රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි

(04.08.2018 – 12:43 +0530 – newsfirst.lk/sinhala)

රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ.

ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64 කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට සමත් වූ බව ය.

නීති විරෝධී ලෙස රන් කැබලි මිශ්‍ර පස් විදෙස්ගත කිරීමේ චෝදනාව මත එම කන්ටේනර්වලට රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් නියම කර එම අපනයනය කිරීම තහනම් කිරීමට රේගුව පියවර ගෙන තිබේ.

එම සිද්ධියෙන් පසුව තවත් එවැනි ම පස් කන්ටේනර් 15 ක් පසුගිය අඟහරුවාදා ඉන්දියාවට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා ගත් බව ද එම නිලධාරියා පැවසුවේ ය.

ඒ, භූ විද්‍යා හා පතල් කාර්යංශය සිදු කළ පස් සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය.

මේ සම්බන්ධයෙන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීමකින් තොරව තවදුරටත් කොළඹ රේගු අපනයන භාණ්ඩ පර්යන්තයේ රඳවා තිබේ ෴

++++++++++++++++++++++++++++++

රන් ජාවාරමට භූවිද්‍යාවේ දෙදෙනකුගේ වැඩ තහනම්
(05.08.2018 – 22:38 +0530 – lankadeepa.lk)

රන් කැබලි මිශ්‍ර පස් පිටරට යවා ඇත්තේ එම රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට යැයි ශ්‍රී ලංකා රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම රත්තරන් මිශ්‍ර පස් පිටරට යැවීමට පෙර භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකු පස් පරීක්ෂණ අවශ්‍ය නැතැයි කියමින් අවසර පත් නිකුත් කර ඇත. එලෙස අවසර දීමට ක්‍රියා කළ කාර්යංශයේ නිලධාරීන් දෙපළගේ වැඩ තහනම් කර ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

මෙම ජාවාරම මෙරට ව්‍යාපරිකයන් පිරිසක් හා ඉන්දියාවේ රත්තරන් ව්‍යාපාරිකයන් හවුල් වී ඇතැයි හෙළි වී තිබුණද මුදල් විශාල වශයෙන් එහා මෙහා වී තිබීම නිසා පරීක්ෂණ කටයුතුද යටපත් වී අතැයි වාර්තාවේ ෴

***************************************

ආවා ගෲප් 7 ක් යතුරු පැදි 3 ක් සමග අල්ලයි; රිමාන්ඩ් කරයි
(03.08.2018 – News e Lanka)

යාපනයේ විවිධ පළාත්වල නිවෙස් වලට අලාභ හානි කරමින් සාමාන්‍ය වැසියන්ව කඩුවලින් කපා දැමූ ‘ආවා ගෲප්’ කල්ලියේ සාමාජිකයින් හත්දෙනකු යාපනය ප‍්‍රදේශයේ දී මනිපායි පොලීසිය විසින් 2 දා අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් මුහුණු ආවාරණය කර ගෙන යතුරු පැදිවලින් රාත‍්‍රී කාලයේ පැමිණ මෙම පහරදීම් සිදුකරන ලද අතර පොලිසිය පැවසූයේ ‘ආවා ගෲප්’ කල්ලියේ පහරදීම් සඳහා යොදාගත් යතුරුපැදි තුනක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරුවන් මීට ඉහතදී කොල්ලකෑම් හෝ පහරදීම් සිදුකළ පුද්ගලයින් ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවද මනිපායි පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මනිපායි ආනාකොඩ්ඩෙයි, උඩුවිල්, චුන්නාගම් යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 22 අතර තරුණයෝ පිරිසකි.

සැකකරුවන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

– දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *