තිලංගගේ පත්තරෙන් ගහනවාට බිය නොවී කෝප් කමිටු සභාපති හෝ හෙව්වොත් හෙළිවන තවත් හෙල්පින් හම්බන්තොටක් වූ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතිය !

(04.08.2018 – News e Lanka)

– ‘නිව්ස් ඊ ලංකා’ ස්පෝර්ට්ස්මන් ගේ හෙළිදරව්වකි –

ගැහිල්ලට සහ නාස්තියට ලංකාවේ තවත් නම ගිය තැනක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොබෝදා හොඳ පුන්‍ය කටයුත්තකට මුදල් යෙදැවීය. ඒ එහි මෙතෙක් සුදු අලියෙකුව තිබූ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතියෙන් රුපියල් මිලියනයක ඖෂධ පිළිකා රෝහල වෙත ලබා දීම ය. මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් සහභාගී වීම ද විශේෂත්වයකි.

තම ප්‍රධාන අමාත්‍යාංශය සතු පළාත් පාලන ඡන්ද පැවැත්වීම අමතක කොට මේ වන විට අමතරව ලැබූ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පස් වනක් ප්‍රීතියෙන් පිනා ගොස් සිටින ෆයිසර් මුස්තාපා මහතා මේ කටයුත්තට මුල් වීම ගැන කෙසේ වෙතත් ඔහුට මල් මිටක් පිදීමත් වටී.

ක්‍රිකට් ආයතනයේ පාලනයත් දැන් තම අමාත්‍යාංශයෙන්ම කරගෙන යන නිසා ඔහුට එහි පවතින ක්‍රිකට් ඒඩ් නම් පෞද්ගලික මට්ටමේ ව්‍යාපෘතිය ගැන දැන ගන්නට ලැබී ඇති අතර එහි ඇති මුදල් වලින් යම් පුන්‍ය කටයුත්තක් කර තමන්ට ද පොඩි පහේ ඡන්ද වාසියක් ගැනීමට ඔහුට උවමනා විය.

සුනාමියත් සමග ක්‍රිකට් ආයතනය ආරම්භ කළ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතිය ද හෙල්පින් හම්බන්තොට ගිණුම පරිදි ම මුල සිට ම ප්‍රශ්නාර්ථයට තුඩු දුන් ව්‍යාපෘතියක් විය. තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ව සිටි අවධියේ ආරම්භ කළ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතියට සුනාමි ආධාර යටතේ විශාල වශයෙන් දෙස් විදෙස් ආධාර ගලා ආවේ ය. මේ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතිය ආරම්භයේ එහි අධ්‍යක්ෂවරයා වශයෙන් තිලංග පත් කෙළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ය.

හෂාන් තිලකරත්න වසරකට වැඩි කාලයක් මේ ව්‍යාපෘතියෙන් මසකට රුපියල් ලක්ෂ 2 ක පමණ වැටුපක් ලැබූ අතර දකුණේ හා උතුරේ සුනාමියෙන් අවතැන් වූ පවුල් වෙත ධීවර බෝට්ටු, කූඩාරම්, ගෘහ භාණ්ඩ, වියළි ආහාර ආදිය බෙදා දීම ද සිදු කෙරිණ.

මේ අතර උතුරු නැගෙනහිර සුනාමියෙන් අවතැන් වූ පවුල් වලින් තෝරා ගත් දූ දරුවන් දහසකට මසකට රුපියල් 1000 ක තැන්පතුවක් සහිත බැංකු පොත් ප්‍රදානයක් ද සිදු කරන ලදී. මේ මගින් කෙතරම් මුදලක් දරුවන්ට ලැබුණේ ද යි විගණනයක් නො වූ අතර ක්‍රිකට් ඒඩ් කාර්යාලයේ තිබූ බැංකු පොත් සිය ගණනක් පසුව එම කාර්යාලය වසා දැමීමේ දී එහි තිබී විනාශ කරන්නට යෙදිණ.

අදටත් එම අවදියේ ගිණුම් වාර්තා නොමැති අතර තිලංග සුමතිපාල 2016 දී යළි ක්‍රිකට් සභාපති වූ පසු ක්‍රිකට් ඒඩ්, ක්‍රිකට් ආයතනයට වග නො කියන වෙනම සමාගමක් ‍ලෙස ස්ථාපිත කරනු ලැබීය.

මේ නව ක්‍රිකට් ඒඩ් සමාගමේ ගිණුම් කටයුතු හා කාර්යාලයීය කටයුතු ද වෙනුවෙන් උපාලි සෙනෙවිරත්න නම් ක්‍රිකට් ආයතනයේ කලින් සේවය කර ගෙදර ගිය අයෙක් පත් කරන ලදී.

මේ අතර කාලයේ දී රවින් වික්‍රමරත්න හා ෂම්මි සිල්වා යන ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් දෙදෙනා විසින් තිලංග සුමතිපාලගේ අනුදැනුම ඇති ව ක්‍රිකට් ඒඩ් අරමුදල වෙනුවෙන් ඩුබායි, එංගලන්තය හා ඕස්ට්‍රේලියාවේ රාත්‍රී භෝජන සංග්‍රහ සංවිධානය කරන්නට යෙදුණු අතර ඒ වෙනුවෙන් රවීන් වික්‍රමරත්න විදෙස් සංචාර සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත්තේ ය. මේ කිසිදු භෝජන සංග්‍රහයකින් ලාභයක් ලැබී නැත. (ඒ පිළිබඳ ලංකා ඊ නිව්ස් හි මීට පෙර සවිස්තරාත්මක ලිපි පළ කර තිබේ)

පසුගිය වසරේ ගං වතුර එද්දී ක්‍රිකට් ඒඩ් මගින් මතුර බෝතල් එක් රැස් කර බෙදා දීම සිදුවි ය. ගං වතුර බැස යන තෙක් ම ක්‍රිකට් ආයතනයේ කොරිඩෝර වල ගොඩ ගසා තිබූ වතුර බෝතල් රැසක් පසුව හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ මැතිවරණ බල ප්‍රදේශයට ගෙන ගොස් බෙදා දීමට තිලංග කටයුතු කෙළේ ය.

භෝජන සංග්‍රහ වල දී අලෙවි කිරීමට හා වෙන්දේසි කිරීමට ක්‍රිකට් පිති හා විවිධ සමරු භාණ්ඩ ලක්ෂ ගණන් වියදම් කර සකස් කළ ද, ඒවා වැඩි කොටසක් ආපසු ලංකාවට හරවා එවන ලදී. එම ඉතිරි භාණ්ඩ වලට සිදු වූ දෙයක් හෝ විගණනයක් මෙතෙක් සිදු කර නැත. ඒ සියල්ල කරන ලද්දේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ෂම්මි සිල්වාගේ මෙහෙයැවීමෙනි.

මේ ක්‍රිකට් ඒඩ් ව්‍යාපෘතිය පිළිබඳ ව කොමිසමක් පත් කර එහි මූල්‍ය අක්‍රමිකතා ගැන සොයා බැලුව හොත් ගැහිලි සිදු වූ ආකාරය හොඳින් ම රටට හෙළිදරව් කර ගත හැකි ය.

එහෙත් හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර හෝ වත්මන් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා හෝ ඒ ගැන කිසිදු උනන්දුවක් දක්වන බවක් මෙතෙක් පෙනෙන්නට නැත.

තිලංගගේ පත්තරයෙන් පහර දෙනවාට බිය නො වී, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති හෝ මේ ගැන සොයා නො බලන්නේ නම් හෙල්පින් හම්බන්තොට පරිදි ම ක්‍රිකට් ඒඩ් දූෂණය ද කාලයේ වැලි තලාවෙන් වැසී යනු ඇත.

– ‘නිව්ස් ඊ ලංකා’ ස්පෝර්ට්ස්මන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *