පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 05 වන දා පැවැත්වෙයි

(02.08.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk)

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 55,326 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.

පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.

මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

සෑම විභාග අපේක්ෂකයෙකුම සිය විභාග අංකය ඇදුමේ වම් පස පැළඳ සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

මීට අමතරව මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල්වීමට අවස්ථාව ලබා නොදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සදහන් කළා ෴

****************************************

GMOA යළිත් වැඩවර්ජනයකට සැරසෙයි
(01.08.2018 – 20:50 +0530 – sinhala.adaderana.lk)

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධ ගැටලුව ඇතුළුව තමන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් රජය සාධනීය මැදිහත් වීමක් සිදු නොකළහොත් එළැඹෙන 03 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය ස්ථිර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේය.

සයිටම් අර්බුද තියන තැනට සිංගප්පූරු ගිවිසුම ආදේශ කර ගැනීමට අවශ්‍යද යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා රජයෙන් ප්‍රශ්න කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට මෙම ගිවිසුම 1815 ගිවිසුමටත් වඩා භයානක බවත් මේ ගිවිසුම සාධාරනීය කරනය කිරීමට උත්සහ නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම ගිවිසුම සාධාරණීය කරනය කිරීමට උත්සහ කරන ඔනෑම අයෙකුට ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ මඟින් බලයට පත්වීම සිහිනයක් බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *