයසිංහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ අකාරුණික ගොදුරක්ව ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ ඝාතකයා සෙවීමට පොලිසිය මෙහෙයුම් කළේය. බොහෝ දෙනකුගේ සැකය එල්ල වූයේ සැමියා රසික වෙතටය. මන්දයත් ඒ වන විට ඔහු අතුරුදන්ව සිටීමත්, එදින රාත්‍රියේ ප්‍රියානි තුවාල ලැබූ ස්ථානයේ එක් පැත්තක් පමණක් ඇති දෙපැත්තම මුවහත් කළ කතුරු තලයක් තිබී හමුවීමත් එයට හේතුවයි.

පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවන්හි සටහන් වූයේ උල් ආයුධයකින් ඇගේ ශරීරයේ ස්ථාන අටකට කළ පහරදීම්වලින් ඇතිවූ දරුණු තුවාල හේතු කොටගෙන ඇය මරණයට පත්වී ඇති බවකි.

සැකය සැමියා දෙසට එල්ල විය. ඒ අනුව සැකකටයුතු සැමියා පලා යෑමේ අරමුණෙන් පසුගිය 9 වැනිදා පානදුර දුම්රිය ස්ථානයට වී සිටින බවට පානදුර දකුණ මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන්ට ප්‍රියානිගේ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

සිත් යට ඇති කහට බින්දු
වැස්සට තෙමුණට
වැස්සට පසු පායන ඉර
හරි එළියයි නේද
ඉස්සර වගේ පෙමින් බැඳෙමු
නොකියමු අවලාද
බිත්තියකටවත් නොකියමු
දෙදෙනගේ අමනාප

ඇය ගීතවත් වූයේ තම සැමියා වෙනුවෙන්ම දැයි විටෙක සිතේ. ඒ අප සියල්ලන්ම ඇය මෙතෙක් බිත්තියකටවත් නොකියා සඟවාගෙන සිටි ඔවුනොවුන්ගේ අමනාපකම් දන්නා නිසාය. එනිසා ඇගේ වියෝවෙන් පසුව ඇය ගයන්නාවූ ගීත අපේ සවන්පත්වලට වැටෙන්නා වූ සෑම මොහොතකම ඇගේ තැළී පොඩිව ගිය ගැහැනු ආත්මය අපගේ හදවත් පහුරු ගානු ඇත. ඒ වේදනාව සදාකල් ඇය වෙනුවෙන් ශේෂ වනු ඇත.

අහිමි වූයේ රටකට වටිනාකමක් එක් කරන්නට සමත් වූ දක්‍ෂ ගායිකාවකි. සුන්දර හදකට දී පෙම්වරම්, අලුත් සඳ ඇවිත් අහසට, කඳුළ නිවන්නම්, සකුන්තලාවක් වන්නෙමි මම, අත්තන මල්, ප්‍රේමයේ හෝරාව වැනි රසික හදවත් වෙත වඩාත් සමීප වූ ගීත ගණනාවක හිමිකාරිය වන අලුබෝගහලන්දවත්ත, කුඩා අරුක්ගොඩ, පානදුර පෙදෙසෙහි පදිංචිව සිටි ප්‍රියානි ජයසිංහ නම් වූ ඇය තව බොහෝ කලක් ගෙවී ගියද රසික හදවත්වල රැඳී සිටිනු ඇත.

බත ඉදීමෙන් පසුවත් තම පවුල් ආරවුල් සමථය වෙතැයි සිතා එම ආරවුල්වලට යෙදිය යුතු පිළියම් නොයොදා එම අමනාපකම් බිත්තියකටවත් නොපවසා හිඳීමේ අවසන් ප්‍රතිඵලය ලෙස ප්‍රියානිට හිමිවූයේ මරණය පමණි. එය එක්තරා අතකින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා අනුබල ලබාදීමකි. සෑම දෙයක්ම සිදුවන්නේ සැමියාගේ බීමත්කම නිසා බව සිතමින් ඇය සිත රවටා ගත්තද සත්‍ය ලෙසින්ම සිදුවන්නේ බීමත්ව සිටින්නා තම ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ මාධ්‍ය හා මාර්ගය බවට බීමත්කම යොදා ගැනීමය. එබැවින් තවදුරටත් සිරිත් විරිත්, සම්ප්‍රදාය, සංස්කෘතිය, සදාචාරය, ආගම හා පවුල වැනි කාරණා මත එල්බගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අනුබල දීමෙන් හෙට දිනයේත් දහස් ගණන් ප්‍රියානිලාට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එසේ වනතාක් කල් ‘මල් පූදින්නේ දෑඟිලි අතරේ තැළී පෙළී මිය යෑමට නොවන බව’ මිහිපිට කිසිවකු අවබෝධ කොට නොගනු ඇත.

ඇගේ තැළී පෙළී ගිය සිරුර හා ඇගේ අවසන් සුසුම් පොද දහසකුත් ජනී ජනයාගේ සිත්සතන් සන්තාපයට පත්කරමින් වාතලයට මුසු වද්දී ඇගේ සැමියා වූ ප්‍රභාත් රසික නම් සැකකරුවා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙසේ පාපෝච්චාරණය කොට ඇත.

ඔහුගේ පාපෝච්චාරණයට අනුව නම් මෙය ඉතා සැලසුම්සහගතව සිදු කළා වූ ඝාතනයකි. දෙපස හොඳින් මුවහත් කොට කිණිස්සක් ආකාරයට සකස් කොට ගත් කතුරු කොටස ඔහු තමා සතුව තබාගෙන සිටියේ අවැසි මොහොතක භාවිතයට ගැනීමට විය හැකිය.

“මම කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදරම තැනක හංගලා තිබ්බා. එදා අටට විතර පොඩි පුතා ගෙදරින් එළියට ගියා. ලේලි විතරයි සාලෙට වෙලා ටී.වී. බල බලා හිටියේ. ඊට පස්සේ මම සාලෙන් ඇයව පසුකරගෙන බිරිය ප්‍රියානි හිටපු කාමරයට ගියා. මට ඇය සමඟ තිබුණේ කේන්තියක්.

මට කාලයක සිට ඇය ගැන සැකයක් තිබුණා. ගොඩක් වේලාවට ඇය මම කියන දේ ඇහුවේ නැහැ. ඒ ගැන තරහක් තිබුණා. ප්‍රියානි සමහර දිනවලට අනුරාධපුරයේ යනවා. එහෙම ගියාම දවස් ගණන් ගෙදර එන්නේ නැතිව නතර වෙනවා. මම එහෙම වේලාවලට ඇයට කොයිතරම් දුරකථන ඇමතුම් ගත්තත් ඇය ඒ එකකටවත් ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒ නිසා මම ඇය ගැන හිටියේ සැකයෙන් සහ තරහකින්.

ඒ තරහටම තමයි එදා මම ප්‍රියානිට කතුරෙන් ඇන්නේ. මම ඒකෙන් ඇගේ බෙල්ලටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා. ඇය ඒ තුවාලවල වේදනාවෙන් ඇඳ උඩට වැටිලා කෑගහන කොට මම ගෙදරින් පැනලා ගියා. ඒ වෙලාවේ කේන්තියට මට මොනවා වුණාද මම දන්නේ නැහැ.

සැකය නිසා අපි අතර පොඩි පොඩි ආරවුල් තිබුණා. ඒවා ගැන ඇය මට විරුද්ධව පොලිසියේ පැමිණලි කරලා තිබුණා. අධිකරණයේ නඩුවකුත් තිබුණා. නඩුව තිබුණු කාලේ අධිකරණයෙන් මට ගෙදර යෑම තහනම් කරලා නියෝගයක් දුන්නා. ඒ තහනම ඉවර වුණේ ගිය මාසේ. ඊට පස්සේ මම නැවතත් ගෙදර ගියේ සමාදානයෙන් ජීවත් වෙන්න හිතාගෙනයි. මම ප්‍රියානිටත් කිව්වා අපි සමඟියෙන් ඉමු කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ.

කොයි වෙලේ බැලුවත් ඇය හිටියේ ෆෝන් එකේ කෝල්ස්වලමයි. මට ඇගේ හැසිරීම් රටාව ඇල්ලුවේ නැහැ. මගේ සැකය ආයෙත් වැඩි වුණා. එයා එයාට එන හැම කෝල් එකකටම හොඳින් ප්‍රතිචාර දක්වනවා. නමුත් මම ඇයට කෝල් කළාම මාව ගණන් ගන්නේ නැහැ. මට ඒ ගැන ලොකු කේන්තියක් තිබුණා. ඒ නිසා මම ඇයව මරන්න තීරණය කළා.”

ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබූ රසික වරින් වර විවිධ තාවකාලික රැකියාවල නිරතව සිට ඇත. වරෙක ඔහු වඩු කාර්මිකයකු ලෙසත් කුෂන් ව්‍යාපාරයක සහකරුවෙක් ලෙසත් සේවය කොට ඇත. තදින් මත්පැන් බීමට ඇබ්බැහිව සිටි ඔහු මෙම ඝාතනය සැකය මුල්කොටගෙන ද්වේෂයකින් කරන්නට ඇති බව ඔහු ලබා දුන් කටඋත්තරයෙන් පෙනී යයි. නමුත් ඔවුන් දෙදෙනා බිත්තියකටවත් නොකියා සඟවා ගන්නට උත්සාහ ගත් ඔවුන් දෙදෙනාගේ පවුල් ආරවුල් හෝ වෙනත් පෞද්ගලික කාරණා දන්නේ ඔවුන් දෙදෙනාම පමණි. එබැවින් ඔහුගේ පාපොච්චාණය හෝ සමාජය විසින් පතුරුවා හරින ඕපාදූපවලින් අප කිසිවකුට ඔවුන්ගේ ජීවිතය දෙසට දමා ගසන්නට හෝ ඇඟිලි දිගු කිරීමට නොහැකිය.

අරුණි මල්ලවආරච්චි

+++++++++++++++++++++++++++++++++

මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙළී මියැදෙන්න නොවේ
(15.07.2018 – saaravita.lk)

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

මල් පූදින්නේ දෑඟිලි අතරේ
තැළී පෙළී මියැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහ ලබන්නයි
හිත රිදවා හඬවන්න නොවේ

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ගණදුර දුරුකරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
හිතකට එළියක් ලැබ දෙන්නයි…

අශෝක කෝවිලගේ පද රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයෙන් ගී ගැයීම ආරම්භ කරමින් ගී ලොව ආලෝකවත් කළ ඒ මිණිපහන ප‍්‍රවීණ ගායන ශිල්පිනී ප‍්‍රියාණි ජයසිංහ පසුගියදා සදහටම සැඟව ගියේ ගීත ක්ෂේත‍්‍රයටම බලවත් පාඩුවක් එක් කරමිනි. 90 දශකයේ කඳුළ නිවන්නම් ගීතය තුළින් රසික හදවත් තුළ ලැගුම්ගත් ඇය ගැන කතා කරන්නට ඇයව ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන් ප‍්‍රවීණ සංගීතවේදී අශෝක කෝවිලගේ මහතාටම ඉඩ තබමු.

ප‍්‍රියානි ජයසිංහ කියන ගායන ශිල්පිනිය ගායන ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන්නෙ ඔබ? ඒ මුණගැසීම ගැන කතා කළොත් ?

ගංගාරාමෙ අපේ සංගීත පන්තියක් තිබුණා. එඩ්වඩ් ජයකොඩි මහත්මයාත්, විජේසේන කොඩිප්පිලි මහත්මයාත් එහි ඉගැන්නුවා. විජේසේන කොඩිප්පිලි මහත්මයාගේ සංගීත පන්තියට මමත් සංගීතය හදාරන්න ගියා. එතැනදී තමයි මට ප‍්‍රියානිව මුණගැහෙන්නෙ.

එතැන දී ද ඔබ කඳුළ නිවන්නම් ගීතය එතුමිය වෙනුවෙන් රචනා කළේ ?

කඳුළ නිවන්නම් ගීතය සහ සෙනෙහස ඉල්ලා ලියතඹරා ගීතයත් මම අසූ හතේදී විතර තමයි රචනා කළේ. ඒ කාලෙ මම ගීත තුන හතරක්ම රචනා කරලා තිබුණා. ඉතින් ඒ ගීත වලින් සෙනෙහස ඉල්ලා ගීතය මාලනී බුලත්සිංහලට තමයි ගැළපෙන්නෙ කියල මට හිතුණා. ඒ ගීතය මුලින්ම මම එතුමියට දුන්නම ඇය ඒ ගීතය ගායනා කරන්න තෝරා ගත්තා. පසුව තමයි කඳුළ නිවන්නම් ගීතයට ගැළපෙන කටහඬක් මම හොයමින් හිටියෙ.

ඒ ගීතයට තනුවකුත් නිර්මාණය කරලා සුදුසු කෙනෙක් කල්පනා කරද්දි තමයි ප‍්‍රියානිගෙ ගායන හැකියාව මට දකින්න ලැබුණෙ. මම ඇයට කතා කරලා කිව්වා මෙහෙම ගීතයක් තියෙනවා කියමු කියලා. ඒ කාලෙ මට සංගීත කණ්ඩායමකුත් තිබුණා. ඒ කණ්ඩායම ප‍්‍රංසගවලටත් සම්බන්ධ වුණා. ඉතින් මම ඇයට කියලා ඒ ගීතය ගායනා කෙරෙව්වා. ප‍්‍රසංගවල සහ උත්සවවල ඒ ගීතය ගායනා කරද්දි ගීතය අහගෙන ඉන්න අයගෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාරයක් තිබුණා. එක උත්සවයකදී දවසක් එකවර තුන් වතාවක් ඇයට කියලා ඒ ගීතය ගායනා කරවා ගත්තා. ඒ අයගෙ ඉල්ලීම් මත මට මතක විදියට ඒ බොරලැස්ගමුව පැත්තෙ ප‍්‍රසංගයකදී.

ඉතින් මම එදා කල්පනා කළා මේ ගීතයට මේ තරම් ප‍්‍රතිචාර තියෙනව නම් ගීතය පටිගත කළොත් හොඳයි කියලා. ඒක නිසා තමයි අපි ඒ ගීතය පටිගත කළේ. ඒ පටිගත කිරීමට මර්වින් බෙන්ස් මහත්මයාත් සම්බන්ධ වුණා. ඔහුත් අද අපි අතර නෑ.

ඒ ගීතය අපි හිතුවටත් වඩා ජනප‍්‍රිය වුණා. මොකද මගෙ පද රචනයටත් තනු නිර්මාණයටත් ගැලපෙන කටහඬ ප‍්‍රියානිගෙ තිබුණා. ඒ ගීතයට ඇය සර්ව සාධාරණයක් ඉෂ්ට කළා. ඒ වගේම ගීතයට ගොඩක් රසික රසිකාවියො එකතුවුණා. ප‍්‍රවීණ ශිල්පීන්ගෙන් පවා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඔවුන්ගෙ ප‍්‍රියතම ගීතයක් බවටද පත්වුණා

එතැනින් පස්සෙද,
සුන්දර හදකට දී පෙම්වරම්
පෙම්බර ඒ හිතටම පෙම් බැඳන්

ළංකර ගැනුමට මා මේ තරම්
මං කළ පින කිව මැන රත්තරන්…

ගීතය එළියට එන්නෙ ?

ඔව්. ප‍්‍රියානි මට කිව්වා තව ගීත තුනක් කරන්න ඉන්නෙ. ගීතයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඉන් පසුව තමයි මේ ගීතයෙ පද රචනය සහ තනු නිර්මාණය කරලා ඇයට ලබාදුන්නෙ. ඇයට අනික් ගීත දෙක රෝහණ වීරසිංහ මහත්මයා නිර්මාණය කරලා දුන්නා.

සුන්දර හදකට දී පෙම්වරම් ගීතයත් කඳුළ නිවන්නම් ගීතය වගේම අතිශය ජනප‍්‍රිය වුණා. ඒ ගීතත් එක්ක ඇය පසුව සී.ඩී. තැටියක් කළා. ඒ වෙනුවෙන් මම තවත් ගීතයක් නිර්මාණය කරලා දුන්නා අලුත් සඳ ඇවිත් කියලා.

මම ඇය වෙනුවෙන් ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. ගිය සතියෙත් අලුත් ගීතයක් පටිගත කරන්න සැලසුම් කරලායි තිබුණෙ. නමුත් ඇය ඒ දාගත්තු දිනයේ ආරාමයකට යන කතාවක් කියලා ඊළඟට එන සතියෙ මුල ගීතය පටිගත කරන්න සූදානම් කරගන්න කියලා කිව්වා. ඉතින් ඒ දවසට මම සියල්ල සූදානම් කරලයි තිබුණෙ ගීතය පටිගත කිරීම සඳහා.

ප‍්‍රියානි ගීත කිහිපයක්ම කරන්න සූදානමින් හිටියෙ. පිටරට ඉන්න කෙනෙකුත් පද රචනයක් ඇය වෙනුවෙන් කරලා තිබුණා. එහි තනු නිර්මාණය කළෙත් මම. ඒකත් ගායනා කරන්න තමයි හිටියෙ. ඒ වගේම ප‍්‍රසංගයක් පවත්වමු කියලා ඇය යෝජනා කළා. ත‍්‍රිපුද්ගල ප‍්‍රසංගයක් කරමු කියලා යෝජනා කළේ ඒ ගැනත් සාකච්ඡා කරමින් හිටියෙ හරි කැමැත්තෙන්. මේ අතරෙදි තමයි ඇය අපගෙන් වෙන්වුණේ.

ඇයට ලියපු අවසාන ගීතය තමයි :
වැහිබිඳු නොවැටෙන මන්දාරම් අඳුරේ
සමනල දේදුණු සිඳී බිඳී විසිරේ
මතකය කටුගා ඔබත් මමත් අතරේ
සෙනෙහස මියැදුණි කඳුළැලි නෙතු ඉතිරේ

කියන ගීතය. මේ ගීතයට ඇය ගොඩක් කැමැත්තෙන් හිටියෙ. මේ ගීතය සම්පූර්ණ තනුව නිර්මාණය කළේ ‘ලැටින් ඇමරිකන්’ ශෛලියෙන්.

– ධනු විජේරත්න

++++++++++++++++++++++++++++++++

‘‘අයියට ගහල නළල පැලිලා. අම්මගෙ ඔළුව දෙපාරක් පළල තියෙනව. සීයව තල්ලු කරල උකුල් ඇටේ කැඩිල’’ සොඳුරු ගායිකා ප්‍රියානිගේ සැගවුණු කඳුළු කතාව
(16.07.2018 – gossip.hirufm.lk)

ප්‍රියානි ජයසිංහව මරා දාල… අනේ පව් හරිම අහිංසක කෙනෙක් එයා…හැමදාම ඔය ගෙදර රණ්ඩු… ඔය මිනිහ මහ එපා කරපු එකෙක්…

තැන තැන ඇසෙන්නට වූ මෙවැනි කතා වැඩිවන්නට වූයේ කාගේත් ආදරය දිනා ගෙන සිටි ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියට සිදු වූ සාහසික අපරාධය නිසාය. ඒ පසුගිය 08 දා රාත්‍රියේදීය. තම පුතුගේ මාස දෙකක් වයසැති සිගිති දියණිය තුරුලට ගෙන නිදා සිටි ඇයට සිදු වූ මේ විපත කාටත් අදහා ගැනීමට අසීරු වූ පුවතකි.

දෙදරු මවක් වූ ප්‍රියානි මහත්මියගේ වැඩිමල් පුතු ජපානයේ අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් රැකියාවක් කළ අතර රැකියාවක් නොමැති දෙවන පුතු විවාහ වී බිරිඳ සහ මාස දෙකක දියණිය සමග සිටියේ ඇගේ නිවසේය. ඒ පානදුර අලුබෝමුල්ල කුඩා අරුක්ගොඩ සිනමන් ගාඩන් ලිපිනයේය. පොඩි පුතුගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට ආර්ථික ශක්තියක් වූ 51 හැවිරිදි වියේ පසු වූ ඇය දහසක් කලාකාමි රසිකයින්ගේ හදවත් මියුරු ගී නදින් සැනසුවත් ඇය ගත කර ඇත්තේකඳුළු හංගාගෙන දුකින් පිරුණ ජීවිතයක් බව පැහැදිලි වන්නේ ඇගේ මේ අවාසනාවන්ත වියෝවත් සමගිනි.

‘‘මම කවදහරි ඕකිවත් මරල මමත් මැරෙනව. තාත්ත අපේ අම්ම ගැන එහෙම කියල තියෙනව.’’

නිතර මත්පැන් පානය කරන ඇගේ සැමියා ඇය සමග කුමක් හෝ අල්ලාගෙන රණ්ඩු කර ගැනීම සිරිතක් වී තිබිණ. බීමත්ව නිවසට පැමිණෙන්නට එපා යයි කොතරම් කිව්වද එය ගණනකට නොගත් ඔහු නිවසේ සාමය සතුට පලූදු කරමින් හැසිරි ඇත්තේ දරුවන්ටද හිංසා පීඩා කරමිනි.

‘‘අයියට ගහල නළල දිගට ඉරක් වගේ පැලිල තුවාල වුණා. අම්මගෙ ඔළුව දෙපාරක් පළල තියෙනව. සීයව තල්ලු කරල උකුල් ඇටේ කැඩිල. දැන් රෝද පුටුවෙන් යන්නෙ.’’

සීදේවිය වෙනුවට මූ දේවිය කැන්දාගෙන නිවසට ගොඩවෙන ඔහු කළ හපන්කම්වලින් අල්පයක් පමණි ඒ. පුංචි කැදැල්ල ගිනි ගැනුණේ එකවරම නොවේ සීරුවෙන් සීරුවටය. සංගීත සංදර්ශනවලට ඇය සහභාගිවීම පවා නොරිස්සු ඔහු, නිතරම ඇයගේ ජනප්‍රියත්වය හංගා ඇගේ හැකියාවන් සිරගත කිරීමට වෙහෙසුණේ ඔහු අබිබවා ඇය නැගී සිටීමේ හේතුවෙන් ඇති වූ සියුම් ඉරිසියාවට වන්නටත්පුළුවන. කෙසේ හෝ ඇය පොලිසියේ පිහිට පතන්නේ බැරිම තැනය.

ඔහුට නිවස තහනම් කලාපයක් වෙන්නේ මේ අනුවය. වසරින් වසර මෙම තහනම් නියෝගය අලූත් කර ගන්නා ප්‍රියානි මහත්මිය ඔහුගෙන් සිදුවෙන ගැහැට වළක්වා ගනිමින් දරුවන්ගේ දුක සැප බලාගෙන තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්නට උත්සාහ කළාය. එහෙත් සැමියාගෙන් නම් ඊට ඉඩක් ලැබුණේම නැත. වරින් වර පැමිණ ඇයට නොයෙක් තාඩන පීඩන සිදු කිරීම ඔහුගේ සිරිත බවට පත්ව තිබිණ.

රැකියාව ලෙස කුෂන් වැඩ කළ ඔහු ඇගේ ජනප්‍රියත්වය හමුවේ ඇයට ඉරිසියා කරන්නටත් ද්වේෂ කරන්නටත් පෙලඹිම නිසා පවුල් ජීවිතය අවුලෙන් අවුලටම පත්ව තිබිම කාටත් රහසක් වි නොතිබිණ.

‘‘අම්ම හිටියෙ හැම තිස්සෙම බයෙන්. තාත්ත ඉන්න වෙලාවට ලෝචන ගෙදර නැත්නම් මමයි අම්මයි බබයි හිටියෙ මේ ළඟ ගෙවල්වල. එදත් උදේ ඉදල තාත්ත ගෙදර හිටිය හින්ද අපි හිටියෙ ළඟ ඇන්ටිලගෙ ගෙදර.’’

ඔහුට පනවා තිබූ වසරක උසාවි නියෝගය පසුගිය මාසයෙන් අවසන්වීමත් සමග නැවත නිවසට පැමිණි ඔහු මින් පසු නොබොන බව පැවසුවත් එහි අඩුවක් සිදු වූයේ නම් නැත. නිතරම මේ නිවසින් ඇසෙන රණ්ඩු සරුවල් ගැන ඇහුම්කන් දෙන්නට අසල්වැසියන්ටද වුවමනාවක් නැත්තේ ඒවා පවුලේ ප්‍රශ්න නිසාය. මේ නිසා ඔවුන් ගත කර ඇත්තේ මරණ බය කරපින්නාගෙන බව පැහැදිලි වන කරුණකි. ඇය මීට සතියකට පමණ පෙර භාවනා වැඩසටහනකට සහභාගිවීමද විශාල වරදක් ලෙස දකින්නට ඔහුට හේතු කාරණාවක් වූ තැන නැවතත් වචන හුවමාරු වැඩිවෙන විට උසාවි නියෝගය අලූත් කර ගත යුතු බවට තීරණය කළ ප්‍රියානි මහත්මිය ඒ සඳහා වෙහෙසුණාය. නමුත් කුමක් හෝ අවාසනාවකට ඇයට 09 දා ඒ ගමන යන්නට මරුවා ඉඩ දී තිබුණේ නැත.

පසුගිය 08 දා රාත්‍රියේ ලේලිය දරුවා නිදි කරවා සාලයේ රුපවාහිනිය නරඹමින් සිටියදි ප්‍රියානි මහත්මිය සිටියේ දරුවා සමග යාබද අදේය. ඇගේ පුතා අසල වෙළදසලට යන්නට නිවසින් පිටත් වූයේ ඒ අතරය.

‘‘රෂිනි රෂිනි කියල අම්ම කෑගැහුවා. මම දුවල ගිහින් අල්ලපු ගෙදර නැන්දට කියල මහත්තයටත් කෝල් කරල කිව්ව.’’

අසල්වැසියන් සහ පුතු එක්ව ඇය වාහනයකින් රෝහලට රැගෙන යන්නේ ඉන් පසුවය.

‘‘මං ඉවරයි මං ඉවරයි කියල අම්ම අමාරුවෙන් වගේ කිව්වා. හුස්ම ගන්න බෑ කියලත් අම්ම වාහනේ යන ගමන් මගදි කිව්ව. අම්මගෙ බෙල්ලෙ තුවාලයක් තිබුණා. මම ඒකට මගෙ කමිසෙ තියල තද කරගෙනයි ගියේ. අම්මගෙ තොල ළඟ ඉඳල නිකට දිහාටත් කැපිල තිබුණ.’’

ලේ තැවරුණ කතුරක වම් කොටස ඇගේ කාමරයට ඇතුළු වෙන දොර අසල තිබි හමුවන්නේ ඇයට සිදු වු දේ පැහැදිලි කරමිනි.

සියල්ල සන්සුන් වන්නේ මේ අනුවය. අනියත ජීවිතයේ මරණය නියත බව සැබෑ වුවත් රටක් වසඟ කළ මධුර මනෝහර ගී නාදයක් ගොළු කර දැමුවේ හිත්පිත් නොමැති ලෙස මේ අයුරිනි.

මේ සියල්ල සිදු කර පලා ගිය ඝාතකයා පානදුර දුම්රියපළ අසල ගැවසෙමින් සිටියදි පසුදින පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේ අපරාධයක් සිදු කර සැගවී සිටීම අසීරු බව පසක් කරමිනි. ඔහු විසින් කුරිරු ලෙස ඇගේ මිහිරි හඬ නිහඬ කළද ඇය ගැයූ ගී කිසිදින ඇගේ රසික රසිකාවියන්ගේ හදවත්වලින් ගිලිහී නොයන බව නම් සැබෑය.

පානදුර වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදු කර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කරන ලෙස පොලිසියට නියෝග කළාය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්, මගපෙන්වීම සහ අධීක්ෂණයෙන් පානදුර මූලස්ථාන ප්‍රපොප තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.පග රෝහණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *