මංගල සොයා ගත් ඩොලර් ගැන ගම්මන්පිල ප්‍රශ්න කරයි

(31.07.2018 – 18:22 +0530 – sinhala.adaderana.lk)

රාජපක්ෂවරුන් සන්තකයේ තිබූ මුදල් සොයා ගත් බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමය පවසයි.

එම පක්ෂ මුලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

2015 මාර්තු 14 දින ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රාජපක්ෂවරු සොරකම් කළ ඩොලර් බිලියන ගණනක් දැනටමත් සොයා ගෙන තිබෙන බව පවසන බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය :

‘‘ඩොලර් බිලියන 15 ක් සොයා ගෙන ඇත්තේ‍්, 2015 මාර්තු, එනම් අදට වසර තුනයි මාස හතරකට කලින්. නමුත් මේ සොයා ගත් මුදල තවම භාණ්ඩාගාරයට බැර කරලා නෑ. ඒ මුදල තිබුණා නම් වසර දෙකක් විතර විදේශ ණය වාරික ගෙවන්න තිබුණා.

නමුත් ඒ මුදලට වුණු දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා සොරකම් කල සල්ලි කියලා ඔවුන් කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් කිව්වේ නැහැනේ මං ගාව මෙහෙම සල්ලියක් තියෙනවා කියලා.

නමුත් මංගල සමරවීර ඇමතිතුමන් කියනවා මේ සල්ලි හොයාගත්තා කියලා. හොරකම් කරපුවා හොරකම් කිරීමේ කම්බ හොරා බවට මංගල සමරවීර ඇමතිතුමා පත්වුනාද?

එහෙම නම් දැන් රාජ්‍ය දේපල අපහරණයට සහ සොරකම් කිරීමට මංගල සමරවීර ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නැති නම් රටට බොරු කියනවා වගේම දැන් ජාත්‍යන්තර මාධ්‍යවලටත් තමන් කියන්නේ බොරු බව එතුමා පිළිගත යුතුයි.

කිව්වේ බොරුවක් කියලා පිළි ගත්නේ නැති නම් එතුමා මුදල් වංචාවක් කළ බවට පොලිසියට පැමිණිලි කිරීමට අපට සිදු වෙනවා’’ ෴

******************************************

මංගලගෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් වෙයි
(31.07.2018 – 16:43 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ පළාත් ප්‍රධාන ලේකම්වරයා හා මූල්‍ය අංශයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය යුතු යැයි මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 03/2018 හා 2018.07.18 දිනැති චක්‍රලේඛයේ සඳහන්ව තිබේ.

රජයේ ව්‍යවස්ථාපිත ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම බාරගත යුතුයැයි මෑතදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුයැයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව, මින් මතුවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවන්නේනම් ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන භාර ලේකම්වරුන්/ ප්‍රධාන ලේකම්වරුන්/ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ ආයතනයන්හි මූල්‍ය ප්‍රධානීන් වගකිව යුතු බවට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *