අද දෙරණ උකුස්සා : කොල්ලුපිටියේ නීතිවිරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් උකුසු ඇසට හසුවෙයි

(21.07.2018 – 22:18 +0530 – sinhala.adaderana.lk)

රජයට බදුමුදල් අහිමිකරමින් පවත්වාගෙන ගිය නීති විරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද අනාවරණය ඒ පිළිබඳවයි.

කොල්ලුපිටිය වාලුකාරාම මාවතේ පිහිටි එක්තරා ගොඩනැගිල්ලක සමාජ ශාලාවලට බෙදා හැරීම සඳහා විදෙස් මත්පැන් සහ විදෙස් දුම්වැටි නීති විරෝධී අයුරින් ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමග එක්ව රහසිගත මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව උකුස්සා එම ස්ථානයට රහසිගතව ළඟා වන්නේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද සමඟින්.

අනතුරුව එම ගබඩාවට ඇතුළු වූ සුරාබදු නිලධාරීන් එහි එක් ගබඩා කාමරයක් පළමුව සෝදිසි කළේය.

එහිදි ගබඩා කර තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සොයා ගනු ලැබීය.

අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක්ද මෙහි ගබඩාකර තිබියදී සොයාගනු ලැබීය.

මෙහිදී සොයාගනු ලැබූ විදෙස් මත්පැන් බෝතල් තීරුබදු රහිතව ලබා ගත් ඒවා බව මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

අනතුරුව මෙහිදී සොයාගනු ලැබූ විදෙස් මත්පැන් බෝතල් සහ විදෙස් දුම්වැටි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිය භාරයට ගනු ලැබූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වෙයි.

රජයට බදුමුදල් අහිමි කරන මෙවැනි නීති විරෝධී ජාවාරම් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.

********************************************

ගාල්ල ක්‍රීඩාංගනය වෙනස් වෙන්නේ නෑ – අසත්‍ය ප්‍රචාරයන්ට රැවටෙන්න එපා
(21.07.2018 – 21:24 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල මහජන ක්‍රීඩාංගනය කිසිසේත්ම වෙනස් නොකරන බවත් සාමාන්‍ය ජනතාවටත් රජයටත් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටි‍යි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි :

ගාලු පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත් වෙනස්වෙන්නේ නැත.

ලෝක උරුම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය, අදාල පළාත් පාලන ආයතනය එනම් ගාල්ල මහ නගර සභාව ලෝක උරුමයේ නියෝග ක්‍රියාත්මක කරන ගාලු උරුමය පදනම (යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්ණායක අනුව අදාල අනුමැතිය ලබාදීම සඳහා) වෙතින් අනුමැතිය ලබාගත යුතුය.

එය එසේ සිදුවී නොමැති බව එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්යිවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිගෙන ඇත.

ඒ අනුව දැනටමත් යමක් කමක් කරගත නොහැකි සාමාන්යා ජනතාවට අනවසර ඉදිකරීම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති අතර එවකට පැවැති රජය විසින් ගාල්ල මහජන ක්‍රීඩාංගනයේ කර ඇති නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

නීතිය කාටත් පොදුය. පොදු ජනතාවට ක්‍රියාත්මක කරන නීතිය රජයටත් එසේම ක්‍රියාත්මක කළ යුතුය. මා මේ අවස්ථාවේ දී විදේශගත වී සිටින බැවින් ඉතා පැහැදිලිව වගකීමකින් යුතුව මෙලෙස ප්‍රකාශ කරනුයේ පොදු මහජන ක්‍රීඩාංගනය කිසිසේත්ම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන පරිදි වෙනස් කරන්නේ නැති බවයි.

—————-

ගාල්ල ක්‍රීඩාංගනය දින දෙකක් ඇතුළත කඩා ඉවත් කරන්න යැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ඇතැම් මාධ්‍යවල වාර්තා පළවී තිබු බවත් එය නිවැරදි කිරීම සඳහා අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *