ඒකාබද්දය ලෝකයටම අලුත් දේශපාලන පාඩමක් උගන්වයි.. යහපාලන ලොක්කන්ට සුළු දිය පහවෙයි..

(09.07.2018 – 14:10 +0530 – lankacnews.com)

ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් බලයට ආ රනිල්- මෛත්‍රී ආණ්ඩුවට දැන් මැතිවරණ නම ඇසුණත් කකුල් පණ නැති වී සුළුදිය පහ වන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මැතිවරණවලට බිය නැත්නම් අලුත් ක්‍රමය හෝ පැරැණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමැති ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණය පවත්වා පෙන්වන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී ඊයේ (08) පැවැති ජනහමුවක් අමතමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය :

‘‘අද රට පාලනය කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පත්වෙච්ච අසාර්ථකම ආණ්ඩුව බවට කතා දෙකක් නැහැ. මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු තුනක් යනකොට රට හැමපැත්තකින්ම විනාශ වුණා. ආර්ථිකය, සංවර්ධනය, ආරක්ෂාව වගේ හැම අංශයකින්ම රට පහළට වැටුණේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අසාර්ථකකම නිසයි.

මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව අයිතිය ගැන ලොකු ලොකු කතා කියමිනුයි. එදා ඒ කිව්ව යහපාලනය අද ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් බේරෙන්න අරගෙන. ප්‍රජාතන්ත්‍රවාදය කොයිතරම්ද කියනවා නම් ඡන්ද කිව්ව ගමන් ආණ්ඩුවේ කකුල් ගැහෙන්න ගන්නවා. සුළුදිය පහවෙනවා.

පළාත් පාලන ආයතන ඡන්දය අවුරුදු දෙකක් කල්දැම්මා. අන්තිමට ඡන්දය තිබ්බේ රටෙන් ආපු බලපෑම තවදුරටත් ඉවසන්න බැරි තැනයි. දැන් පළාත් පාලන ඡන්දය කල්දාන්න පටන් අරගෙන තියෙනවා. පළාත් සභා තුනක කාලය ඉවර වෙලා මේ සැප්තැම්බර් මාසයට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. හැබැයි තාම ඡන්දය තියන්න උනන්දුවක් නැහැ.

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල්දාන්න යොදා ගත්තේ මැතිවරණ ක්‍රමය කියන තුරුම්පුව. දැන් පළාත් පාලන ඡන්දය කල්දාන්නත් ඒ තුරුම්පුවම පාවිච්චි කරනවා. ජනාධිපතිවරයා ජනාධිපති නීතිඥයෙක් පළාත් පාලන ඇමැතිකමට පත් කරගෙන තියෙන්නේ කොහොම හරි නීතියේ හිඩැස්වලින් රිංගලා ඡන්ද කල්දමා ගන්නයි.

ආණ්ඩුව හොඳාකාරවම දන්නවා මේ වෙලාවේ ඡන්ද තිබ්බොත් අත්වෙන ඉරණම. දැන් මිනිස්සු බලන් ඉන්නේ ඡන්දයක් එනකම්. මැතිවරණ කොමිසමත් හරියට රූකඩයක් ගාණට වැටිලා. මැතිවරණ තියන්න කියලා ජනාධිපති අගමැති ළඟ වැඳ වැටෙනවා ඇර කොමිසමේ සභාපතිතුමාට දැන් කරන්න වෙන වැඩක් නැහැ.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඕනෙම ක්‍රමයකට පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියන්න කියලා. අලුත් ක්‍රමය හරි පරණ මනාප ක්‍රමය හරි ඕනෙම ක්‍රමයකට අපි ලැහැස්තියි. ගිය පාර පළාත් පාලන ඡන්දෙදි දීපු අමතක නොවන පාඩම මේ පාර අලුත් වටයකින් ආණ්ඩුවට උගන්වන්න අපි සූදානම්.

අවුරුදු තුනකට ඉස්සර ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ විපක්ෂයක් නැත්තටම නැති කරලයි. හැබැයි අවුරුදු තුනක් ගත වෙනකොට අද ආණ්ඩුව හෙලවෙන දතක් වෙලා. කොයි වෙලාවේ වැටෙයිද දන්නේ නැහැ. ආණ්ඩුවේ ‍කටු ලොවින විපක්ෂය නැතුවට අද සැබෑ ශක්තිමත් විපක්ෂයක් ජනතාවට ලැබිලා ඉවරයි.

ඒකාබද්ධ විපක්ෂය ලංකාව තුළ කරපු මේ පෙරළිය ලෝකයේ ඕනෑම රටක දේශපාලන පක්ෂයකට ආදර්ශයක්. ඒකාබද්ධය එන්න එන්නම ශක්තිමත් වෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුනුත් හීනෙන් දකින්නේ ඒකාබද්ධයේ නායකයෙක් වෙලා ජනතා ආදරයට පාත්‍ර වෙන හැටියි. හැබැයි ඉතින් ආණ්ඩුවේ කටු ලොවින අයට ඒක නම් හීනයක්ම තමයි.

මේ සටනට දායක වන්නට ලැබීමට අපටත් සතුටක්. අනාගතයේ දී අපේ දරුවන් වුණත් සමාජය ඉස්සරහා කොන්ද කෙළින් ති‍යාගෙන කියයි අපේ තාත්තලා තමයි අර පරගැති යහපාලන ආණ්ඩුව පෙරළුවේ කියලා. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඇමැතිකම් දරන අයට නම් ඉදිරියේ දී පාරකටවත් බහින්න පුළුවන් වෙන එකක් නැහැ.

ආණ්ඩුව අද ජාමේ බේරාගන්නේ එදා මහින්ද මහත්තයා මේ රටට දායාද කරපු සම්පත් ටික විකුණලයි. හම්බන්තොට වරාය වික්ක රනිල්-මෛත්‍රී දැන් කැසකවන්නේ මත්තල ගුවන්තොටු පළ විකුණන්නයි. මේ ආණ්ඩුවත් හරියට ගෙදර බඩු ටික විකුණලා කුඩු ගහන කුඩුකාරයෙක් වගේ රටේ සම්පත් ටික විකුණ විකුණ යනවා.

රටේ සම්පත් විකුණලා චන්ද්‍රිකා, රනිල් ඉස්සර ගහපු කප් එක දැන් උස්සලා තියෙන්නේ මෛත්‍රියි. රටේ සම්පත් විකුණන්නේ මම නෙමේ ‍රනිල් කියලා කියන්න විධායක ජනාධිපති හැටියට ඉන්න මෛත්‍රීට පුළුවන්කමක් නැහැ. ජනාධිපතිවරයා මේ සියල්ලට වගකිව යුතුයි. ‘මම දන්නේ නැහැ, මම දැක්කෙත් පත්තරෙන්’ කියන කතා දැන් වලංගු නැහැ.

එක්කෝ ආණ්ඩුව පාලනය කරන බලය තමන් අතට ගන්න ඕනේ. නැත්නම් හැමදාම පත්තර ටික කියවන්න ඕනේ. මත්තල විකුණනකම් පත්තර නොබලා ඉඳලා හරියන්නේ නැහැ. මේ ‍ඔක්කොම බැරි නම් රට කරන්න පුළුවන් කෙනකුට භාර දීලා නම්බු පිටින් ගෙදර යන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *