සාදු බල්ලෙක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි

(10.07.2018 – 14:49 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ ලැග සිටි සාදු බල්ලෙකු විසින් ගෙළ සිරකර ඝාතනයවී තිබෙනවා.

වරෙන්තු ලබා සිටින අදාළ සාදු බල්ලා පොළිස් නිලධාරියාගේ ගෙළ සිරකිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පොළිස් නිලධාරියා මියගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේ විහාරස්ථානයට රත්නපුර පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර සාදු බල්ලා අත්බෝම්බයක් රැගෙන පැමිණීම නිසා සාදු බල්ලාගේ අතකට පහරදී අත්බෝම්බය පොලිස් භාරයට ගෙන සාදු බල්ලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

++++++++++++++++++++++++++++++++++

ධර්මය අධර්මය කරපු චණ්ඩි ධම්මසාරගෙන් මියපරලොව ගිය සැරයන් සමරවික්‍රමගේ අවසන් සිතාසිය
(15.07.2018 – mawbima.lk)

පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගය පරිදි සැරයන් ජයමාන්න මොහොට්ටාලලාගේ ජයන්ත චන්ද්‍රලාල් සමරවික්‍රම (44101) නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්ව ඉකුත් 12 වැනිදා මැදියම් රැයට ආසන්න වෙමින් පවතිද්දී එයට අදාළ තරු පටි පැලැන්දේය.

සමරවික්‍රම රාලහාමිගේ නිල ඇඳුම පුරාම නොයෙක් වර්ගයේ නොයෙක් මාදිලියේ බොත්තම් පදක්කම් එල්ලී තිබිණි. ඒ ඔහු තිස් වසරකට ආසන්න වූ පොලිස් සේවය තුළ දැක්වූ විවිධ දස්කම් විස්කම් නිසා දිනාගත් ඒවාය. ඒ පදක්කම් පලඳවන විට සමරවික්‍රම රාලහාමිට අභිමානයෙන් යුතු සතුටක් සමඟ තේජාන්විතව ප්‍රතිචාර දැක්වෙන්නට ඇත.

එහෙත් එදා සැරයන් පදවියෙන් උප පොලිස් පරීක්ෂක පදවියට උසස්ව එයට අදාළ තරු පටි පලඳවද්දී සමරවික්‍රම රාලහාමි එයට කිසිදු ප්‍රතිචාරයක් හෝ ආචාරයක් දැක්වූයේ නැත. පසුබිමින් අත්පොළොසන් හෝ සතුටු සිනා නැඟුණේ නැත. සමරවික්‍රම රාලහාමි නිසලව සැතපුණු ගමන්ය. වෙනදා පදක්කම් ගනිද්දී සතුටු සිනා, සතුටු කඳුළු හෙළන ඔහුගේ ආදරණීය බිරිය හා දරුවන්, ඥාතීන් හදවත දැවෙන වේදනාවෙන් හඬා වැටුණේය.

අනේ මගේ රත්තරන් මහත්තයාට ඕන වුණේ තරු පටි තානාන්තර නෙවෙයි. තව අවුරුද්දකින් වයස පනස් පහ පිරුණම පැන්ෂන් එක අරගෙන නිදහසේ ගෙදරට වෙලා ඉන්න. ඒත් දෙයියනේ ඇයි අපිට මෙහෙම වුණේ. ඇය සමරවික්‍රම රාලහාමිට තරු පටි පලඳද්දී හඬා වැටුණේ එලෙසටය.

සැරයන් සමරවික්‍රම රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සිටි නිලධාරියෙකි. පල්ලේබැද්ද බඹරගස්තැන්නේ ජීවත්වුණු ඔහු වයස පනස් හතර එනම් විශ්‍රාම යෑමට තවත් වසරක් තිබුණ රාජකාරි දිවියේද තිස් වසරකට එකක් අඩුව තිබුණු අයෙකි. ඔහුගේ අරමුණ වූයේ කෙතරම් දුෂ්කරතා මැද හෝ රාජකාරිය කර තවත් අවුරුද්දකින් විශ්‍රාම ලබා සේවයට සමුදීමටය.

එහෙත් ඔහුට නොසිතූ ලෙස සේවයට මෙන්ම දිවියටද සමුදෙන්නට සිදුවිණි. ඔහු සමුදුන්නා නොව ඔහුගේ ජීවිතය උදුරාගත්තේය.

ඉකුත් 10 වැනිදා උදේ සුපුරුදු ලෙස රාජකාරියට ගිය සැරයන් සමරවික්‍රම එදා මැදියම් රැය ළඟාවෙද්දී පල්ලේබැද්ද බඹරගස්තැන්න නිවෙසට ආවේ සහෝදර නිලධාරීන්ගේ කරපිටින් පෙට්ටියක සැතපවූ නිසල දේහයක් ලෙසටය.

මුළු රටම ත්‍රාසයට පත්කරමින් මැර ‘භික්ෂු වේශධාරියකුගේ’ ප්‍රහාරයකින් ඉකුත් 10දා දහවල් රත්නපුර කොස්පැලවින්නේ පන්සල්ගෙයකදී ජීවිතයට සමුදුන් පොලිස් සැරයන්වරයා වූයේ සමරවික්‍රමය. රාජකාරියේ සිටිමින්ම රාජකාරියේ වගකීම නිසාම සිදුවූ මරණයක් නිසා ඔහුව සැරයන් තනතුරින් උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කළේය. ඒ අනුවය එදා මැදියම් රැයේදී සමරවික්‍රම රාලහාමිගේ නිසල දේහයට උප පොලිස් පරීක්ෂකවරයකුගේ තනතුරට අදාළ තරු පටි පැලඳවූයේ.

ඒ තරු පටි පැලඳ තවත් පැය විසිහතරක් ගෙවෙන්නට පළමු ඒවා ගලවාගෙන 12 වැනිදා මළහිරු බහිනා හෝරාව ළංවෙන්ටත් කලින් උප පොලිස් පරීක්ෂක සමරවික්‍රම නිලධාරියාගේ නිසල දේහය බඹරගස්තැන්න පොදු සුසාන භූමියේ මිහිදන් වූයේද පොලිස් ගරු සරු ඇතිවය.

සැරයන් සමරවික්‍රමගේ දේහයට උප පොලිස් පරීක්ෂක තනතුරට අදාළ ඇඳුම අන්දවන ඒ මැදියම් රැයේදී මෙන්ම, ඔහුට මරු කැඳවූ මැර ශ්‍රමණධාරියාගේ ප්‍රහාරය එල්ලවූ බව ඇසූ සැණින්මත් එම විහාරස්ථානයට යෑමටද මට අවස්ථාව ලැබිණි.

එය සිදුවූයේ ජූලි 10 වැනිදා මධ්‍යහ්නයට ආසන්න වෙමින් තිබියදීය. රත්නපුර කොස්පැලවින්න ගල්ඇන්ද ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධ විහාරය නම් වූ පන්සලක සිටි කෝන්වලානේ ධම්මසාර නම්වූ චීවරධාරියාය, ඔහුගේ මාරයා වූයේ.

ආරංචිය ලද සැණින්ම මම රත්නපුර පොලිසියටත් සිද්ධිය වූ කොස්පැලවින්න සම්බුද්ධ විහාරයටත් ගියෙමි. රත්නපුර නගරයට ඉතා ආසන්නවුවත් ඉතා දුෂ්කර පර්වතපෙළක් මුදුනේ පිහිටි ශ්‍රී සම්බුද්ධ විහාරය පන්සලක්ද බලකොටුවක්ද යන්න තෝරා බේරා ගන්නට මට තරමක් අපහසු වූයේ පන්සල්ගෙය ඉදිරියේ තැන තැන තිබූ දෙය දැකීමකිනි.

කොනක තිබුණු බංකුවක සිවුරු කැබැල්ලක් එල්ලෙමින් තිබුණු අතර එය ආසන්නව පොලිස් නිලධාරියකුගේ තොප්පියක් වැටී තිබිණි. විසිරුණු ලිපි කට්ටලයක්, දිග පොල්ලක්, මන්නා පිහියක් පමණක් නොව ඒ අසලම වැටී තිබුණු අත්බෝම්බයක්ද දැකීමෙන් මම පුදුමයටත් භීතියටත් පත්වුණෙමි.

වඩාත් පුදුමය වූයේ ඒ තුළ බුදු පිළිමයක් හෝ ධාතු කරඬුවක් මල් අසුනක් හෝ පන්සලක ලකුණු පෙන්වන වෙනත් යමක් නොදුටු නිසාය. ‍ෙදාළොස් මහේ පහන වෙනුවට පන්සල්ගෙයි කොනකට ළිපක් බැඳ ගිනි මොළවා තිබුණු අයුරුද දුටුවෙමි.

ළඟ ගෙදරකින් ආපු ටෙලිෆෝන් කෝල් එකකට තමා අපි මෙතැනට ආවේ. ඒ එනකොටත් කළු කොට කලිසමක් ඇඳපු හැඩිදැඩි මිනිහෙක් සාජන් මහත්තයාව යටකරගෙන. අපි ඔහුව දැකපු ගමන් පන්සල් ගේ ඇතුළට රිංගගත්තා.

ඒ වෙද්දිත් සාජන් මහත්තයාට සිහිය නැහැ. කටින් සෙමදානවා. අපි මේ ගැන හෙව්වේ නැහැ සාජන් මහත්තයාව උස්සගෙන පහළට ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චා.

කිට්ටුවම පදිංචි රත්නපුර පොලිසියේ සිල්වා මහත්තයා තමා එහෙම කිව්වේ.

වැඩි වෙලා නොයද්දීම එච්. කිව්. අයි. මහත්තයත් ආවා. එයා ඇවිත් තමා පන්සල් ගෙයි හිටපු අර කළු තඩියව එළියට ගත්තේ. ඌ එළියට ආවේ අත්බෝම්බයකුත් අමෝරාගෙන. මහත්තය අතේ තිබුණු පොල්ලෙන් ගැහුවම බෝම්බය විසිවුණා.

බැලුවම ඒ කළු කොට කලිසම ඇඳලා හිටියෙ පන්සලේ හාමුදුරුවෝ. එයා පාරට බහින්න විතරලු සිවුර අඳින්නෙ. අනිත් වෙලාවට කොට කලිසම ඇඳගෙනලු ඉන්නෙ.

ඉතින් ගමේ මිනිස්සු පන්සලට එන්නෙ නැද්ද? වඳින්නෙ පුදන්නෙ නැද්ද? දානෙ දෙන්නෙ කවුද මම සිල්වා මහත්තයාගෙන් ඇහුවෙ එයත් පන්සල කිට්ටුවම පදිංචිකාරයෙක් හින්දා.

‘ගමේ කවුරුවත් පන්සලට එන්නෙ යන්නෙ නැහැ. මුළු ගමම හාමුදුරුවෝ තරහ කරගෙන හිටියේ. එයා උයාගෙන කනවා. ගමෙන් පිට පිණ්ඩපාතෙ යනවා. ළඟපාත පන්සලකටවත් යන්නෙ නැහැ. අබිරහස් ජීවිතයක් තමයි ගෙවල තියෙන්නෙ.’

මාසෙකට දෙතුන් විටක් එක්කෝ හාමුදුරුවො පොලිසියට එනවා. එක්කො ගම්මු කවුරුහරි එනවා. එකිනෙකාට විරුද්ධව පැමිණිලි අරගෙන.

හාමුදුරුවන්ට විරුද්ධව පැමිණිලි ගණනාවක්, නඩු ගණනාවක් තිබුණා. නඩුවලට එන්නෙ නැතිව වරෙන්තු වෙලා ඒ වරෙන්තුවක් අරගෙන තමා සාජන් මහත්තයා පන්සලට ආවෙ.

පන්සල්වත්තට මායිමේම තියෙන ගල් ඇන්දෙ පදිංචි තවත් කෙනෙක් කිව්වෙ අද උදේ 11.00 ට විතර ඇති රාලහාමි කෙනෙක් තනිවම පන්සලට ආව බොහොම මහන්සියෙන් වගේ. පඩිපෙළ ගොඩවෙන ගමන් මගෙන් ඇහුව හාමුදුරුවො පන්සලේ ඉන්නවාද කියලා.

මම ගෙදරට යන පාර සුද්ද කර කර හිටියෙ. මම කිව්ව උදේ නම් හිටිය දැක්කා කොහේවත් යනවා දැක්කෙ නැහැ. සමහරවිට ඇති කියල මම පාර සුද්ද කර කර පහළට ගියා.

ඔන්න ටික වේලාවකින් ගෙදර හිටපු දුව කෑගහගෙන දිව්ව තාත්තෙ තාත්තෙ පන්සල ඇතුළෙ රණ්ඩුවක් කවුද මරහඬ දෙනවා කියලා. එතකොට මටත් සද්දෙ ඇහුණා. ඒත් පන්සල පැත්තට ගියේ නැහැ. මොකද හාමුදුරුවො අපිත් එක්ක තරහයි. පහුගිය දවසක අපේ දුව එළියෙ නාද්දි හාමුදුරුවො ගල උඩ ඉඳං බලා ඉඳල වීඩියොත් කරල තියෙනවා. අපි ඒකට පොලිසිත් ගියා.

අපේ ගේ ළඟ උඩ ගලට නැග්ගම පන්සල පේනවා. එතකොටයි දැක්කෙ හාමුදුරුවො අර ආපු රාලහාමිව බිම දමල පෙරළගෙන ගහනවා. පිහියකුත් අතේ තිබුණා. අපි දෙන්නම බයේ පහළට දිව්ව කෑ ගහගෙන.

දුව එයාගේ මහත්තයට අපේ බෑනට කෝල් එකක් දුන්නා. එයා තමා පොලිසියට කෝල් කරලා කියලා තියෙන්නේ.

ඒත් පොලිසිය එනකොට වෙන්න ඕන දෙය වෙලා හමාරයි. මම හිතන්නෙ උස්සාගෙන යද්දිත් බෙල්ල කඩාවැටිලයි තිබුණෙ.

පොලිසිය ඇවිත් සාජන් සමරවික්‍රම රත්නපුර රෝහලට අරගෙන ගියා. වෛද්‍යවරු සමරවික්‍රමගෙ පණගන්න පැයකට වැඩිය මහන්සි ගත්තා. ඒත් එයාගෙ ගිය පණ මේ වතාවෙ නම් ආපහු ගන්න බැරිවුණා.

මම මේ වතාවේ නම් කියල කිව්වෙ සමරවික්‍රමගෙ පොලිස් ජීවිතයෙ තවත් මේ වගේ ත්‍රාසජනක කතාවක් අහපු නිසයි. සැරයන් සමරවික්‍රමගෙ ඒ කතාව මට කිව්වෙ රත්නපුර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ පොලිස් සැරයන් ගාමිණී.

සමරෙ ගිය මාර්තුවල තමා ආයෙ රත්නපුරේට ආවේ. කිලිනොච්චියෙ ඉඳලයි ආවෙ. එහෙදි දවසක් 119 රාජකාරියෙ ඉන්නැද්දි ‍දෙගොල්ලක් රණ්ඩු වෙනවා කියලා පණිවුඩයකට ගිහින්. එතැන හිටපු කෙනෙක් බෝතලයක් කඩල අරගෙන සමරෙට ඇනලා. හොඳටම අමාරු වුණා. සනීප වුණහම තමා ආයෙ රත්නපුරේට ආවෙ. කිලිනොච්චියට යන්න කලින් හිටියෙ රත්නපුරේ ක්‍රයිම් එකේ. එයා ඒ කාලෙත් සිතාසි වරෙන්තු ක්‍රියාත්මක කරපු නිලධාරියා. ඒ රාජකාරිය හරියටම කෙරුවා. මොනම චෝදනාවක්වත් නැතිව කෙළින් රාජකාරියා කළා. ආපහු ආපු දවසෙ ඉඳලම කිව්වෙ මට සනීප මදි වැඩ කරන්න අමාරුයි. ඒත් පැන්ෂන් යන්න තව අවුරුද්දක් තියෙනව එතකොට පුල් පැන්ෂන් එක හදාගෙන ගෙදර යනවා. සර්විස් එකත් අවුරුදු 30 යි කියලා.

දෛවය ඔහුට එයට ඉඩ තැබුවේ නැත. ඒ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ඔහුව මරු තුරුලට තල්ලු කළේය.

දැන් සියල්ල සිදුවී හමාරය. එකුන් තිස් වසරකට පෙර රිසව් පොලිස්නිලධාරියකු ලෙස පොලිස් සේවයට එක්වුණු සමරවික්‍රම පනස් හතරවැනි වියට එළැඹෙද්දී ජීවිතයෙන් සමුගත්තේය.

ඇත්තෙන්ම සමුගත්තා නොව ඔහුගේ ජීවිතය උදුරාගත්තේය. ඒ උදුරාගත්තේද අසාමාන්‍ය පුද්ගලයෙකි. අසාමාන්‍ය අයුරකිනි.

අවශ්‍යව ඇත්තේ යළිත් එවැන්නක් සිදු නොවන තැනට වගබලා ගැනීමය. ඒ වෙනුවෙන් වගකිවයුත්තෝ මෙන්ම වගවිය යුත්තෝද එක තරමටම වගකිවයුතු බව අපට හැඟෙන්නේ මෙම සිද්ධිය දැනගත් මොහොතේ සිටම තොරතුරු ඇසින් දැක කනින් අසා ගවේෂණාත්මකව යමක් ලිවීමට මා ගත් මහන්සියත් සමඟය.

සමරවික්‍රම සාජන් මහත්තයා හදිසියේ මියගියේ නැත. ඔහුගේ මරණය මිනීමැරුමක් බවට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත. මිනීමරුවා ලෙස චූදිත වූයේ කෝන්වලානේ ධම්මසාර නමින් පෙනී සිටි චීවරධාරියෙකි.

ඔහුට හරි හමන් ගුරුවරයකු නැත. වයස අවුරුදු 35 ක් පමණ වුවත් අධිශීලයෙහි පිහිටු වූ බවක් නැත. කලකට ඉහතදී සියම් නිකායේ උපසම්පදා උත්සවයකට බලහත්කාරයෙන් කඩාවැදුණු බවට කතාවක් මට කිව්වේ ප්‍රදේශයේ වගකිව යුත්තෙකි.

ගමින් ගමට තැනින් තැන පන්සල් හදා හදා යන හිමිනමක් මෙම ගල්ඇන්ද පන්සලද සාදා ආගන්තුක හිමිවරුන් නතර කිරීම පුරුද්දක් කොටගෙන ඇත. ධම්මසාර හිමිද මෙලෙස ආගන්තුකව ගල්ඇන්ද පන්සලට ඇවිත් නතරවූ අයෙකි.

කෝන්වලානේ ධම්මසාර හිමි මහණවන්නට පෙර ඔහු රංජිත් ගුරුසිංහය. ගම තිස්සමහාරාමයට ආසන්න කෝන්වැලෑනය. ගමේ පාසලේ 10 වසරට යනතුරු ඉගෙනගත් ඔහුගේ පැවිදි ගුරුවරයකු ගැන අහන්නට නැත.

ඩබ්ලිව්. ලීලාවතී නමැති කාන්තාවක් ඔහුගේ මව ලෙස පෙනී සිටිමින් අධිකරණයේ පවතින නඩුවකට ඇපකරුවකු ලෙස ඉදිරිපත්ව ඇති බව පොලිසිය පවසයි.

2010 වර්ෂයේදී අධිකරණයේ නියෝග මත මොහුව මානසික වෛද්‍ය විශේෂඥයකු වෙත යොමුකර ඇති අතර වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ ඔහුගේ මානසික තත්ත්වය යහපත් බවය.

මහෙස්ත්‍රාත් නියෝගයට අනුව සැකකරු මේ වනවිටත් රත්නපුර මහරෝහලේ 7ඕ වාට්ටුවේ සිටියත් වෛද්‍යවරුන්ට පරීක්ෂාවට ඉඩ නොදෙයි. කිසිදු බෙහෙතක් නොගන්නා බවද පොලිසිය කියයි. මෙතෙක් අධිකරණ වෛද්‍යවරයාට හෝ ප්‍රකාශයක් ලබාදී නැත.

තමාට ප්‍රතිකාර ලබන්නට නම් දකුණට හෝ නැඟෙනහිරට යායුතු බවයි ඔහු කියන්නේ.

රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂ් නින්දවත්ත මහතා සැකකරු පරීක්ෂාව සඳහා රත්නපුර රෝහලට ගිය අවස්ථාවේදී පවසා ඇත්තේ පොලිසිය පොල්ලකින් ගසා තමාගේ අත කැඩූ බවය.

වසර දෙකක පමණ කාලයක් ගම්මුන් සමඟ හොඳින් ඉඳිමින් ආගමික වතාවත් කරගෙන ගියත් වැඩිකල් නොයාම දායකයන්ගේ හිත පලුදු කරගත්තේ ඔහුගේ යම් යම් හිතුවක්කාරකම් නිසාය.

අන්තිමට දායකයෝ පන්සලට දන්දීමද නතර කළහ. ගමේ ගෙවල්වලට පිණ්ඩපාතයටවත් නොගියත් පිටගම්වලට පිණ්ඩපාතයට මෙන්ම සම්මාදමටම ගියේය. ගම්මුන් සමඟ විවිධ කරුණු අරභයා ගැටුම් ඇතිකරගෙන පොලිසි ගියේය. නඩුහබවලට පැටලුණේය. අන්තිමට උසාවියෙන් වරෙන්තු වුණේය.

වරෙන්තුව ක්‍රියාත්මක කරන්නට සැරයන් සමරවික්‍රම තනියෙන්ම පොලිස් ස්ථානයෙන් පිටව ගියේ අනාරක්ෂිතවය. ඔහුගේ පසුපසින් ගොස් තිබුණේ මාරයාගේ හෙවණැල්ල පමණකි.

එය එසේ වූයේ ඇයි? උසාවිය මඟහරින වරෙන්තුකරු සිවුරු දැරුවත් සිල්වතකු විය හැකිද? අනාරක්ෂිතව වරෙන්තුකරු අල්ලන්නට සැරයන් සමරවික්‍රම ගල්ඇන්දට ගියේ කාගේ නියෝගයකටද නැත්නම් හිතුවක්කාරකමටද ඝාතනය වූ සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරකට උසස් කිරීමෙන් එයට විසඳුම් ලැබෙයිද?

බැහැර යන නිලධාරීන් තනිව නොයවන්නටත් එක් නිලධාරියකු අත අවියක් දැරීමටත් පොලිස්පති නියෝගයක් දුන් වගක් මගේ මතකයේ ඇත. එලෙස නියෝගයක් තිබුණා නම් එවැන්නක් ක්‍රියාත්මක වූවා නම් මෙවැනි විපතක් නොවන්නට ඉඩ තිබිණි.

එසේම පන්සල් ගෙය තුළ තිබුණු කඩු, කිණිසි, අත්බෝම්බ ආයාසයකින් තොරවම පොලිසියට සොයාගන්නට ලැබීමද වාසනාවකි.

එසේ නොවන්නට හැංගූ ආයුධ හොයන්නට ගිය පොලිස් රාලහාමි කෙනකුට ධම්මසාරගේ අත එසවෙනු නියතවේ. දැනටමත් ඒ අතට පොලු පහරක් පමණක් එල්ලව ඇත. පොලිසිය මහා පව් කන්දකින් නිදහස් කරදීමට රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගත් වෑයම ප්‍රශංසාවට ලක්විය යුතු කරුණකි.

මීළඟට ඇඟිල්ල දික්වන්නේ අපේ නායක හිමිවරුන් දෙසටය. ගල්ඇන්ද පන්සලේ හාමුදුරුවරු සමඟ ගම්මුන් ගැටුම් ඇතිකර ගත්තේ අද ඊයේ සිටය. සමහරු පන්සල හැරගියේ රණ්ඩු සරුවල් කරගෙනය. ධම්මසාර හිමි පන්සලට විත් වසර කීපයකින්ම රණ්ඩු සරුවල් නම් අඩු නැතිව කෙරී ඇත.

ගල්ඇන්ද ජල ව්‍යාපෘතිය කරන ගාමිණී ලිපි ගොනුවක් අත ඇතිව අපට කතාව කිව්වේ මෙහෙමය. මේ බලන්න මේ හාමුදුරුවෝ කරන අවක්‍රියා. නීති විරෝධී හිතුවක්කාර සසුනට නොගැළපෙන වැඩ ගැන මම අවට පන්සල්වල හාමුදුරුවන්ට පැමිණිලි කළා. ගිහින් කිව්වා. ඒ හැමෝම ඒවා ගනන් ගත්තේ නැහැ. පොලිසියට කිව්වා, පොලිසියත් අපටම ‍ෙදාස් කිව්වා.

අන්තිමේදී ජනාධිපතිට, අගමැතිට, පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට පැමිණිලි කළා. මේ බලන්න දින. 2012 අවුරුද්ද, අවුරුදු හයකට වැඩියි.

ඒවා බුද්ධශාසන අමත්‍යාංශයට යොමුකරහම ගම්මුන්ට හාමුදුරුවන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියනවා.

මහත්තායෝ ගමට පන්සල හදාගත්තේ හාමුදුරුවන්ට ඉන්න නෙවෙයි. ගමේ මිනිසුන්ට වඳින්න පුදන්න.

ඕවට අපේ හාමුදුරුවරු නායක හාමුදුරුවරු වගකියන්න ඕන. කවුරුහරි වගකිවයුත්තෙක් හිටියනම් මේ රාලහාමි මේවගේ අවාසනාවන්ත විදියට මැරෙන්නෙ නැහැ.

ගමේ අය සිද්ධිය දැකලත් පන්සලට ගියේ නැහැ. පන්සලේ ආයුධ තියෙන බව, ඇසිඩ් තියෙන බව ගම්මු දන්නවා. රණ්ඩු වුණහම හාමුදුරුවො ඒව කියල තර්ජනය කරනවා. අපි ඕව පොලිසියට කියල තියෙන්නෙ.

පොලිසියත් මේවට වගකියන්න ඕන. ඔහු අවසන් වරට කීවේ තරමක අසතුටකිනි.

කෙසේ වෙතත් මියගිය සැරයන් සමරවික්‍රමට අවසන් ගෞරව දැක්වීමට ගල්තැන්න ගමට එක්රොක්ව සිටි අයුරු පල්ලබැද්ද බඹරගස්තැන්න නිවෙසේදී මම දුටුවෙමි.

ගමින් ගමම පන්සල් හදනවාට වඩා දැනට සිටින භික්ෂුන් වහන්සේවත් ක්‍රමවත්ව බුද්ධපුත්‍රයන් ලෙස හැඩගැස්වීම වගකිවයුත්තන්ගේ යුතුකමක් ලෙස අපි දකිමු.

විස්තර හා ඡායාරූප: ධර්මප්‍රිය ලියනආරච්චි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *