අද ඇත්තේ ජනතාවගේ බෙල්ලටම බදු ගැසූ ටූත්පේස්ට් ආර්ථිකයක්.. – ගෝඨාගෙන් වත්මන ගැන සරල ආර්ථික විග‍්‍රහයක්

(10.07.2018 – 03:26 +0530 – lankacnews.com)

අද තිබෙන්නේ ජනතාවගේ බෙල්ලටම වෙනකම් බදුවලින් හූරා කෑ ටූත්පේස්ට් ආර්ථිකයක් යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

මාතර ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ‘එළිය’ සමන්ත‍්‍රණයට එක්වෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ කීවේය.

පාර්ලිිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කර තිබූ ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතා වැඩිරටත් අදහස් දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා :

‘‘අද නීතිය හා සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් වැඩි වෙමින් තිබෙනවා. අද රටේ සෑම තැනකම ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්‍ෂ යුගයක් අවශ්‍යයි කියායි. මහින්ද රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදය අවසන් කළා පමණක් නොව ජනතාවාදී සංවර්ධනයක් හදුන්වා දුන්නා. එතුමා ජනතා කේන්ද්‍රීය සංවර්ධන සංකල්පයක් හන්වා දුන්නා. ජනතාවගේ ආකල්ප හදුනා ගෙන නැවතත් අපි ගෙන ආ යුත්තේ මේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මයි. මේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ඉදිරියට ගෙන යා හැක්කේ ජනතාවට සහන සැලසීමෙන් පමණයි.

එදා මහින්ද රජය ජනතාව වෙනුවෙන් මහා ව්‍යාපෘති ආරම්භ කළා. සුළු හා මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන් ඇති කළා. සෑම ප‍්‍රදේශයකම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඇති වුණා. නාගරික සංවර්ධනය කරන අවස්ථාවේදී අපි කළේ ජනතාවාදී නාගරික සංවර්ධනයක්. මංමාවත් සකස් කිරීමේදී, ඇවිදින ස්ථාන සකස් කිරීමේදී, එ් එ් ප‍්‍රදේශන ලස්සන කිරීමේදී මුල් කර ගත්තේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. නාගරික සංවර්ධනයේදී එතුමා විශේෂයෙන්ම කොළඹ පළාතේ අඩු ආදායම් ජනතාවට තට්ටු නිවාස ඇති කළා. එතුමාගේ ඉලක්කය වුණේ තට්ටු නිවාස 50000 ක් ඇති කරන්නයි. නමුත් 2014 වන විට 20000 ක් ඉදිකළා.

ඉදිරියේදි ඇති වන රජයකදී නැවතත් ජනතාවාදී කේන්ද්‍රීය සංවර්ධනයක් ඇති කරනවා. නාගරික හා ග‍්‍රාමීය සංවර්ධනය එක හා සමානව සමතුලිතතාවයකින් ඉදිරියට ගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැක්ම වුණා.

ඉතිහාසය දෙස බැලීමේදී 71 වගේ කැරලි ඇති වුණේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත‍්‍රික්කවල කිසිදු සංවර්ධනයක් ඇති නොවුණු නිසා. ඒ සංවර්ධනය ඇති කිරීමට තමයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සෑමවිටම උත්සාහ ගත්තේ. වරාය, ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති ඇති කළේ මාතර, මොනරාගල, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල ජනතාවට ඇති වන පහසුකම් හිතලා තමයි. එදා මේ හම්බන්තොට වරාය හදන අවස්ථාවේදී අරමුණ වුණේ ඒ වටා ඇති වන වෙළෙඳ කලාපය මගින් ඒ පළාත්වලට හිමිවන රැකියා ඇතුළු අනෙකුත් අවස්ථා කල්පනා කරලයි.

වරාය හා ගුවන්තොටුපළ ව්‍යාපාරික වටිනාකමක් ඇති වැදගත් ව්‍යාපෘති දෙකක්. මේ ව්‍යාපෘති දෙක හරහා ඒ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. අවාසනාවකට එහි වටිනාකම තේරුම් ගන්නේ නැතිව ඒවා විදේශීකයන්ට පවරා දෙන්න කටයුතු කළා. මහින්ද රාජපක්‍ෂ රජයේ සංකල්පය තිබුණේ දේශීය ව්‍යාපාරිකයා ආරක්‍ෂා කරගෙන දේශීය කර්මාන්තකරුවා ආරක්‍ෂා කරගෙන මේ රටේ කර්මාන්ත සැලසුම් සකස් කිරීමටයි. ‘ආර්ථික වර්ධනය සෑම කෙනෙක්ම අතම බෙදීයා යුතුයි’ සංකල්පය තිබුණා. මේ රටේ සංවර්ධනය ඇති වන අවස්ථාවලදී ඒ සංවර්ධනය සෑම පළාතකටම බෙදී යා යුතුයි. අපේ ආර්ථික සැලැස්ම සකස් කරන විට දිළිදු පවුල් ඉහළට ගැනීම වැදගත්. එසේ නැතිව අපි ආර්ථිකය කොතරම් දියුණු කළත් නියම ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට බැහැ. ආර්ථිකය සංවර්ධනය කිරීමේදී අධ්‍යාපනය වැදගත්. දැනුම මුල්කරගත් ආර්ථිකය පදනම් විය යුතුයි.

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *