කිළිනොච්චියේ කඩු කිණිසි රැගත් කල්ලි දෙකක ගැටුමක්

(10.09.2017 – 23:45 +0530 – lankaenews.com)

කිළිනොච්චියේදී කඩු කිණිසි රැගත් දෙපිරිසක් අතර 09 දා සවස ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා ගමන් කරමින් සිටි යතුරු පැදියට අනෙක් කණ්ඩායමේ සාමාජිකයින් විසින් ගිණි තබා ඇති අතර එම ගින්නට හසුවී යතුරු පැදිය මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.

මෙම කණ්ඩායම් දෙකම මීට ඉහතදී එක් කණ්ඩායමක් ලෙස කටයුතු කොට ඇති අතර ඔවුන් කිළිනොච්චිය ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පිරිසක් බවට තොරතුරු හෙළි වී තිබේ.

පහර කා තුවාල ලැබූ පුද්ගලයා මීට මාසයකට පමණ පෙර එම කණ්ඩායමෙන් ඉවත්ව තනිවම කටයුතු කිරීමට පටන් ගෙන ඇති අතර ඔහු පොලීසියට පෙර කණ්ඩායම පිළිබඳව තොරතුරු ලබාදෙනු ඇතැයි යන බිය මත මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි විශ්වාස කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

– දිනසේන රතුගමගේ

****************************************

මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිගෙන් නියෝග
(09.09.2017 – 23:55 +0530 – lankaenews.com)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන මාරාන්තික රිය අනතුරක් සිදුකර පලා යෑමෙන් පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. ජයරත්න නමැති අය එම ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. එක් අයෙකු එතැනම මිය ගිය අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන පලා ගොස් තිබූ අතර අද සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලිසියේ ඉහල නිලධාරියෙකු ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ “මොනවාද මගෙන් අහන්නේ..? තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න“ කියා ය.

අත් අඩංගුවට ගත් ලාල් සිරිසේන අද සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *