ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු සලන විජයකලා

(11.07.2018 – divaina.com)

එජාප යාපනය දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය 2009 මැයි පරාජය වීම පිළිබඳව කනගාටු වූවාය. ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඇය 2016 දෙසැම්බර් 28 දින ත්‍රස්‌තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක්‌ කළාය. වැල්වැටිතුරේ උපන් ප්‍රභාකරන්හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ අගමැතිවරයා ලෙස පත්වීමට සුදුසුකමක්‌ තිබූ බව ඇය පැවැසුවාය.

කිළිනොච්චි දිස්‌ත්‍රික්‌ක පරිපාලන මූලස්‌ථානයේ පැවැති ගින්නෙන් හානියට පත්වූ දේපළ අයිති හිමිකරුවන්ට වන්දි ගෙවීමේ උත්සවයකදී විජයකලා ප්‍රභාකරන්ට තම පක්‍ෂපාතීත්වය පළ කළාය. උතුරු පළාතේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ හින්දු කටයුතු ඇමැති පත්කළ මන්ත්‍රී ඩී.එම්. ස්‌වාමිනාදන් විජයකලා එම ප්‍රකාශය කරන අවස්‌ථාවේ එහි සිටිය බව රහසක්‌ නොවේ.

ද්‍රවිඩ ජාතික සංධානය සමඟ දේශපාලන කරුණු කාරණාවලදී ඉතා සමීපව කටයුතු කරන සිරිසේන – වික්‍රමසිංහ රජයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවා ප්‍රභාකරන් සමඟ සැසඳීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළාය. ප්‍රබල පෞරුෂයක්‌ හිමි, ප්‍රභාකරන් ඇය දන්නා නිර්භීතම මිනිසා බව ප්‍රකාශ කළ විජයකලා එතුමා මන්ත්‍රීවරයකු හෝ අගමැතිවරයා ලෙස පත්නොවීම ද්‍රවිඩ ජනතාව මුහුණදුන් මහත් ඛේදවාචකයක්‌ ලෙස හඳුන්වා දුන්නාය.

විජයකලාගේ කිළිනොච්චි ප්‍රකාශය සම්බන්ධයෙන් එජාපය ඇයට බලපෑමක්‌ කළේ නැත. කිළිනොච්චි ප්‍රකාශය සම්බන්ධයෙන් එජාපය අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය විජයකලා ශක්‌තිමත් කළ බව පැහැදිලිය.

පසුගිය සතියේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී විජයකලා නැවත කොටි සංවිධානය ඇති කළ යුතු බව පැවැසීය. කොටි සංවිධානය යටතේ පාලනය වන උතුරු පළාතේ ජීවත්වීමට ඇයට ඇති ආශාව විජයකලා ආවේගශීලීව පැවැසුවාය. කිළිනොච්චි කතාව පිළිබඳව ජනමාධ්‍ය වාර්තා මත ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ සහ පිටත මහත් කලබගෑනියක්‌ කළ අතර එජාපය සහ කථානායක කරු ජයසූරිය පූර්ණ පරීක්‍ෂණයක්‌ කිරීමට පොරොන්දු විය.

විජයකලා කිළිනොච්චි ප්‍රකාශය කරන අවස්‌ථාවේ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, යාපන දිස්‌ත්‍රික්‌ක ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ද එම සංධානයේම ප්‍රබලයකු වන යාපන දිස්‌ත්‍රික්‌ක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ද එම ශාලාවේ අසුන්ගෙන සිටියේය.

කොටි සංවිධානයේ අවශ්‍යතාවය පිළිබඳව විජයකලා කළ ප්‍රකාශයට විරුද්ධ වීමට එම අවස්‌ථාවේ සිටි කිසිදු දේශපාලන නායකයකුට නොහැකිය. ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය බව 2001 ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ ද්‍රවිඩ ජාතික සංධානයට විජයකලා කළ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. ප්‍රභාකරන් 2009 මැයි 19 දින පෙරවරුවේ මරු තුරුලට පත්වන තුරුම ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත්තේය. ප්‍රභාකරන්ගේ අතකොලුව ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ ජාතික සංධානයට 2015 දී පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පිරිනැමූ එජාප – ශ්‍රීලනිප පාලනය විජයකලා වැනි කපටි මහජන නියෝජිතයන් හට උඩගෙඩි දෙන බව පැහැදිලිය.

විජයකලා එජාපයට

විජයකලා පළමු වරට පාර්ලිමේන්තුවට යාපන දිස්‌ත්‍රික්‌කයෙන් පත්වන්නේ 2010 අප්‍රේල් මහ මැතිවරණයේදීය. එවකට 38 වියේ පසුවූ විජයකලා කොටි සංවිධානයේ සිටි පිරිස්‌ සහ එම සංවිධානයට සහයෝගය පළකළ ද්‍රවිඩ කොටස්‌ දිනා ගැනීමට කටයුතු කළාය. 2015 අගෝස්‌තු මස මැතිවරණයේදී ඇය නැවත පාර්ලිමේන්තුවට එම දිස්‌ත්‍රික්‌කයෙන්ම පත්විය. යහපාලන රජය විජයකලා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස පත් කළේය. පාසල් ශිෂ්‍යයන් දහස්‌ ගණනක්‌ ළමා ත්‍රස්‌තවාදීන් ලෙස යොදාගත් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් අගමැති ලෙස පිළිගන්නා විජයකලා වීරසිංහම් ශාලාවේ කළ ප්‍රකාශය පිළිබඳව පුදුම විය යුතු නැත. කොටි සංවිධානය තම සැමියා ත්‍යාගරාජා මහේශ්වරන් 2008 ජනවාරි 01 දින කොටහේනේ කෝවිලකදී මරා දැමීම විජයකලා අමතක කර දමා ඇත. ත්‍යාගරාජා මරා දැමීම සහ ආරක්‍ෂක හමුදා කොටි සංවිධානය 2009 මැයි මස විනාශ කර දැමීම හේතුවෙන් විජයකලාට එජාප දේශපාලනයට එකතු වීමේ අවස්‌ථාව ලැබිණ. වියජකලා තමාට කොටි සංවිධානයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වීමට හැකිවූ බව අමතක කර දමා නැති බව පැහැදිලිය.

කොටි සංවිධානය 2004 අප්‍රේල් මහ මැතිවරණයට පෙර ත්‍යාගරාජා මහේෂ්වරන් කොළඹදී ඝාතනය කිරීමට උත්සාහයක්‌ දැරීය. ත්‍යාගරාජා නියෝජනය කළ එජාපය එම කොටි ඝාතන තැත හෙළා දැකීමට මැලි විය. බිය විය. නෝර්වේ මැදිහත්වීම සිදුවෙමින් තිබූ එම අවස්‌ථාවේ කොටි සංවිධානය ප්‍රකෝප කරන කිසිදු ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට එජාපය අකමැති විය. කරෙයිනගර්හී උපන් ත්‍යාගරාජා එජාපයෙන් පාර්ලිමේන්තුවේ ආසනයක්‌ දිනාගත් පළමු යාපන දිස්‌ත්‍රික්‌කය නියෝජනය කළ පුද්ගලයා විය. ඔහු පාර්ලිමේන්තුවට පළමු වරට මන්ත්‍රීවරයකු ලෙස ඇතුළුවන විට ඔහුට 34 වසරකි. විජයකලා කොටි පරාජය හේතුවෙන් පළමු වරට පාර්ලිමේන්තුවට ඇතුළු වන විට ඇයට 38 වසරකි.

ත්‍යාගරාජා මහේෂ්වරන් සුවිශේෂ පුද්ගලයෙකි. වසර 50 ක් පුරා යාපන දිස්‌ත්‍රික්‌කයෙන් ආසනයක්‌ දිනාගැනීමට අසමත් වූ එජාපයට එම අවස්‌ථාව ත්‍යාගරාජා 2000 ඔක්‌තෝබර් 10 දින මහා මැතිවරණයේදී උදාකර දුන්නේය. පාර්ලිමේන්තුවේ සිදුවූ ඔළුගෙඩි මාරුවක්‌ හේතුවෙන් නැවතත් මහ මැතිවරණයක්‌ 2001 දෙසැම්බර් මස 5 දින පැවැත්විය. ත්‍යාගරාජා මහේෂ්වරන් නැවතත් යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තුවට පත්විය. එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ත්‍යාගරාජා මහේෂ්වරන් හින්දු කටයුතු අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය.

ත්‍යාගරාජා මහේෂ්වරන් කොටි සංවිධානය සමඟ කටයුතු කළ බව රහසක්‌ නොවේ. උතුරට පනවා තිබූ තෙල් ප්‍රවාහනය කිරීමේ තහනම ත්‍යාගරාජා මහේෂ්වරන් මහා ධනපතියකු බවට පත් කළේය. භූමිතෙල් ජාවාරමට එතුමා සම්බන්ධ විය. යාපනය-නුවර ඒ-9 මාර්ගය ඕමන්තේ නගරයට උතුරින් වසා දමා තිබූ අතර ත්‍රිකුණාමලය හරහා මුහුදු මාර්ගයෙන් භාණ්‌ඩ යාපනයේ කන්කසන්තුරේ වරායට ප්‍රවාහනය කෙරිණි. තෙල් ප්‍රවාහනයේ ඒකාධිකාරය දැරූ ත්‍යාගරාජා මහේෂ්වරන් අදහාගත නොහැකි ආකාරයට මුදල් සෙවීය. එම ව්‍යාපාරයෙන් ඉපයූ ලාභය කොටි සංවිධානය සමඟ බෙදා ගැනිණි. පසුව දෙපාර්ශ්වයේ මත ගැටුමක්‌ මත ත්‍යාගරාජා මහේෂ්වරන්ට දේශපාලනයෙන් ඉවත් වීමට නියෝගයක්‌ නිකුත් කෙරිණි. තම ව්‍යාපාර කටයුතුවලට එමගින් ඇතිවිය හැකි බලපෑම දැන සිටි මන්ත්‍රීවරයා 2004 මහා මැතිවරණයේදී කොළඹින් තරගයට ඉදිරිපත් විය.

කොටි සංවිධානය, කොළඹ “පාතාලය” මාර්ගයෙන් 2004 මාර්තු මස අග ත්‍යාගරාජා මහේෂ්වරන් ඝාතන කිරීමට අසාර්ථක උත්සාහයක් දැරීය.

එම ඝාතන තැත පිළිබඳව තම පක්‍ෂයේ ස්‌ථාවරය පළ කිරීමට 2004 මාර්තු 28 දින කේම්බ්‍රිඡ් ටෙරස්‌හි පුවත්පත් සාකච්ඡාවක්‌ එජාපය කැඳවීය. එවකට එජාප මහ ලේකම් නැසීගිය සෙනරත් කපුකොටුව සහ එවකට එජාප මාධ්‍ය ප්‍රකාශක දැනට චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්‌කු කොටි සංවිධානය පිට වරද පැටවීමට ක්‍රියා නොකළේය. තම පක්‍ෂයේ මඩකලපු දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන් තරග කළ පුද්ගලයකු කොටි සංවිධානය මරා දැමීම පිළිබඳව ද අදහස්‌ පළ කිරීමට එම එජාප ප්‍රකාශකයන් මැලි විය.

ත්‍යාගරාජා මහේෂ්වරන් ඡන්ද 57,978 ලබාගෙන කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තුවට පත්විය. ප්‍රභාකරන්ගේ නියෝගය මත තමා මරා දැමීමට කළ උත්සාහය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කීප වරක්‌ එජාප මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක්‌ 2004 අප්‍රියෙල් මස මුල් සතියේදී ඉල්ලා සිටියේය. ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. කොටි සංවිධානය සම්බන්ධව මාධ්‍යයට කළ ප්‍රකාශයක්‌ හේතුවෙන් තම ජීවිතයට හානියක්‌ සිදු වුවහොත් එම වගකීම “දි අයිලන්ඩ්” පුවත්පත භාරගත යුතු බව ඔහු පැවැසීය. ඔහුගේ එම ප්‍රකාශය 2004 අප්‍රියෙල් මස 5 වැනි දින “දි අයිලන්ඩ්” පළ කළේය.

විජයකලා කොටි සංවිධානය වෙනුවෙන් කඳුළු සැලීම පවතින දේශපාලන යථාර්ථයයි. එම තත්ත්වය පිළිබඳව නොදන්නා සේ කටයුතු කිරීම අනුවණ කමයි. ත්‍යාගරාජා මහේෂ්වරන් කටයුතු කළ ආකාරය සහ ඔහුගේ බිරිඳගේ දේශපාලන මෙහෙයුම තේරුම් ගත යුතුය. යුද්ධයෙන් මුදල් උපයන්නේ ආයුධ වෙළෙන්දන් බව පැවසූ ත්‍යාගරාජා මහේෂ්වරන් එවකට ශ්‍රී ලංකා රජයට අවි ආයුධ සැපයීමට උනන්දුවක්‌ දැක්‌වූ බව මෙම ලියුම්කරු මීට පෙර වාර්තා කර ඇත. කොටි සංවිධානය සමග කටයුතු කළ “භූමිතෙල්” මහේෂ්වරන් වැනි පුද්ගලයන් හට හමුදාවට අවි ආයුධ විකිණීම අධික ලාභ උපදවන ව්‍යාපාරයක්‌ පමණි.

පසුගිය පෙබරවාරි මස පළාත් පාලන මැතිවරණයේදී යාපනය දිස්‌ත්‍රික්‌කයට එජාපය නාම යෝජනා දුන් පසුව 2017 දෙසැම්බර් මස විජයකලා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. අවසන් වන්නි යුද මෙහෙයුමේදී ද්‍රවිඩ නායක ප්‍රභාකරන් ඇතුළු 200,000 ජනතාවක්‌ මියගියේ තම ජනතාව එජාප නායක රනිල් වික්‍රමසිංහ 2005 නොවැම්බර් මස මහා මැතිවරණයේදී පරාජය කළ නිසා බව පිළිගත්තේය.

විජයකලාගේ එම ප්‍රකාශයට පෙර එජාපය නියෝජනය කරන යාපන දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රීවරයකු මන්ත්‍රීවරියක කිසිදා වික්‍රමසිංහගේ පරාජයට හේතුව ද්‍රවිඩ ජනතාව තම ඡන්දය එජාප නායකයා වෙනුවෙන් පළ නොකිරීම බව පිළිගෙන නැත.

විජයකලා තම දේශපාලන වාසිය වෙනුවෙන් ‘මරා දැමූ ද්‍රවිඩ වැසියන් සංඛ්‍යාව’ 40,000 සිට 200,000 දක්වා වැඩිකළේය. යහපාලන රජය හෝ පොදු විපක්‍ෂය විජයකලා කළ ප්‍රකාශය පිළිබඳව විමසීමක්‌ කිරීමටවත් උත්සුක වූයේ නැත.

විජයකලා තම දේශපාලන ව්‍යාපාරය කුමන ආකාරයට හැසුරුවත්, ද්‍රවිඩ ජනතා ඡන්දය අහිමිවීම හේතුවෙන් 2005 ජනපතිවරණය වික්‍රමසිංහ පරාජය වීම සිදුවිය. මහින්ද රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ අතර පරතරය ඡන්ද 186,000 විය. උතුරේ ඡන්දය නිදහසේ පාවිච්චි කිරීමේ අවස්‌ථාව එම ජනතාවට ලැබුණේ නම් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම 2005 ඡන්දය දිනනු ඇත. එජාපය පවසන ආකාරයට කොටි සංවිධානය කිසි විටකත් එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ සමඟ මුදල් ගනුදෙනුවක්‌ හේතුවෙන් තම සටන පාවාදෙන්නේ නැත. කොටි සංවිධානය මුදල් ගනුදෙනුවක්‌ කළා නම් ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ කිරීමට ඉතාම සුදුසු තැනැත්තා වර්තමාන විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්ය. එතුමා මත එම වගකීම පැවරීමට හේතුවක්‌ ඇත. කොටි ත්‍රස්‌තවාදීන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම තහනම් කළ නියෝගය ජනතාවට දැනුම් දුන්නේ සම්බන්ධන් වීම නිසාය.

විජයකලා පසුගිය සතියේ කළ ප්‍රකාශය හේතුවෙන් ඇයව අමාත්‍ය ධුරයෙන් පහකර අත්අඩංගුවට ගෙන නීතිපති හරහා අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය බව කියන කිසිදු පුද්ගලයකු හෝ සංවිධානයක්‌, කොටි සංවිධානයේ නියෝගය මත තම ජනතාවගේ ඡන්ද අයිතිය ‘සම්බන්ධන්’ අහිමි කිරීම පිළිබඳව වචනයකුදු පවසා නැත.

කොටින්ට කඩේ යාම

කොටි සංවිධානයට “කඩේ ගිය” එකම ද්‍රවිඩ මන්ත්‍රීවරයා / ඇමැතිවරයා විජයකලා නොවේ. මෑතකදී හින්දු කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යුද්ධයේදී මියගිය ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට විශේෂ ආකාරයකට වන්දි ගෙවීමට රජයට කැබිනට්‌ පත්‍රිකාවක්‌ හරහා යෝජනා කළේය. පත්කළ මන්ත්‍රී ස්‌වාමිනාදන්ගේ ක්‍රියා කලාපය පුදුම සහගතය. විජයකලා යාපනයේ වීරසිංහම් ශාලාවේ කළ ප්‍රකාශයට ද වඩා බරපතළය. යළි කිසිදු දිනක කොටි සංවිධානයකට පෙර පැවැති සංග්‍රාමික ශක්‌තිය හිමි නොවන බව හොඳින්ම දන්නා විජයකලා ප්‍රභාකරන් අගමැති වීමට පවා සුදුසු යෑයි පැවසීම හුදෙක්‌ දේශපාලන කතාවකි. ද්‍රවිඩ ඡන්ද දායකයෝ මෙම තත්ත්වය වටහාගෙන ඇති බවට සැකයක්‌ නැත. රජය වෙනුවෙන් මියගිය ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීමට යෝජනා කිරීම ඇත්ත වශයෙන්ම ත්‍රස්‌තවාදයට අනුබල දීමකි.

උතුරු පළාත් සභාවේ කාලය ලබන ඔක්‌තෝබර් මසදි අවසන් වේ. උතුරු පළාතේ මෙන්ම අනෙකුත් පළාත් ඡන්ද සිරිසේන – වික්‍රමසිංහ දෙපළ පැවැත්වීමට මැලි බව පැහැදිලිය. නමුත් 2019 ජනපතිවරණය මගහැර යැමට කිසිදු දේශපාලන පක්‍ෂයකට නොහැකිය. උතුරේ ද්‍රවිඩ ඡන්දයට තුන්කොන් සටනක්‌ ඇත. එජාපය උතුරේ තම ඡන්ද ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන අතර ද්‍රවිඩ ජාතික සංධානය තම බලය රැක ගැනීමේ මෙහෙයුමක නිරතවී සිටී. එලෙසම ද්‍රවිඩ ජාතික සංධානයට එරෙහි කණ්‌ඩායම් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි ලෙස ඉදිරියට පැමිණ ඇත. විජයකලාගේ කොටි හිතවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජයට බලකරන සියලු දෙනා උතුරේ සිදුවන ත්‍රස්‌තවාදය ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව විමසිලිමත් විය යුතුයි.

පාර්ලිමේන්තුව පුදුමාකාර “ආයතනයකි” විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරනා මැති ඇමැතිවරු ගණනාවක්‌ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටිති. තවත් කණ්‌ඩායමක්‌ මහ බැංකුව කොල්ලකාපු අර්ජුන මහේන්ද්‍රන්-අර්ජුන් ඇලෝසියස්‌ වෙනුවෙන් පෙනී සිටිය බව රහසක්‌ නොවේ. බැංකු මංකොල්ලකරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මන්ත්‍රීවරු තම මුදල් අවශ්‍යතාවයන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ හරහා ලබා ගත් බව රහසක්‌ නොවේ. මහජන නියෝජිතයන් නොයෙකුත් ආකාරයට “විකිණෙති”. අලෙවි වීමට සැදී පැහැදී සිටිති. බැංකු මංකොල්ලකරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මන්ත්‍රීවරු තවමත් ව්‍යාපාර පොදු කාරක සභාවේ සිටිති. පරීක්‍ෂණ අවසන් වන තුරු එම මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත් කළ යුතු බවට කළ යෝජනා රජය හෝ කථානායකතුමා තවමත් පිළිගෙන නැත. මහ බැංකු හොරු සමඟ ගනුදෙනු කිරීම කොටි වෙනුවෙන් පෙනී සිටීම ලෙසම බරපතළ තත්ත්වයකි. එලෙසම දේශපාලන පක්‍ෂ නොයෙකුත් ව්‍යාපාර අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිති. එය රහසක්‌ නොවේ.

මහ බැංකු මගඩිය

මහ බැංකු මගඩිය හේතුවෙන් වාසි ලබාගත් මන්ත්‍රීවරු ඇතුළු කණ්‌ඩායම පිළිබඳව මෙන්ම 2015 මහින්ද රාජපක්‍ෂගේ ජනපති සටන වෙනුවෙන් චීනය කළා යෑයි කියන “ආයෝජනය” පිළිබඳව වාර්තා යටපත් කරගෙන විජයකලා “කොටි” කතාව ඉදිරියට කරළියට පැමිණ ඇත. බදු බරින් මිරිකී සිටින ජනතාවට ඊළඟ හෙළිදරව්ව හෝ දේශපාලන නොපනත්කම වෙනතුරු බලා සිටීම හැර කළ හැකි දෙයක්‌ දැනට නොමැත.

ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු සලන විජයකලා තම ස්‌වාමියා ඝාතනය කළ පුද්ගලයා උසාවියෙන් වැරදිකරු වී බන්ධනාගාර ගතවී ඇති බව අමතක කර ඇත. එජාපයට ද එය අමතක වී ඇත. ත්‍යාගරාජා මහේෂ්වරන්ට වෙඩි තැබූ සැනින් තුවක්‌කුකරුවාට තම සේවා පිස්‌තෝලයෙන් වෙඩි තබා බිම හෙළීමට මහේෂ්වරන්ගේ පොලිස්‌ ආරක්‍ෂක නිලධාරියාට හැකිවිය. පොලිස්‌ නිලධාරියාට ද වෙඩි තැබිණි. අවට සිටිය වුන් දෙදෙනාම ජාතික රෝහලට රැගෙන ගිය අතර එහිදී ඝාතකයාව පොලිස්‌ නිලධාරීයා හඳුනා ගත්තේය. එසේ නොවුණා නම් එම මරණය ද පැවැති රජයේ ගිණුමටම බැර වීමට ඉඩ තිබිණි.

– ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

++++++++++++++++++++++++++++++++++

විජයකලා ගැන මම ආඩම්බර වෙනවා – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
(11.07.2018 – mawbima.lk)

“විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද, ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.” මෙසේ පවසන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය.

“දේශපාලන පක්ෂවලට නායකයෝ ඉන්නවා. ඒත් මේ රටට නිසි නායකයෙක් නැහැ. පත්වූ හැම නායකයෙක්ම කළේ අපිව දුර්වල කරලා බෙදලා දාපු එක විතරයි” යනුවෙන් ඥානසාර හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පළ කළේ උන්වහන්සේට ආශීර්වාද කිරීම පිණිස කන්දකැටිය කන්දකැපූ උල්පත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැවැති ආශීර්වාද බෝධි පූජාවක් අවසානයේ පැමිණි පිරිස වෙනුවෙන් කෙටි අනුශාසනාවක් කරමිනි.

“හෙළ සදහම් සංවිධානයේ” ප්‍රධාන අනුශාසක හොබරියාවේ රතනසාර හිමියන් විසින් සංවිධානය කරන ලද මෙම ආශීර්වාද බොධි පූජාව සඳහා ප්‍රදේශයේ ගිහි පැවිදි අති විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ඥානසාර හිමියෝ මෙසේද කීහ :

“මේ රටට දැන් නායකයෙක් නැහැ. හැබැයි දේශපාලන පක්ෂවල නායකයෝ ඉන්නවා. නිදහසින් පසු ගෙවීගිය වසර 70 ක කාලය තුළ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණුකොට අපිට හරිහමන් නායකයෙක් හිටියේ නෑ. දේශපාලකයෝ කළේ අපිව දුර්වල කරන එක. බෙදීම් ඇති කරන එක. මෙරට පාලනය කරන්න ආව පාලකයෝ අපිව දුර්වල කළා.

හැබැයි විජයකලා මහේෂ්වරන් ගැන මම ආඩම්බර වෙනවා. මොකද ඒ ගෑනුකෙනා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

මා සිරගත කිරීමෙන් පසු මේ රටේ විවිධ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා, බෞද්ධ ජනතාව විරෝධතා දක්වමින් බෝධි පූජා පවත්වමින් මා නිදහස් කර ගැනීමට කටයුතු කළා. අතීතයේ බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලද හැම කුලයකම උන්වහන්සේ ඒ කුලය වර්ගය රැකගන්න නායකත්වය දුන්නා. බුද්ධ පුත්‍රයන් ලෙස අපි මේ කරන්නෙත් අපේ ජාතිය ආගම රැකගැනීමට උත්සාහ කරන එකයි.

අපිට කන්නට කටක් තියෙනව වගේම කන්න බඩක් තිබෙනව වගේම ඉන්න රටක් තියෙන්න ඕනෑ.

ප්‍රභාකරන්ලා ආයුධ අතට ගත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලා. මේ රටේ ඉන්න නායකයන්ගේ නෝංජල්කම හින්දා විජයකලා වගේ ගෑනු අපේ නායකයන්ගේ කරෙත් නඟිනවා. අපි කැප කිරීම් කරන්න ඕනෑ. ජාතිවාත්සල්‍ය ඇති කරගන්න ඕනෑ. අපි මේ කරන දේ ප්‍රතිඵල තියෙන්නේ මතු උපදින අපේ දරුවන්ට. ඒ නිසා අපි අපේ වගකීම ඉෂ්ට කරන්නට හිතට ගත යුතු යැයි මා ප්‍රකාශ කරනවා.”

+++++++++++++++++++++++++++++++++++

විජයකලාට එරෙහිව යාපනය පුරා පෝස්ටර්
(11.07.2018 – mawbima.lk)

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරියට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේ පෙරේදා (09දා) රාත්‍රියේ කිසියම් පිරිසක් පෝස්ටර අලවා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

‘සිවසේනා’ සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානයක් විසින් මේ පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටරයෙන් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හිදී ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ රුපියල් කෝටි 50කට ඇමැති පදවිය අතහැර දැමූ විජයකලාට මොන මන්ත්‍රි පදවිද’ යනුවෙනි.

පුන්කුඩතිව්හිදී විද්‍යා සිසුවිය දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයන්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නමැත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය එවකට දැඩි උත්සාහයක යෙදුණු බවත් කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාවන් මත ප්‍රභාකරන් නැවත අවශ්‍ය බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලකට ඇමැති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයකුට පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද නොලැබිය යුතු බවත් සිවසේනා සංවිධානය මඟින් අදාළ පෝස්ටරයෙන් දැනුම් දී තිබේ.

මුලතිව් – ශෂිකුමාර්,
ඕමන්ත – ශේෂලා අමරසිංහ

+++++++++++++++++++++++++++++++++

සියල්ල මගහැර විජයකලා රට පනින්න සූදානම්..
(11.07.2018 – 14:10 +0530 – lankacnews.com)

කාන්තා හා ලමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් 2018.07.02 දින යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී එල්ටීටීඊ සංවිධානය යලි ගෙනඒමයි අපේ අරමුණ ලෙසින් සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව 2018.07.03 දින පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානය වෙත සිදුකරන ලද පැමිණිල්ලට අදාළ සාක්ෂි සටහන් කරගැනීම පිටකොටුව මිහිඳු මාවතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ දී සිදු කෙරුණි.

එම කටයුත්තෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා :

‘‘විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකරන ලද පැමිණිල්ලට අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණා. අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය විදේශගතවීමේ ආසන්න අවස්ථාවක සිටින්නේ. ඒ නිසා අපි අදාළ පොලිස් අංශවලින් ඉල්ලා සිටියා එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව .

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට ශක්තියක් වෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරන්නට ආණ්ඩුවට එකතු වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය යුහුසුළු වුණා එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වන විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය එල්ටීටීඊය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම සංවිධානය ප්‍රවර්ධනය කරමින් ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ ඇයගේ සාමාජිකත්වය අහෝසි කරන්නට එක්සත් ජාතික පක්ෂයට අද කොන්දක් නැති වෙලා තිබෙනවා.

ඒ වගේම දිගන ඇතිවූ සිද්ධියේදී එකසිය පස් දෙනෙකු පමණ පිරිසක් සෘජු සාක්ෂි නොමැතිව මාස පහක පමණ කාලයක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට සිටිනවා.නමුත් ත්‍රස්තවාදයත් ජාතිවාදයත් අවුලවමින් සිටින විජයකලා මන්ත්‍රීවරිය අදටත් නිදැල්ලේ සිටිනවා.

අපි අහනවා කෝ රටේ ක්‍රියාත්මක වන නීතිය කියලා. ඒ වගේම විජයකලා මහේෂ්වරන් මන්ත්‍රී තුමියගේ මේ ප්‍රකාශයට තටු ලබා දෙමින් ඇයගේ ප්‍රකාශය නැවත වරක් අනුමත කරමින් විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති තුමා ප්‍රකාශයන් නිකුත් කරද්දී අද උතුරේ ගිනි ගනිමින් පවතිනවා. උතුරේ කළු කොටි සැමරුම් පවත්වනවා. උතුරේ තැන තැන ආයුධ හමු වෙනවා. උතුරේ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවනවා. නමුත් ආණ්ඩුව මරනින්දේ.

අපි අනතුරු අඟවනවා මේ ආණ්ඩුවට ඔවුන්ගේ මේ දිගු නිද්‍රාව මේ රටේ භයානක අනතුරකට අත වැනීමක් බවට.’’

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර මහතා සහ නීති ලේකම් රෝහණ තල්පාවිල මහතාද සහභාගී විය.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *