උතුරේ හමුදාව ගැන දෙමළ දේශපාලනඥයන් කියන බොරු වලට යාපනය ආඥාපති උත්තර දෙයි..!

(26.07.2018 – News e Lanka)

උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බව කියා සිටියත් යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් යයි යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා කියා සිටියේ උතුරේ යුද සමයේදීවත් හමුදා භටයින් ලක්ෂයක් නොසිටි බවයි.

දැනට යාපනයේ 51, 52 හා 55 යන සේනාංක යටතේ ස්ථාන ගත කොට සිටින හමුදා සේනාංක යාපනයේ ආරක්ෂාවට ප්‍රමාණවත් බවත් මෙම සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

දැනට යාපනයේ සිටින හමුදා භට පිරිස් වලින් ආරක්ෂාව සැලසෙනවාට වඩා විශාල සේවාවක් යාපනයේ දෙමළ ජනතාවට ලැබෙන බවද දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

යාපනයේ හදිසි ගිණි නිවීමේ කටයුතු, කෝවිල් උත්සව, පොදු ස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම, ශ්‍රමදාන, උත්සව සංවිධානය, නිවාස ඉදි කිරීම, පැලසිටුවීම ඇතුළු කාර්යයන් විශාල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සම්බන්ධ වන බව පවසන ජෙනරාල්වරයා මේ හේතුව නිසා යාපනයේ දෙමළ ජනතාව හා යුද හමුදාව අතර හොඳ අවබෝධයකින් යුතු සහසම්බන්ධයක් ගොඩ නැගී ඇති බවද මේ සාකච්ඡාවේදී කියා සිටියේය.

– දිනසේන රතුගමගේ

*********************************************

පොහොට්ටුව මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය ගොඩනංවනයි…
(27.07.2018 – 06:31+0530 – lankacnews.com)

තෝරාගත් විශේෂිත ක්ෂේත‍්‍ර කිහිපයක් සදහා අනු සංවිධාන ජාලයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය පෙරමුණක්, උපාධිධාරී පෙරමුණක්, ගොවි පෙරමුණක්, ධීවර පෙරමුණක්, ව්‍යාපාරික පෙරමුණක් සහ පෙර පාසල් ගුරු පෙරමුණක් ආදී වශයෙන් මෙම සංවිධාන ජාලය ස්ථාපිත කෙරේ.

ධීවර, ගොවි සහ උපාධිධාරී සංවිධාන ග‍්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩනැංවෙන අතර ව්‍යාපාරික පෙරමුණු ජාලය නගර සහ පළාත් පාලන බලප‍්‍රදේශ මට්ටමිනුත්, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ලෙහිම ශාඛා සහිත ජාතික සංවිධානයක් ලෙසත්, කඩිනම් වැඩපිළිවෙලක් ඔස්සේ ස්ථාපිත කිරීම පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ස්ථාපිත කෙරෙණ මෙම සංවිධාන ජාලයට අදාළ සාකච්ඡ වට කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්විය.

මෙම සාකච්ඡුාවල දී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ මෙම අනු සංවිධාන සියල්ල මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය ලෙස ගොඩනංවන බවයි.

වත්මන් රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් සියලු ක්ෂේත‍්‍රයන් තුළ සිදු වී ඇති දැවැන්ත පරිහානිය සහ කඩාවැටීම හේතුවෙන් සෑම ක්ෂේත‍්‍රයකින්ම බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ඉල්ලූමක් පොහොට්ටුවේ අනු සංවිධාන ජාලය වෙත ලැබෙමින් පවතින බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කලේය.

විවිධ ක්ෂේත‍්‍රවලින් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එක් එක් ක්ෂේත‍්‍රයන්ට අනන්‍ය වන පරිදි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනු සංවිධාන ඉදිරියෙදී තවදුරටත් බිහිවීම සිදුවනු ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නායකත්වයෙන් පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ගේ මෙහෙයවීම යටතේ ස්ථාපිත කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇත.

-සංජීව එදිරිමාන්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *