වසර බිලියන 2 කට වඩා පැරණි බැක්ටිරියාවක් රාජාංගණ වැවේ

(09.07.2018 – 08:27 +0530 – hirunews.lk/sinhala)

රාජාංගනය වැවේ ජලය මේ දිනවල තද කොළ පැහැයෙන් වර්ණවත් වී දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ රාජාංගනය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්.

‘‘වැව හොදටම ජරා වෙලා වතුර කොල පාට වෙලා. දැඩි දුර්ගන්ධයක් වැවෙන් හමනවා. යන එන හැමෝම වැව ළගින් යන්නේ එන්නේ නහය වහගෙන. ඇතැම් දිනවලට කිලොමීටර් ගණනක් දුරට දුගද හමනවා. මේ සිද්දියෙන් පස්සේ මගේ දරුවත් අසනීප වුණා.

දැන් දෙපාරක් එයාට බෙහෙත් ගත්තා. ගෙදරක කෑම ටිකක්වත් කන්න බැහැ. මේ තත්ත්වය වැවේ ඇතිවුණාට පස්සේ ගමේ තවත් කුඩාදරුවන් ඇතුලු කිහිපදෙනෙක් ලෙඩ වෙලත් ඉන්නවා. මේ නිසා ගමේ අය බොහොම අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා. බලධාරීන්ටත් අපි මේ ගැන දැනුම් දෙන්න පියවර අරන් තියෙනවා.

වැවෙන් එන දුර්ගන්ධය ඉවසන්න බැහැ. මමත් හෘද රෝගියෙක් ගෙදර ඉන්න බැහැ මුහුණ ඔක්කොම දැවිල්ලයි. වැව ආසන්නයේපදිංචි අයට ඒක හොදට තේරෙනවා. දැන් මම වෙන දුරතැනක ගෙයක් හොයනවා යන්න මොකද මෙහෙ ඉන්න බැහැ. වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයටත් අපි මේ ගැන දැනුම් දුන්නා ඊට පස්සේ ඒ අය ඇවිත් බැකෝ යන්ත්‍රයක් දාලා කොටසක් ඉවත් කළා. ඒත් සාර්ථක නැහැ. එහෙම ඉවත් කරලා පිරිමහන්න බැහැ. දැන් වැවේ මාලුත් මැරෙන්න පටන් අරගෙන තියෙනවා. ධීවරයින්ගේ රැකියාවත් අනතුරේ

මේ ගැටලුවට කඩිනම් විසදුමක් ලබා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

වැවෙන් එන දුර්ගන්ධය දරා ගන්න බැරිව ගමේ කිහිප දෙනෙක් දැනට නිවාස අතහැරලා පිටපලාත්වලට ගිහින් ඉන්නවා. මමත් රෝගියෙක්. අපේ දරුවන් තුන්දෙනෙකුත් වැවේ මේ තත්ත්වය මතු වුණාට පස්සේ ලෙස වුණා. ගමේ තවත් අය ලෙඩවෙලා ඉන්නවා.’’

රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා කියා සිටියේ වසර බිලියන 2 කට වඩා පැරණි බැක්ටීරියාවක් යළි වර්ධනය වීම හේතුවෙන් රාජාංගණය වැවේ ජලය මෙලෙස තද කොළ පැහැයක් ගෙන ඇති බවයි.

‘‘රාජාංගනය වැවේ මතුව ඇති තත්ත්වය මම නිරීක්ෂනය කළා. මෙම තත්ත්වය සුපෝෂණ තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. වැවට නයිට්‍රජන් හා පොස්පරස් එකතුවීම නිසා තමයි මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ. වැව ඉහළ ප්‍රදේශයේ සිදු කෙරෙන වගා කටයුතු වලදී ඒවාට රසායනික පොහොර යෙදීම සිදු කෙරෙනවා. එම පොහොරවල තියෙන නයිට්‍රජන් හා පොස්පරස් වැවට එකතු වෙනවා. ඊට පස්සේ වැවේ තිබුණ මයික්‍රෝසිස්ටිස් කියන බැක්ටීරියාවක් සුපෝෂණය වෙලා තියෙනවා.

ඒ අනුව මයිකෝසිටිස් බැක්ටීරියාව වැව තුල සුපෝෂණයවීම නිසා මේ තත්ත්වය මතු වෙලා තියෙනවා. මේ බැක්ටීරියාව වසර බිලියන දෙසීයකට වඩා පැරණි එකක්. මයික්‍රෝසිස්ටිස් බැක්ටීරියාව ජලයේ තිබෙන නයිට්‍රජන් හා පොස්පරස් උරා ගැනීමත් සමග එහි ගහනය වැඩි වනවා.

පසුව එය ජලය මතුපිට වලාකුලක් මෙන් තට්ටුවක් ලෙස වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ තට්ටුවට යටින් වතුරට ඉර එලිය වැටෙන්නේ නැහැ. ඒ නිසා එහි යට ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් එම ජලයේ ඉන්න සත්ව වර්ග හා ශාඛ සියල්ල මැරිලා කුණු වෙනවා. මුළු පරිසරයම අප්‍රසන්න තත්ත්වයට පත්වෙනවා. ඒ හේතුවෙන් දුගඳ හමා එනවා. මෙවැනිම තත්ත්වයක් 2002 දී පමණ මහනුවර වැවෙනුත් වාර්තා වුණා.

මෙම මයික්‍රෝසිස්ටිස් බැක්ටීරියාව සුපෝෂණය වූ විට ඊට පුලුවන් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. එලෙස නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය මිනිසාගේ ස්නායු පද්ධතියට හා අක්මාවට හානි කරන බව දැනට ලෝකයේ පර්යේෂකයෝ හොයා ගෙන තියෙනවා. දුර්ගන්ධයත් සමග සිදුවන වායු දූෂණය නිසා කැස්ස පපුවේ දැවිල්ල මුහුණේ දැවිල්ල වගේ රෝග තත්ත්වයනුත් ජනතාවට ඇති වෙනවා. ඒ නිසා මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නවත් බැරිවෙනවා. අපිට දැන් රාජාංගනය වැවේ මේ තත්ත්වය වලක්වන්න බැහැ. දැන් තත්ත්වය මතු වෙලා ඉවරයි. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වන්නේනම් පමණක් එය වළක්වා ගැනීමට වැව් තාවල්ලේ කෙරෙන වගා කටයුතු නවත්වන්න වෙනවා. එහෙමත් නැත්නම් එවැනි වගා බිම්වලට නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යොදන එක් නවත්වන්න වෙනවා. වගා කිරීම හෝ කෘෂීකර්මාන්තය නෙවෙයි මෙතැන තියෙන වැරැද්ද නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර අධීක භාවිතය තමයි වරද වෙලා තියෙන්නේ.’’












********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *