දේශපාලනය නිසා පොලීසිය අවභාවිතා වෙනවා

(10.07.2018 – 20:59 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන කරුණු වෙනුවෙන් පොලීසිය අවභාවිතවීම නිසා රටතුළ සිදුවෙමින් පවතින අපරාධ මැඩපැවැත්වීම සඳහා පොලිසියට ඉඩක් නොමැති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ මෙන්ම වර්තමානයේ සිදුවන මනුෂ්‍ය ඝාතන සාධාරණිකරනය කිරිමක්ද පොලීසිය විසින් සිදු කරමින් පවතින එ මහතා වැඩි දුටත් පැවසීය.

අද පැවති යුක්තියට ඉඩක් මාධ්‍යහමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වු මහබැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාද අදහස් පළ කළේය.

පසු ගිය ආණ්ඩුවේ නායකයන්ගේ වංචා දුෂණ තිබේන බව පැවසුවද වසර 3ක කාලයක් ගත වුවත් තවමත් එම ප්‍රකාශ ඔප්පුකර ගැනිමට සාක්ෂි නොමැතිව සිටින බව එ් මහතා පැවසීය.

කෙසේ වෙතත් චෝදනා කල පාර්ශවයේම වංචා දුෂණ මේ වන විට හෙළි වි ඇති බවද එ් මහතා වැඩි දුරටත් පැවසිය.

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හමුවේ සන්දර්ශන පවත්වමින් සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ කරනවා නාමල් රාජපක්ෂගෙන් චෝදනා
(11.07.2018 – mawbima.lk)

මිනිස් ඝාතනයක් සිදුවූ විට මියගිය පුද්ගලයා අපරාධ සහ නඩුවලට සම්බන්ධ බව සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය හමුවේ සන්දර්ශන පවත්වමින් සැබෑ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

නඩු විභාගයක් සඳහා ඊයේ (10දා) කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් පළ කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මේ සඳහන කළේය.

“පසුගිය දිනවල කොළඹදී නාගරික මන්ත්‍රිවරයකු මෙන්ම පුද්ගලයන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කෙරුණා. මෙම සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ කියා සිටින්නේ මියගිය පුද්ගලයන්ට අපරාධ නඩු තිබෙන බවයි. ආන්දෝලනයට තුඩුදී ඇති අනුරාධපුර සිද්ධියේදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරමින් මියගිය පුද්ගලයා අපරාධවලට සම්බන්ධ නඩු පවතින අයකු කියායි.

අපරාධයකට සම්බන්ධ වූ පමණින් හෝ නඩුවක් පවතින පුද්ගලයකු ඝාතනය කිරීම යුක්ති සහගත කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දරන උත්සාහය පිළිකුල් සහගත බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නඩුවක් පැවැති පමණින් පුද්ගලයකු වරදකරු නොවන අතර පොලිස්පතිවරයාට පමණක් නොව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාටද අධිකරණ හමුවේ නඩු පවතින බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයිද පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා, සාමාන්‍ය මිනීමැරුම් සිද්ධීන්වලදී මියගිය පුද්ගලයන්ගේ පැටිකිරිය පිළිබඳ මාධ්‍ය ඉදිරියේ කරුණු කියාපාන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 2012 වැලිකඩ බන්ධනාගාරය තුළදී ඇතිවූ ගැටුම්වලින් මියගිය පුද්ගලයන්ට පවතින චෝදනා පිළිබඳ ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන බවද සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++++++

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමස්ත පොලිසිය උපහාසයට ලක් කළා පොලිසියේ රාජකාරිය නඩු විසඳීම නොව සිද්ධියක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමයි – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා
(11.07.2018 – mawbima.lk)

දෙනෝදාහක් බලා සිටියදී මහ දවාලේ ප්‍රධාන මංසන්ධියකදී මැර කල්ලියක් විසින් කරන ලද අනුරාධපුර තිදරු පියකු කඩුවලින් කපා කොටා මරා දැමීමේ සිද්ධිය සාධාරණීකරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය මඟින් නීතිය අතට ගෙන එවැනි අපරාධ කිරීම සඳහා පාතාලය ඇතුළු මැර කල්ලිවලට අනියමින් අවසර දීමක් හා ඔවුන් දිරි ගැන්වීමක් කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ඊයේ (10දා) මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

මෙවැනි අමනෝඥ ප්‍රකාශයක් රටේ සාමය ආරක්ෂා කිරීම සඳහාම පිහිටුවා ඇති පොලිසිය විසින්ම සිය මාධ්‍ය ප්‍රකාශකයා මඟින් ඉටු කිරීම ඉතාමත්ම ඛේදජනක මෙන්ම අත්‍යන්තයෙන්ම රටේ සාමය නැති කරමින් නීතිය අතට ගෙන ක්‍රියාකිරීම මේ වන විටත් ආරම්භ කොට සිටින පාතාල මැර කණ්ඩායම් ඇතුළු අපරාධ කල්ලිවලට ආයුධ සැපයීමකටත් වඩා බරපතළ බවද ඔහු කියා සිටියේය.

යම් අපරාධයක් පිළිබඳ වාර්තා වූ විට වහාම ඊට වගකිවයුතු අපරාධකරුවන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීම පොලිසියේ පරම වගකීමක් බවත් ඒ වගකීම ඉටු කිරීම පසෙක තබා අපරාධයට ලක්වූ තැනැත්තා හිංසකයෙක්ද නැද්ද යන කරුණු සොයමින් ඔහුගේ හෝ ඇයගේ (වින්දිතයාගේ) පැටිකිරිය හොඳ නැති කෙනෙක් ආදී වශයෙන් පැවැසීම තුච්ඡ ක්‍රියාවක් බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ ආකාරයෙන් පොලිසිය ක්‍රියා කරතොත් රටේ අපරාධ රැල්ල තව තවත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් සාමය නැත්තටම නැතිවීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇති බවද පොලිසියේ හා පොලිසිය භාර ඉහළ තනතුරු දරන්නන් මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකොට දැඩි පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කීය.

මියගොස් ඇති තැනැත්තා විසින් කරන ලද අපරාධ පිළිබඳව වීඩියෝ දර්ශන තමා සතුව ඇති බවත් අවශ්‍ය නම් ඒවා මාධ්‍යයට මුදාහැරීමට සූදානම් බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ලද තර්ජනය මෙම අපරාධ සිද්ධියේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ට එරෙහි සාක්ෂි අධෛර්යවත් කිරීමටත් ගන්නා ලද නිර්ලජ්ජිත හා නින්දිත ප්‍රකාශයක් බවද ඔහු කියා සිටියේය.

පොලිසියේ රාජකාරිය නඩු විසඳීම නොව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීම බවත් නඩු විසඳීම අධිකරණයේ කාර්යභාරයක් බවත් මාධ්‍ය ප්‍රකාශකයාට අමතක වී ඇති බවද ඔහුගේ හැසිරීමෙන් සමස්ත පොලිසියම අද හෑල්ලුවටත් උපහාසයටත් ලක්වී ඇති බවද නීතිඥ සංගම් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ සංගම් මූලස්ථානයේදීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *