බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැතිට එරෙහිව අල්ලස්‌ පැමිණිල්ලක්‌

(11.07.2018 – divaina.com)

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශ හිතෛෂී වෘත්තිකයෝ සංවිධානය විසින් ඊයේ (10 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වමින් ඊට අදාළ කරුණු රැසක්‌ ගොනු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදුවූ පාඩුව වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීම සහ විශේෂයෙන් 2016 මාර්තු 29 සහ 30 දිනවල සිදුකළ දෙවන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් අල්ලස්‌ පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය පිළිබඳ වරදට අධි චෝදනා ඉදිරිපත් කළ හැකි බවද දක්‌වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

“දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ටී.එම්.එන්.ඒ. තෙන්නකෝන් සහ නීතිඥ රාජා ගුණරත්න යන මහත්වරුන් විසින් ඊයේ පෙරවරු 10.30 ට පමණ අල්ලස්‌ කොමිසම වෙත පැමිණ මේ පැමිණිල්ල භාරදෙන ලදී.

අල්ලස්‌ කොමිසමට ඊයේ ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ල මගින් බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වන ප්‍රධාන කරුණු හතක්‌ විස්‌තරාත්මකව කරුණු සහිතව දක්‌වා ඇති අතර එමගින් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු මහ බැංකු අධිපති) ආරක්‌ෂා කිරීමට සහ මෙම ප්‍රශ්නය යටපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් දැරූ අඛණ්‌ඩ ප්‍රයත්නය ද කරුණු අටක්‌ යටතේ දක්‌වා ඇත.

මේ වංචාව මගින් මහජන අරමුදල්වලට සිදුවූ අතිවිශාල පාඩුව වළක්‌වා ගැනීමට සුදුසු පියවර ගැනීමට අගමැතිවරයා කිසිදු කැමැත්තක්‌ දක්‌වා නැති බවද, 2016 මාර්තු 29 දින පවත්වන ලද දෙවැනි බැඳුම්කර ගනුදෙනුව ඉතා පහසුවෙන් වැළැක්‌වීමේ හැකියාව අග්‍රාමාත්‍යවරයාට තිබුණු බවද “දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්‌වේ.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී. බී. වීරසූරිය මහතා වෙත මේ ලිත පැමිණිල්ල යොමුකර තිබේ.

– ශ්‍යාම් නුවන් ගනේවත්ත

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *