මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද? මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති

(21.07.2018 – News e Lanka)

කවුරු විරුද්ධ වුනත් මෛත්‍රී යුගය ‘මරණයේ යුගයකට’ ගෙනියන බවට ජනපති යළි ශපථ කරයි..! මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති

මෛත්‍රී මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද?

‘මෛත්‍රී යුගයක්’ වෙනුවට ‘මරණයේ යුගයක්’ යලි ආරම්භ කරමින් කවුරු විරුද්ධ වුනත් මත්ද්‍රව්‍ය චෝදනා ඇති අයට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති සිරිසේන මහතා අද යලිත් අවධාරණය කෙළේය.

ඔහු මේ බව පැවසුවේ තම ගම් පළාත වූ පොළොන්නරුවේ දී ය. චීන ආධාර සහිතව ගොඩ නැගෙන වකුගඩු රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරමින් පැවැති උත්සව සභාව අමතමිනි. ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“යහපත් සමාජයක් හදන්න හොඳින් කියලා බැරිනම්, සමහර විට බොහෝ ලෝකේ රටවල් වගේ නරකින් කරන්නත් සිද්ධ වෙනවා හොඳ දේ, හොඳ දෙයක් නිසා. මේ රටේ ජන ගහනයෙන් සියේට එකයි දශම හතරක් මත් කුඩු මත් පෙති වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා මම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. ඒ නිසා ඒ බලය දැන් ලැබිලා තියෙනවා. මොන විදිහේ විරෝධතාවයන් ආවත් ඒ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරනවා, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට විරුද්ධව. මම ලබන අඟහරුවාදා කැඳවලා තිබෙනවා නීති අධිකරණ බන්ධනාගාර මීට අදාල සියළු ක්ෂේත්‍රවල ප්‍රධානීන්, ඒගොල්ලන්ගෙන් මං කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව තමයි තීරණය කරන්නේ මරණීය දණ්ඩනයට යටත් කරන පුද්ගලයන් කව්ද, ඒ සඳහා දින වකවානු, ඒ සම්බන්ධයෙන් ඒ කමිටුව ක්‍රියා කරනවා ඇති. මේ පිලිබඳව යම් යම් විරෝධතාවයන් ඉදිරිපත් කරන අය මේ මහා විනාශකාරී දේ වළක්වන්න කිසිම සහයෝගයක් මේ රටේ දීලා නෑ. මං ඒක පැහැදිලිවම කියන්නට ඕනෑ. ඒ නිසා මම එකඟ වෙන්නේ නෑ ඒ විරෝධතා වලට. මම ඒවට යටත් වෙන්නෙත් නැහැ. අපි මේ සඳහා ගත්ත තීන්දුව වෙනස් කරන්නෙත් නැහැ. “ යි ජනාධිපති වරයා අවධාරණය කෙළේය.

මීට පෙර ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති වූ මුල් කාලයේ තමන් කී ‘මෛත්‍රී යුගය’ සංඛේතවත් කරමින් ඔහු සෞඛ්‍ය ඇමැතිව සිටියදී 2006 අප්‍රේල් 23 වැනි දින පොළොන්නරුවේ දී ඔහුව ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට වැරදිකරු වී පොළොන්නරුව මහාධිකරණයෙන් 2015 ජුලි 03 වෙනිදා වසර 10 ක් සිර දඬුවම් නියමව සිටි සිවරාසා ජෙනීවන් හෙවත් සෙනන් නමැති තරුණයෙකුට ජනාධිපති සමාව දුන්නේ ය. දැන් ඔහු තනතුරින් ඉවත් වීමට ආසන්න වෙද්දී ‘මරණයේ යුගය’ ආරම්භ කරමින් සිටී.

ජනාධිපතිගේ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් තිබේද?

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්ම කිරීමට තීන්දු කිරීමත් සමග වෙනත් ප්‍රශ්න කිහිපයක් මතු වේ. ලංකාවේ අධිකරණ වලින් මරණ දණ්ඩනය නියම වන්නේ තවත් අයෙකුගේ ඝාතනයක් සිදුකළ අයට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණි. එම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වෙන කාගේවත් කමිටුවල අවශ්‍යතාවයක් නීතිය ඉදිරියේ නැත. අධිකරණ තීන්දුවෙන් පසු ජනාධිපතිවරයාගේ අත්සන යෙදු පමණින් තීන්දුව ක්‍රියාත්මක වන්නේ ය. දැන් වසර 40 ක් පුරාම කෙරෙන්නේ ජනාධිපති අත්සන යෙදීම නොකර හිඳීම ය. දැන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිගේ අත්සන යෙදීමට කමිටුවකින් තීන්දු කිරීමට යන්නේ නම් එම කමිටුව විධායකයටත් වඩා, අධිකරණයටත් වඩා, වැඩි බලයක් සහිත කමිටුවක් වනවා ඇත. එවැන්නක් පත් කරන්නේ කව්ද? විධායකයද? ව්‍යවස්ථාදායකයද? ව්‍යවස්ථාදායක සභාවද? එසේ කිරීමට නීතියෙන් ඉඩක් තිබේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණයෙන් වැරදිකරුවෙකු කරනු ලැබූවෙකුට ජනාධිපතිවරයා සමාව දීම සම්බන්ධ ක්‍රියාවලිය කෙසේ විය යුතු දැයි 34 වැනි ව්‍යවස්ථාව යටතේ විස්තර සහිතව දැක්වේ. නමුත් ජනාධිපතිවරයා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන වෙනස් ක්‍රියාවලියක් දක්වා නැත. ඒ අනුව අධිකරණය නියම කර ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතු මරණ දණ්ඩනය ගැන යලිත් තීන්දුවක් ගැනීමට කමිටුවක් පත් කරන්නේ නම් එහිදී ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ වරද හෙවත් ව්‍යවස්ථාවේ (35)(2)(i) වරදට හසුවෙන්නේ ය. ව්‍යවස්ථාව පිලිබඳ නීති විශේෂඥයන් පවසන්නේ ජනාධිපති පොළොන්නරුවේ දී කී දේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ ඉඩ කඩක් නැති බවත් එසේ කරන්නේ නම් ඊට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතු බවය.

දෙවැනි ප්‍රශ්නය

තවත් ප්‍රශ්නයක් මතුවේ. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් තවකෙකුගේ ඝාතනයට මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්ටත් එම දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් මත්ද්‍රව්‍ය වරද තවකෙකු ඝාතනය කිරීමටත් වඩා වැඩි වරදක් වනුවා ඇත. එසේ විය නොහැකිය. නීතියක් නම් සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතුය. අධිකරණය මරණ දඬුවම තීන්දු කරන සියලුම දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු වන්නේය. නැතිනම් ජනාධිපතිවරයා හෝ කමිටුවක් හෝ කැමති අය එල්ලන්නටත් අකමැති අය එල්ලන්නේ නැතිව සිටීමටත් හැකි වනු ඇත.

මේ යන්නේ ගිනි තියාගෙන යන ගමන ද?

මේ අතර යුරෝපීය සංගමය ඇතුළු බටහිර බලවත් රටවල් 9 ක් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිගෙන් මෙම තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා සිටියහ. මෙය ක්‍රියාත්මක කළහොත් යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය යලි ඉවත් කරන බවට ජනමාධ්‍ය වාර්තා ද පළව තිබිණ. රාජපක්ෂලාගේ කෙරුවාව නිසා අහිමිව තිබූ ජීඑස්පී ප්ලස් සහනය යලි හදා ගත්තේ මේ ආණ්ඩුව ආ සැනින් පළමු සතියේ දීම අත ගැසූ පළමු රාජකාරිය විලසය. එලෙස ක්ෂණිකව අත ගැසුවද එය යළි හදා ගැනීමට වසරකට අධික කාලයක් ගත විය. පසුගිය වසරේ වාර්තාගත අපනයන ආදායමක් ලබා ගත්තේ ද ඒ අනුව ය. තව මාස කිහිපයක් පමණක් බලයේ සිටීමට අවසර ඇති සිරිසේන ජනාධිපති වරයා ඒ සියල්ල කණපිට හැරවීමට සූදානම් වේ. ‘මම යනවා නම් යන්නේ සියල්ල ගිනි තියාගෙන’ යැයි වරක් ජනාධිපති කී කතාව ඔහු දැන් සත්‍යයක් කරමින් සිටිනවා දෝ කියා යහපාලනප්‍රේමී ජනතාව ප්‍රශ්න නොකළොත් පුදුම ය.

‘කවුරු විරුද්ධ වුනත් මං කරනවා’ යැයි පම්පෝරි ගසන දේශපාලකයන්ට ජනතාව විරුද්ධ වූ විට ලොතරැයියක් වත් විකුණා ගැනීමට නොහැකි වූ වග ද පසුගිය කාලයේ ඔප්පු කර තිබිණ.

– විශේෂ ලියුම්කරුවෙකු විසිනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *