කහඉරි සුදුඉරි කිරීම ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් තොරයි..

(26.07.2018 – 17:30 +0530 – lankacnews.com)

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය,
මගනැගුම මහමැදුර,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත, බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

ප්‍රමිතියෙන් තොර මාර්ග සලකුණු කිරීම්

ලෝකෙ සම්මත ක්‍රමවේදයකට අනුව අප දන්නා තරමින් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් මාර්ගය මත සිදුකරනා මාර්ග සලකුණු කිරීම් සඳහා ආපස්සට පරාවර්තනයවන තීන්ත (Retro Reflective Thermoplastic paint) භාවිතා කර යුතුය.

නමුත් පසුගිය රජයේ අවසාන කාලයේ සිට මාර්ගය මත සිදු කරනා මාර්ග සලකුණු කිරීම් සඳහා එවැනි පරාවර්තනයවන තීන්ත වර්ගයක් භාවිතා නොකරයි (විශේෂයෙන් මෑත කාලීන කහ ඉරි, සුදු ඉරි කිරීමේ දී). මේ හේතුවෙන් පදික මාරු හා මාර්ගයේ අවදානම් කලාප ද රාත්‍රි කාලයේ පෙනීම ඉතාමත් අපහසුවන අතර, මේ හේතුවෙන් රියදුරන් අතින් රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවන බවට අපට වාර්තා වේ. එලෙස පරාවර්තනය වන තීන්ත වර්ගයක් භාවිතා නොකරන්නේ ඇයි?

පාසැල් අවට අතුරු මාර්ගවල ඇති කරනා වේග ඉදිමුම් (speed bumps) පිළිබඳව රියදුරන්ව පෙර තියා දැනුවත් නොකරයි. ඒවා අන්තර්ජාතික පිළිගත් ආකාරයෙන් මාර්ගය මත සලකුණු නොකරයි. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් අනතුරට ලක්වන අතර වාහන හා යතුරුපැදිවලට දැඩි හානි සිදුවේ.

තවද, මාර්ග සංවර්ධන කටයුත්තක් අවසන් වුවද මාස ගණනාවක් යන තෙක් එම මාර්ගවල මාර්ග මත සලකුණු (අවදානම් කලාප, මංතීරු සලකුණු) කිසිවක් සිදු නොකරයි. එකී අවදානම් කලාප කිසිවක් නොමැතිව පදික මාරු පමණක් සලකුණු කරයි. උදාහරණ, කටුබැද්ද පිලියන්දල මාර්ගයේ කටුබැද්ද හා කැස්බෑව සීමාව අතර කොටස. ඇතැම් අවස්ථාවල අවදානම් කලාප ද නිසියාකාරව මාර්ගයේ සලකුණු නොකරයි (මාර්ග සංවර්ධන අධිකාරියට 2018-07-04 දිනතිව යවා ඇති ලිපිය).

ලංකාවේ ඕනෑම මාර්ගයක හෝ මහාමාර්ගවල (පලාත් හා ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළු) ඇති ගැටලු හා අවදානම් ගැන ජනතාවට පැය 24 පුරා වාර්තා කිරීමට හා ඒ පිළිබඳව කඩිනමින් පියවර ගැනීමට මෙහෙයුම් මැදිරියක් පිහිටුවීමට මාර්ග අනතුරු පිළිබඳව කිඹුල් කඳුළු හලමින් රථවාහන දඩ වැඩි කරනා යහපාලන රජය මෙතෙක් පියවර ගෙන නොමැත්තේ ඇයි?

තවද, ශ්‍රී ලංකා පොලිසියේ මාර්ග ආරක්ෂාව ගැන කිසිම දැනුමක් නොමැතව දේශපාලන පත්වීම් ලබා ඇති ඇතැම් නූගත් රථවාහන නිලධාරීන් විසින් ප්‍රායෝගික නොවන මෝටර් රථ පනතේ නීති ඇසුරෙන් යතුරුපැදිකරුවන් හා වාහන රියදුරන් සවිකරනා අමතර පහන් ගලවා දැමීමට කටයුතු කරති. ඒ සඳහා රු. 50,000 – 300,000 දඩ අය කිරීමට කටයුතු කරති. යතුරුපැදිකරුවන් හා රියදුරන් එකී පහන් සවිකිරීමට කටයුතු කරන්නේ මාර්ගයේ ප්‍රමාණවත් ආලෝකයක් නොමැති වීම නිසාය. වාහනයට පුද්ගලයන්, වාහනවලට වාහන, හා වාහනවලට මාර්ගයේ දුර්වලතා නොපෙනී යෑම නිසා රාත්‍රි කාලයේ සිදුවන අනතුරු වැඩි නිසාය.

ගරු අමාත්‍යතුමනි මේ අනුව, අප විසින් 2016 අංක 12 තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔබ අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීයාගෙන් කරන තොරතුරු ඉල්ලීම් මෙසේය.

1. ශ්‍රී ලංකාවේ මාර්ග හා මහාමාර්ග කිලෝමීටර් කොපමණ තිබේද?

2. ශ්‍රී ලංකාවේ මාර්ග හා මහාමාර්ග ආලෝක කිරීමට ශ්‍රී ලංකාව භාවිතා කරනා අන්තර්ජාතික ප්‍රමිතියක් තිබේ ද? එසේ නම් එය කුමක් ද?

3. එකී ප්‍රමිතියට ආලෝක කර තිබේනා මාර්ග හා මහාමාර්ග කිලෝමීටර් කොපමණ ද? ඉන් කිලෝමීටර් කීයක ආලෝක කනු මාස 6 කට වරක් වත් නඩත්තු කර තිබේ ද? ඉන් කිලෝමීටර් කීයක් ක්‍රියා කාරීව තිබේ ද?

4. ශ්‍රී ලංකාව මාර්ගය මත සිදු කරනා මාර්ග සලකුණු කිරීම් සඳහා භාවිතා කරන අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතිය කුමක් ද?

5. මාර්ගය මත සිදු කරනා මාර්ග සලකුණු කිරීම් සඳහා පරාවර්තනයවන තීන්ත වර්ගයක් භාවිතා නොකරන හේතුව කුමක් ද?

6. ශ්‍රී ලංකාවේ මාර්ග හා මහාමාර්ගවල වේග සීමා ඉදිමුම් (speed bump) කීයක් තිබේද? ඉන් කීයක් පෙර දැනුම් දී, මාර්ගයේ නිසියාකාරව සලකුණු කර තිබේ ද?

චිරන්ත අමරසිංහ
සභාපති

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *