ඉතිං ආයුබෝවන් ලේකම්තුමනි මරු..!!

(10.09.2017 – 17:00 +0530 – lankaenews.com)

මහාධිකරණ දඬුවමට ලක්ව බන්ධනාගාරය වෙත රැගෙන යන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දසුන් පෙළ දෙස බලා සිටියෙමි. එකින් එක ඛණ්ඩනය වූ එකී දසුන් පෙළ එකවර වැලිකඩ බන්ධනාගාරය වට කොට ඉදිකර ඇති යෝධ ප්‍රාකාරයේ දැවැන්ත යකඩ ද්වාරය අබියස මොහොතක් නැවතුණි. රුපවාහිනී නාලිකා ප්‍රවිෂ්ඨ වී ඇත්තේ අප්‍රකාශිත සංග්‍රාමයක් සඳහාය. ලේකම්තුමාගේ සංවේදීම දසුන නිවැරදිව මානා ගැනීම ඔවුන්ගේ ඒකායන පැතුමයි.

පුරා දශකයක් මෙරටේ පරිපාලනය අරා වැජඹුනද නොලද ප්‍රසිද්ධියක් එක රැයින් ලැබීමේ දුලභ භාග්‍යය හිමි වී ඇති මොහොතයි මේ. ලලිත් වීරතුංග යනු ලීල් ගුණසේකර හෝ බ්‍රැඩ්මන් වීරකෝන් හෝ නොවේ. එනමුදු මෙරටේ කවර පරිපාලකයෙක් හෝ නොලද ජීවිත පරිපාකය ලද්දා ඔහුය. ප්‍රදර්ශනකාමී සනුහරයකට මැදිව යුද්ධයේ පාරට්ටුව මැද රට කරවූ සහෝදර සමාගමක උණුසුම දරා ගත් ඔහු- විචිත්‍ර කථිකත්වයෙන් හෙබි අත්තුක්කංසන පරවම්බනයේ කෙළ පැමිණියෙකි. මදින් මඳ හමන මන්ද මාරුතය වුව සකල ලොව බිලි ගන්නා චණ්ඩ මාරුතයෙකැයි අරුත් ගන්වා ජන මන අන්දමන්ද කිරීමේ සමත්බවින් ඔහු පොහොසත්ය. ඔහු හා වදනක් දොඩමළු වන්නෙක් වේද – හේ අප කථා නායකයාණන් වෙතින් නික්මෙනුයේ තලියක එකෙක් නොව කිඹුලන් දුසිමක් දැක ගෙනයැ. මෙනයින් බලන කල වීරතුංගයෝ උත්තුංගය. උත්කෘෂ්ඨය. අසම සමය. එවැන්නෙක් ලද රාජපක්ෂ තෙබෑයෝ ඔටුනු නොපලන් රජවරුහුමය.

අනුප්පියභානී වීරතුංගයානෝ මෙලෙස නික්මෙනුයේ නටා, ගයා, වයා සැනහෙන සැණකෙලියක පහසින් මන දොළ පිනවා ගැනීමට නම් නොවේ ය. තෙවසරක කටුක දුක් පිරිපත කඳුළු සමග අනා භෝජනයට ගත යුතු සිපිරි ගෙට යැ. මේ නම් කවර කලෙක හෝ මෙසිරිලක මෙපින්බිම සිදු වූවක් නොවේය. යනෙන මගක් හෝ පාදා ගත නොහී කටුක ලඳු කැලෑ පීර පීරා ගොස් ගිරුවා පත්තුවේ කැලෑබද රුක් හෙවනේ අකුරු කෙරූ කැහැටු ළමුන් හමු වූ ලෙනාර්ඩ් වුල්ෆ්ගේ දිවි සැරියේ මතක මෙරටේ පරිපාලනය දරා සිටින නිලධරයන්ට පාඩම් පොතක්ය. එකී වුල්ෆ් ගැන අතැඹුලක් සේ දන්නා වීරතුංගයන්ට වූ සංතෑසිය ඒකාබද්ධේ ඇත්තන්ට නම් කලක් මසුන් බෑ හැකි බොර දියකි.

කොන්තගම්තොටින් සිරගෙට

පෙර ව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පර ව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තර ව සිහි ඇති ව පරතෙරට යන අටින්
තිර ව පියාසර සකි කොන්තගම් තොටින්

යැයි රාහුල හිමියෝ හිතාදර සැළලිහිනියා වෙත දැන්වීය. සැඟවුණු යටිපෙළ අරුතක් පැවතියේ වුවද එහි උඩුපෙළ අරුතේ නිරුතද විමසීමේ වරදක් නැත.

චන්ද්‍ර රශ්මිය පොරවාගෙන හාත්පස පිපුණු කුමුදු මල් වලින් අලංකාර වූත් රත්නෙලුම් මල්හි පෙති ගිලිහී ජල තලය මත පාවෙන්නා වූත් කොන්තගම්තොටින් එතෙර යෑමේ තිර අදිටනින් යුතුව පියාසර කරන්න යනු එහි මුඛ්‍යාර්ථයයි.

මෙරටේ රාජ්‍ය සේවයේ බහුතර මාණ්ඩලික නිලධාරීන්ට නැත්තේත් එයමය. අසන්නට අකමැති වුවද රාජ්‍ය නිලධාරියා ද තම පාතරාසය සරි කරගන්නේ රජයක් , පුරවැසියා මිරිකා ලබා ගන්නා අස්වැන්න නම් වූ බදු මුදලේ නාමයෙනි. එනම් ඍජු හා අනේක විද වක්‍ර බද්දේ පිහිටාධාරයෙනි. එවන් ඇත්තෝ තරව සිහි ඇතිව තම යුතුකම ඉටු කළ යුත්තෝය. කොන්තගම්තොට, රාජකාරියේ විශ්‍රාමය සේ සිතා රජයේ භාරය සුරැකෙන සේ හැසිරීම කැපය. සීතල ජනේරුව එළඹෙන මානයේ ලැබෙන හැම්පරයේ සිට තෙවන පාර්ශවයකින් ලැබෙන සන්තෝසම දක්වා වූ ගින්දරක් වන් පටු වාසිය හෙවත් කෙලෙස් මල දුරින් දුරු කළ යුත්තේය. එවැන්නෝ මෙරටේ දුලබ වුවද සදා නැමදිය යුත්තෝය. ලීල් ගුණසේකරයන් ‘පෙත්සම හා අත්සන‘ ලීවේ මෙකී ජනතා සේවකයා නිරූපණයටය. ආයතන සංග්‍රහයේ පිට කවරයත් දිය කර බී ඇති වීරතුංගයෝ එබැවූ නොදන්නා තොත්ත බබෙක් නම් නොවේය.

වැලිකඩ K වාට්ටුව වෙත පිය නැගූ ජ්‍යේෂ්ඨ වීරතුංගයන්ගේත්, කනිෂ්ඨ පැල්පිටයන්ගේත් මුහුණුවල අංශු මාත්‍රයක දොම්නසක සේයාවකුදු හෝ පළ නොවීය. ඒ ඔවුන් පියාසර කර ඇත්තේම කොන්තගම් තොටින් සිපිරිගෙට යෑම පිලිබඳ පෙර දැනීමක් ඇතිව නිසා විය යුතුය. වැලිකඩ වාට්ටුවේ තමන් වෙත වෙන්වූ බෙලෙක් පිඟානේ රස නැසුණු බතේ රස බලන්නට (එසේ නොවුනේ වී නමුත්) ලේකම්වරයා හා පා නැගූ පැල්පිටයන් ගැනද යමක් කිව යුත්තේය. පාපතර දේශපාලකයන්ගේ චටුකාර බසට නොරැවටුණේ නම් දක්ෂ පරිපාලකයෙකුගේ රුව ගුණ ඔහුගෙන් විද්‍යාමාන වූ බව පැවසීම මුසාවක් නොවේ. අපාය සහාය දේශපාලන සුමිතුරන් ඔහු වෙත අවීචියට යන මග දැක්වීය. එය ආරම්භ වූයේ සරත් ෆොන්සේකාගේ ඡන්ද ප්‍රතිපළ විකෘති කිරීමේ කාරියට දායක වීමත් සමග ය. ප්‍රථම වරට ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට ඔහු යටතේ තිබූ රාජ්‍ය ආයතනය ඍජුව මැදිහත් වූ එම ජනාධිපතිවරණ ප්‍රතිඵලය විකෘතියක් බව බොහෝ දෙනා දනී. ඉන් පසු රාජපක්ෂලා ඔහුට දුන් තුටු පඬුර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යි. එම කොමිෂන් සභාව යනු රාජ්‍ය ආයතනයක් වුවද එය සිතු සිතු ලෙස දොළ පිදේනි දීමේ සුරබි දෙනකි. බලපත් විකුණා ලැබෙන රන් කහවණු ප්‍රතිරූප වන්දනාවේ රිසි වහලුන් තෘප්ත කිරීම සඳහා එදත් යෙදෙවුවේය. අදත් යොදවයි. පැල්පිටයන් පිට පැටවූයේ මේ සුරබි දෙනයි. පැල්පිටට තෙවසරක සිර දිවියක් ගත කිරීමේ භාග්‍යය උදා වූයේ මෙකී සුරබිදෙනගේ කිරි පල්ලද උරා බිව් නිසාවෙනි. එම කොමිසමේ හිඳිමින් ඔහු වෙබ් අඩවි තහනම් කිරීම ගැන තවම දඬුවම් ලැබී නැත.

සමාජ පරිසරයේ කවර කම්පනයක් ගැන හෝ අංශු මාත්‍ර සංවේදීත්වයක් නැති සමූහයක් වූ පරිපාලකයන්ට මග කියන සහන් එළියක් හතර ගං පත්තුවක පෙණෙන මානයේ නැත. ඒත් වීරතුංයන් ගැන මවිතව, සලිතව, ප්‍රකම්පිත වහසි බස් දොඩන්නෝ අපමණය. මෙකී පුවත ඇසූ ඩිලාන් හූරාගේ පපුව හෝස් ගා ගියේලු. තම ගොදුරු බිම වූ හාලිඇලින් පවා පළවා හැරි මේ බොහොඬාට පපුවක් තබා කැවුත්තක් පවා ඇද්දැයි යන්න සැකය. මුසා බස් තෙපලීමේ චක්‍රවර්තී ගම්මන්පිලයෝද කියා ඇත්තේ සිල් රෙදි බෙදුවේ ජාතික අවශ්‍යතාවකට අනුව බවය. අලගියවන්න මුකවෙටි අප අතර නැත්තේ මෙකී පුරුෂයන්ගේ පෙර පිනකටය. අහසට නැගුනු රූස්ස පුවක් ගස් දෙකක් වැරෙන් එකිනෙක ලං වන සේ බැඳ, දෙපා මත රුවා, ගැටය ලිහිල් කළ කලෙක සිදුවන දේ නොකිව මනාය. වචී පරම දේශපාලකයන්ටද එකී දඬුවම සොබනේය.

වීරතුංග සිරි සඟබෝ නොවීය

ඒ වසර 2014 දෙසැම්බර් මස අවසනයි. සිල් රෙද්දෙන් බෙල්ල කපන්නට ගිවිස ගත් මෙකී නඩයේ නාඩගම මේ ලියුම්කරුද බලා සිටියේය. හඬ නැගුවේය. පැෆ්රල් ආයතනයේ රෝහනත්- ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ශානුත් මෙකී අවනඩුව මත්තේ හැපුනේය. සිල්රෙදි බෙදන්නට එපා යැයි කියා මැතිවරණ නීතිය පිළිපදින්නට ගිය දේශප්‍රිය කොමසාරිස්තුමන් හට බැණ අඬ ගැසීමට භික්ෂුන් සමූහයක් රාජගිරිය සරණ පාරේ ද කරක් ගැසීය. අම්බලංගොඩ ඉපදුණු කොමසාරිස් තුමා, අප නොදන්නා අමතර බසක්ද හදාරා තිබූ නිසා එකී ඝෝරනාඩුවට මෙල්ල නොවීය.

කිඹුලා ගිලින විට ඉවසිය හැක්කේ වුවද කොහිල කටු ඇණෙන විට ඉවසිය නොහැක්කේය. පරිපාලන සේවයේ හතර මායිම නොදත්තේ වුවද ‘අපේ එකා පමණක් රැක ගැනීමේ’ අප්‍රතිහත ධෛර්යය පරිපාලන සේවයේ බොහෝ ඇත්තන් සතුය. මේසා මූල්‍ය අවභාවිතාවකදී වුවද එවැන්නෝ උගත් පාඩමක් නැත. ලලිත් සර්ගේ නිවසට ගිය දිනෙක එතුමාණෝ තම සුරතින්ම රස නුසුන් කිරි කෝප්පයක් හැදුවේ යැයි එක් සූකිරි බටිල්ලියක් ලියා ඇත. තවත් උගත් මිතුරෙක් දක්වා ඇත්තේ එතුමන් හමු වන කවර මොහොතක වුව තමන්ගේ පිටට තට්ටුවක් දැමීමට එතුමන් කටයුතු කළ බවයි. මෙකී කරුණු අතිශය මානුෂීය ඒවාය . එනමුදු සාර්ථක පරිපාලකයෙකු වීමේ මග වැටී ඇත්තේ එකී මානුෂීය කරුණු මත්තේ පමණක් නොවේ. සුසිල් සිරිවර්ධන ජනාදරයට පත් වූයේත්, කේ. එච්. ජේ. විජේදාසට අන්‍යයන් ප්‍රණාමය දැක්වූවේත්, ජිනසිරි දඩල්ලගේ වැඩකාරයා යැයි කීවේත් ඔවුන් තම කනිෂ්ඨයන්ගේ කිරි පල්ල අත ගෑ නිසා නොවේ. අපමණ අභිමන් මැද ප්‍රභාමත් මතකයක් එක්කොට සම්භාවනීය පුරවැසියෙකුගේ අභිමානයෙන් සමුගත හැකිව තිබූ වීරතුංගයන්ගේ දිවියේ අවසානය සනිටුහන් වූයේ වහල් හිමියෙකු වෙනුවෙන් දිවි දෙන වහලෙකු පරිද්දෙනි. නීතිය ඉදිරියේ හිස ගසා දැමුණා මිස ඔහු සිරි සඟබෝ සේ හිස දන් දුන්නේ නැත.

ඔබට රාජාලියෙක් වීමට අවශ්‍යවන්නේ නම් පාත්තයන් සමග ගමන් නොකළ යුතුය. වීරතුංග පාත්තයන් එකෙක් සමග නොව, රංචුවක් සමග නොකල්හී දුර ගමනක් ගොස් වැලිකඩ කේ වාට්ටුවෙන් අවසන් කෙළේය.

– මංජුල ගජනායක විසිනි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *