හමුදාවට තොරතුරු නොදෙන්නැයි විග්නේෂ්වරන් උතුරේ නිලධාරින්ට දන්වයි

(12.07.2018 – 19:34 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවට තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම පළාතේ සියලුම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ කිලිනොච්චියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

‘‘මම දැනුම් දෙන්න කැමතියි සියලුම නිලධාරින්ට, යුද හමුදාව තොරතුරු ඉල්ලා අවොත් දෙන්න එපා කියලා. කියන්න එයාලට මම කියල තියෙන්නේ තොරතුරු දෙන්න එපා කියලා. මගෙන් අහලා අවශ්‍ය නම් තොරතුරු දෙන්නම් කියලා කියන්න එයාලට. ඒ වගේම මම කියන්න කැමතියි මධ්‍යම රජයෙන් එක පාලනයක් සිද්ධ වෙනවා. පලාත් සභාවෙන් තවත් පාලනයක් වෙනවා. මේ දෙකටම අමතරව තුන්වන පාලනය විදියට දැන් ආණ්ඩුකාරවරයාගේ පාලනයක් ඇවිල්ලා. මේ සියල්ලෙන්ම අපහසුතාවට පත්වෙන්නේ අපේ ජනතාවයි. ඒක නිසා තමයි අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ. මීට අමතරව පලාත් 09 ම ස්වයං පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්නත් ඕන.’’

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

විග්නේෂ්වරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
(13.07.2018 – 13:10 +0530 – hirunews.lk/sinhala)

හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙසට ප්‍රකාශ කළ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා.

ඊයේ කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පලාතේ සියලුම නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමාගේ විමසීමකින් තොරව හමුදාවට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසයි.

ඊට අමතරව ෆෙඩරල් රාජ්‍යයක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි ඔහු ප්‍රකාශ කළා.

උතුරු පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා සිදු කල මෙම ප්‍රකාශය පිලිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

සියලුදෙනාම සම්බන්ධයෙන් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව එම මාධ්‍ය හමුවට එක්වූ ඩී.වී.චානක මහතා කියා සිටියා ෴

*****************************************

මරණ දඩුවම නියම වූ මත් ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනය සැකසේ
(12.07.2018 – 18:38 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිට සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

එය සකස් කිරීමෙන් අනතුරුව සිරකරුවන්ගේ නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලබාදෙන බවයි එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඩුවම නියම වී සිරදඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබාදීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන වදක තනතුර පුරප්පාඩු වී ඇති බැවින් එය කඩිනමින් පිරවීම සදහා මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව සිය කීර්ති නාමයට හානියක් සිදුකරගනු ඇති බව මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ශ්‍රී ලංකාව පිළිබදව පවතින සුබවාදී වාර්තාව දිගු කාලීනව පවත්වා ගැනීම සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය අහෝසි කළ යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.

මේ අතර, ජනතා යහපත වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක, දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසනවා. උන්වහන්සේ කියා සිටියේ එය පාලකයන්ගේ වගකීමක් වන බවයි.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද ජනතා යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කරනවා.

++++++++++++++++++++++++++++++++

මන්ත්‍රී දයාසිරිට අභියෝගයක්
(12.07.2018 – 18:58 +0530 – hirunews.lk/sinhala)

මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්විමට නීතියෙන් ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කලා.

මේ අතර අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *