‘අයි’ නමින් යාපනයේ තවත් සන්නද්ද කල්ලියක් හැදේ.. 13 ක් අත්අඩංගුවට..

(25.07.2018 – 16:40 +0530 – lankacnews.com)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් ඊයේ (24) දින අත්අඩංගුවට පත්ව ඇත.

කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට කරන ලද දැනම් දීමකට අනුව පලෙයි මරදන්කේනි ප්‍රදේශයන්හි අදාලයේ සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සමීපයේ කඩු ඇතුලු තියුණු ආයුද කිහිපයක් හා පොලු මුගුරුද තිබූ බවටත් අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතම් පිරිස් ආවා ක්‍රියාකාරකම් වලට හවුල් කරුවන්ව සිට ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමති කල්ලියක් නිර්මානය කරමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද (25) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

******************************************

ක්‍රීඩා අමාත්‍යංශයට ඇඟිලි නොගසා තමන්ගේ වැඩක් බලාගන්න
(25.07.2018 – lakbima.lk)

කී‍්‍රඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (24) දැනුම් දී ඇත.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා කළ විමසීමකින් අනතුරුව මෙම තත්ත්වය ඇතිවී ඇත.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස ප‍්‍රකාශ කළ ප‍්‍රකාශය පිළිබදව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි ලෙස කටයුතු කර නොමැති බව එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත්, තමන්ද නීතිය හරි හැටි දන්නා බවත්ය. ක‍්‍රිකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මීට මැදිහත් වී ඇත.

ජනාධිපතිවරයා එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරන ලෙසද ජනාධිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙහිදී උපදෙස් දී තිබේ.

ඊට පත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට අදාළ නොමැති බවත් නිලවරණය කඩිනමින් පවත්වා නිලධාරීන් පත්කරන්නැයිද ජනාධිපතිවරයා මෙහිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත පවසා ඇතැයි අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවැසීය ෴

++++++++++++++++++++++++++++++++++++

අමාරුවෙන් හැදු නායකය වටේ හොරු එකතුවෙලා .. ඕනෑම නායකයෙක් නරක් වෙන්නේ නුසුදුස්සෝ ඇසුරෙන් .. – අර්ජුනගේ හින්ට් එක කාටද ?..
(25.07.2018 – 14:10 +0530 – lankacnews.com)

“ක්‍රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි අත්දැකීමෙන් දැක්ක දෙයක්. අමාත්‍යවරයකේ ලෙස අපිත් වැරදි පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමයි අපේ තත්ත්වය නැති වෙන්නේ. ඇත්තටම පුද්ගලයෙක් තැනකට ගේන්න, නායකයෙක් කරන්න මහන්සි වෙන අය නෙමෙයි ඒ නායකත්වය නැති කරන්නේ. බොහෝම අමාරුවෙන් අපි නායකයෝ හදාගෙන තැනකට ගෙනාවාම දූෂිත හොරකම් කරන පුද්ගලයින් ඒ නායකයා, නායකත්වය විනාශ කරලා දානවා. එතොකොට මගේ ලේකම්තුමා උපාලි මාරසිංහ මහතා කිව්වා පෙබරවාරී මාසයේදී විශ්‍රාම ගන්නවා කියලා. එතකන් ඔබතුමාටත් මටත් එකට වැඩ කරන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා….” යි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රචිත “ඵලදායී රාජ්‍ය ආයතන” හා “ඉදිරිපත් කිරීමේ කුසලතා” යන කෘති ද්විත්වය දොරටවැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය 24වැනිදා සැදෑ කාලයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලික කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

“රාජ්‍ය ආයතන පෞද්ගලික කරනව නම් ඒ කරන්නේ රාජ්‍ය ආයතනවල සිටින අයගේම දුර්වලතා සහ නොසැළකිලිමත්කම හින්දා කියන එක ඉතාමත් වගකීමකින් මම කියනවා. රාජ්‍ය පරිපාලනයේදී රාජ්‍ය නිලධාරීන් ලෙස තීරණ ගන්නබි බය වෙන්න ඕනේ නැහැ. රටක් වෙනුවෙන් හිතලා හරි තීරණ ගන්නකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. අද රාජ්‍ය අංශය පසුගිය කාලේ වූ දේශපාලන බලපෑම් සමඟ ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තියෙනවා. සමහර නිළධාරීන් තීරණ ගන්න බයයි. නමුත් අපිට ඒ අයට ඒ ගැන දොස් කියලම බැහැ. නමුත් අනිත් පැත්තෙන් බැලූ විට පහුගිය කාලේ කියපු දේ කලේ නැතිවුණාම ඊට පහුවෙනිදා රාජ්‍ය නිලධාරීයා ගෙදර යන තත්ත්වයක් තිබුණා. අද එය අපි වෙනස් කර තිබෙනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය ආයතනවල ඵලදායිතාව ඉහළ නැංවීමේදී ආයතන ප්‍රධානියාට ඉහළ වගකීමක් පැවරෙන බවයි.

“රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් රාජ්‍ය පරිපාලනයට පැමිණෙන්නේ විවිධ පරිසරවලින්. ඔවුනට පරිසරය අනුව උරුම වූ සංස්කෘතීන් තියෙනවා. ආකල්ප තියෙනවා. විවිධ මතිමතාන්තර තියෙනවා. ඒ සේරමත් සමඟ රාජ්‍ය සේවයට පැමිණියත් රාජ්‍ය සේවයට උරුම වූ සංස්කෘතිය, රාජ්‍ය සේවයේ මතිමතාන්තර, රාජ්‍ය සේවයේ ක්‍රමවේදය සමඟ එක් වෙන්න රාජ්‍ය නිලධාරීයාට සිදු වෙනවා. එහෙම නොවුණොත් රාජ්‍ය නිලධාරීයා ලිහල දාපු හරක් රෑනක් වගේ. ඒ නිසා මා ලියූ ග්‍රන්වලින් අපිට පුලුවන් ආයතන ප්‍රධානීන් පත්වෙනකොට තමන්ගේ ආයතනය මොන විදිහට පෙළගස්වන්න පුලුවන්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගන්න…..” යිද උපාලි මාරසිංහ මහතා පැවසීය.

උත්සව සභාවට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලෙහි සභාපති මහින්ද මඩිහහේවා, ගරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, ගරු රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්ද සහභාගි වූහ.

– තමීර මංජු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *