සෝමරත්නට සහ රේණුකාට එරෙහිව නඩු පැවරීමට සැරසෙයි

(02.08.2018 – 20:34 +0530 – sinhala.adaderana.lk)

නිෂ්පාදනය කිරීමට සැරසෙන අලුත්ම චිත්‍රපටයේ වැඩකටයුතු නවතන ලෙස දන්වා චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත ලියාපදිංචි තැපැල් මඟින් ලිපියක් යොමුකොට තිබේ.

සිය සේවාදායකයාගේ උපදෙස් මත මෙම ලිපිය යොමුකොට ඇත්තේ ශ්‍රේෂ්ටාධිකරණ නීතිඥ ජානක එදිරිසිංහ විසින් බව වාර්තා වෙයි.

තම සේවා දායකයා වන දෙහිවල මල්වත්ත පාරේ අංක 66/3/1/1 ලිපිනයේ පදිංචි නඩරාජා මනිවානන් නැමැත්තා විසින් තිර රචනා කරන ලද සිනමා තිරපිටපතක් අනවසරයෙන් චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කිරීමට සැරසෙන බව හෝ කර ඇති බව තමා වෙත දැනුම්දී ඇති බවත් එම ක්‍රියාවලිය නවතන ලෙසත් ලිපිය මඟින් නීතිඥවරයා දැනුම්දී තිබේ.

ලියාපදිංචි තැපැල් මඟින් යොමුකොට ඇති මෙම ලිපිය යොමුකොට ඇත්තේ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය වෙත බව සඳහන්ය.

2018 මාර්තු අප්‍රේල් කාලයේ මෙම තිර පිටපත විවිධ නිෂ්පාදකයින් වෙත යොමුකොට ඇති බවත් ඩයලොග් සමාගමද ඒ අතර වන බවත් තිර රචකයා තමාවෙත දැන්වූ බව නීතිඥවරයා ලිපියේ සඳහන් කරයි.

නමුත් එම කතාව යම් සුළු වෙනස් කිරීම් පමණක් සිදුකරමින් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය එක්ව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට සැරසෙන බව ඔහු දැනගත් මොහොතේ නීතිඥවරයා මඟින් මෙම ලිපිය යවන බවත් ලිපියේ සඳහන්ය.

“2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත ප්‍රකාර සිවිල් වන්දි හා අලාභ උදෙසා මෙන්ම එහි දැක්වෙන අපරාධ වරද සංස්ථාපනය වීමක් සිදු වුවහොත් අපරාධ අධිකරණයේ නඩු පැවරීමටද මගේ සේවාදායක නිශ්චිතවම ක්‍රියාකරන බව සහ නීතියේ පිහිට පතන බව ඔබට දන්වන ලෙස මට උපදෙස් ලැබී තිබේ” යනුවෙන් එම ලිපියේ දැක්වෙයි.

කෙසේ නමුත් ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසුරිය යුවල පසුගියදා අලුත් චිත්‍රපටයක වැඩ ආරම්භ කිරීමට යන බව තොරතුරු වාර්තා විය.

මේ අතර නීතිඥවරයා විසින් යොමුකොට ඇති මෙම ලිපියේ පිටපත් මාධ්‍ය වෙත යොමුකිරීමටද එම පාර්ශවය කටයුතු යොදා තිබේ ෴

++++++++++++++++++++++++++++++++++



*****************************************

අම්පාරේ සුළි සුළඟක් නිසා නිවාස 100 කට හානි
(02.08.2018 – 21:51 +0530 – sinhala.adaderana.lk)

අම්පාර නගර සීමාවේ නවගම්පුර ගම්මානය හරහා හමා ගිය සුළි සුළඟක් නිසා නිවසා සියයකට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇති බව අම්පාර දිසාපති තුසිත.පි.වනිගසිංහ මහතා පවසයි.

අද (02) සවස පහට පමණ අධික වර්ෂාව සමඟ සුළං තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.‍

සුළි සුළඟින් නිවාසවල සේම උළු, තහඩු , ඇස්බැස්ටෝ, වහලවලට සෙවිලි කළ නිවාසවල වහල සුළඟින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබු අතර ඇතැම් නිවාස වල වහලය පිටින්ම ගැලවී ගොස් තිබු බව ජනතාව පවසයි.

ගස් කඩා වැටීම නිසා අභ්‍යන්තර මාර්ග අවහිර වි ඇති අතර අම්පාර නගර සභාව සහ අම්පාර පොලීසිය, අම්පාර දිසාපති කාර්යාලය මැදිහත්ව ඒවා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියි.

ගස් කඩා වැටීම නිසා විදුලි රැහැන් වලට හානි සිදුවිම නිසා නවගම්පුර ගම්මානයට විදුලිය බිද වැටී අති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

හානි විදුලි රැහැන් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුත් කරමින් සිටින අතර විපතට පත් අයට සහන සැළසීමට කටයුතු කරන බව අම්පාර දිසාපති තුසිත.පී.වනිගසිංහ මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *