ලංකාවට එවන්න හැදූ ඩෙටනේටර් 5,000 ක් ඉන්දියාවේදී අල්ලයි

(05.08.2018 – mawbima.lk)

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් පන්දහසක් සහිත පෙට්ටි පනහක් රාමේශ්වරම් පොලිසිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

පොලිසියට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රාමේශ්වරම් නගරයේ නිවෙසක පිටුපස සඟවා තිබියදී එම ඩෙටනේටර් පන්දහස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් හත්දෙනකුද අත්අඩංගුවට ගත් බව රාමේශ්වරම්හි පොලිස් අධිකාරි ඕම් ප්‍රකාෂ් මීනා ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගන්නා ලද ඩෙටනේටර් පන්දහස ඉන්දීය රුපියල් එක්ලක්ෂ දසදහසක වටිනාකමින් යුක්ත වනු ඇතැයි ගණන් බලා ඇති බවද පොලිස් අධිකාරිවරයා පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් තිදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම ඩෙටනේටර් තොගය ශ්‍රී ලංකාවට රැගෙන යෑමට සැලසුම් කර තිබූ බවය.

ඉන්දියාවේ නිෂ්පාදිත යැයි සටහන් කරන ලද පෙට්ටිවල අසුරා ඇති ඩෙටනේටර් තොගය සිවගන්ගා ප්‍රදේශයේ පිහිටුවා ඇති පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන ගබඩාවක් තුළ ආරක්ෂාකාරීව තැන්පත් කර ඇතැයිද පොලිස් අධිකාරිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ ෴

***************************************

කිලෝමීටර් 7 ක් පයින් ගොස් සිංහලෙන් ඉගෙන ගන්නා ද්‍රවිඩ දරුවන්
(03.08.2018 – mawbima.lk)

පාසල් විය සුන්දර අවධියක් බව අපි කවුරුත් සිතමු. නමුත් පාසල් විය සුන්දර වියක් වන්නේ අප හැමෝටම නොවන බව නම් පැහැදිලිය. ඒ බව අපට පසක් වූයේ පසුගිය 1 දා දෝතල්ඔය වත්තේ උඩකොටසේ අක්කර 50 ඩිවිෂණයේදී අපට හමු වූ පාසල් දරුවන් කිහිප දෙනෙකු දැකීමෙනි. ඔවුහු කලේ සෙල්වම්, ජනනි ශාලනී, සූරිය ප්‍රභා, දේවයානි, කවිදා, සූරියකලා යන නම්වලින් හැඳින්වෙති.

අලුයම 6.30 ට පමණ නිවෙස්වලින් පිටත් වන මේ දරුවන් පෙරවරු 8.00 පමණ වන විට පාසලට ළඟා වන බව අප සමඟ පැවැසූහ. මෙම දරුවන් අපට හමුවන විට පස්වරු 3.00 ත් පසු වී තිබිණි. තේ වතු මැදින් පැන දුවමින් කිලෝමීටර් 7 ක් පමණ පයින් ගමන් කර මෙම දරුවන් අක්කර 50 හි පිහිටි තම නිවෙස් වෙත ළඟා විය යුතුව ඇත. අද දිනයේ විභාගය පැවැති බැවින් පාසල පස්වරු 1.00 ට පමණ ඇරුණු බව එම දරුවන් අප සමඟ පැවැසීය. ඒ අනුව අපට හමුවන විට පැය දෙකක් පමණ මේ දරුවන් තේ වතු මැදින් පා ගමනින් ගමන් කර තිබූ අතර එතැන් සිට ඔවුන්ගේ නිවෙස් වෙත යෑමට තවත් කිලෝමීටරයක් පමණ යා යුතු විය. වෙනත් පාසල් දරුවන් පාසල ඇරී පෞද්ගලික පන්තිවලටද සහභාගි වී නිවෙස් කරා යන වෙලාවට මෙම දරුවන්ට පාසල් ඇරී නිවෙස් වෙත යෑමට සිදුව ඇත.

මෙහි පවත්නා අනෙක් ඛේදවාචකය නම් පයින් කිලෝමීටර් 7 ක් ඇවිද ගොස් යන පාසලේදීද ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ තම මවුබසින් නොවීමයි. මේ දරුවන් යන පාසල වන්නේ කෑ/දෙහි/කැකනපන කනිෂ්ඨ විද්‍යාලයයි. අරණායක ජීවත් වන දරුවන් පාසල් යනුයේ දෙහිඕවිට කලාපයේ පාසලකටය. එහිදීද අධ්‍යාපනය ලබා දෙනුයේ සිංහල මාධ්‍යයෙනි. දෝතල්ඔය වත්තේ ජනතාවගෙන් සියයට 90 කට වැඩි පිරිසක්ම වතු ද්‍රවිඩ ජනතාවයි. එම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට දෝතල්ඔය වත්තේ පාසලක් නොමැති වීම නිසා මෙම දරුවන් මෙපමණ දුරක් ගෙවා ඉහත පාසලට යෑමට සිදුව ඇත. මෙම දුර, මාර්ග භාවිත කර ගියහොත් තවත් කිලෝමීටර් පහක් හයක් වැඩිවනු ඇති බවට ප්‍රදේශවාසීහු අප සමඟ පැවැසූහ. මාර්ගය දැඩිව අබලන් වීම හා කිසිදු වාහනයක් ගමන් නොකිරීම නිසා එසේ යෑමට වුවද මෙම දරුවන්ට හැකියාවක් නැත.

එකම රටේ ඇතමකු තම නිවෙසේ සිටම පාසලට සුඛෝපභෝගී රථවාහනවලින් ගමන් කර ඉතාමත් සුන්දර පාසල් වියක් ගත කරද්දී තවත් දරුවන් පිරිසක් ඉතාමත් රළු මාවත්වල පා ගමනින් ගමන් කර තමන් නොදන්නා වෙනත් භාෂාවකින් අධ්‍යාපනය ලැබීමට සිදුවීම කෙතරම් නම් අභාග්‍යයක්ද! වත්මන් රජය හා සමාජය කතා කරන සහජීවනය මෙය දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුව ඇත.

දෙවනගල – ජනනාත් වික්‍රමසිංහ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *