අනතුරකින් ආබාධිත අම්මයි, තාත්තයි පාසල් නොගිහින් දහදුක් විඳ විඳ බලාගන්න දිරිමත් පුතා

(05.08.2018 – mawbima.lk)

මේ දවස්වල 14 හැවිරිදි ගිහාන් විස්මිතට පැවැරී ඇත්තේ සුළු පටු රාජකාරියක් නම් නෙවෙයි. ඒක හරියට දරු පවුලක් බලාගන්නා තාත්තා කෙනකුට පැවැරී තිබෙන ලොකු වගකීම් සම්භාරයක් ඇති රාජකාරියක් වගේ එකක්.

ඒත් ගිහාන් ඒ රාජකාරිය හරි හැටි ඉටුකරනවා. ඔහු උදේ පාන්දර නැඟිටලා තමන්ගේ පුංචි මල්ලිට වගේම නංගිට කන්න කෑම උයනවා. ඊළඟට අම්මා තාත්තාගේ වැඩ. ඒ යුතුකම් ටිකත් ගිහාන් ඉටු කරන්නේ විස්මිත විදියටමයි.

“මට පුතා ගැන හරිම දුකයි. එයා මගෙන් අහගෙන කෑම උයලා අපිට කන්න දීලා ගෙදර හැම වැඩක්ම කරනවා. ඇත්තටම අපිට මෙහෙම වුණේ ඇයි?

“මේ පුංචි දරුවන්ට අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන්න වුණේ මොන පවක් නිසාද? ඇත්තටම අපි කල්පනා කරන්නේ කවදා මේ දරුවන්ට සහනයක් ලැබේවිද කියලා.” මෙහෙම කියන්නේ රෝගී වෙලා ඉන්න තිදරු මවක්. ඇය කේ.ජී. ගීතා.

ගීතා තමන්ගේ ස්වාමිපුරුෂයා එක්ක බොහොම යහපත් විදියට දරුවන් බලාගෙන ජීවත් වුණු මවක්. ගීතාගේ ස්වාමිපුරුෂයා රස්සාව හැටියට කළේ ‍දොඩම් යුෂ අලෙවි කිරීම. ඔවුන් මේ රස්සාව කළේ ඇල්පිටිය-අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ.

ඒත් මේ රස්සාවට කණකොකා හැඬුවෙ පසුගියච මාර්තු 5 වැනිදා. අපි ඒ කතාව ගීතාගෙන්ම අහමු.

“එදා උදේ අපි දරුවෝ තුන්දෙනාම පාසල් යවලා අපේ යතුරුපැදියෙන් අම්බලන්ගොඩ නගරය දක්වා ගමන් කළා.” ඒ අපේ ව්‍යාපාරයට අවශ්‍ය අයිස් කැට අරගෙන එන්න.

“ඒත් අපි හිතපු නැති විදියේ නස්පැත්තියක් අපේ ජීවිතවලට කඩා පාත් වුණා.”

“එදා එකපාරටම වේගයෙන් ආපු ත්‍රිරෝද රථයක් අපේ බයිසිකලයේ ගැටුණා. මේ අනතුරින් දරුවන්ගේ තාත්තාගේ සුෂුම්නාවට හානි වුණා. ඒ නිසා අදටත් ඔහු ඉන්නේ ඇඳක් උඩ.”

මේ අනතුරින් ගීතාගේ පාදයක් බිඳී ගියා. ඒ නිසා ඇයටත් සිදුවුණේ ඇඳක් මතට වී විවේකීව ඉන්න. මේ නිසාම අම්මා තාත්තා දෙන්නගෙන් යැපුණු පුංචි දරුවන්ට සිදුවූණේ ජීවිතේ විඳින්න නෙවෙයි. විඳවන්න.

ඒත් මේ අපේ දරුවෝ එයින් සැලුණේ නැහැ. ඔවුන් තමන්ගේ අම්මා තාත්තා දෙන්නාගේ අසරණකම තේරුම් ගත්තා. විශේෂයෙන්ම 14 හැවිරිදි ගිහාන් පුතා. ඔහු ඉස්කෝලේ යන එකට තාවකාලිකව සමුදීලා ගෙදර වැඩකරන ගමන් රෝගී වී සිටින මවුපියන්ව රැකබලා ගැනීමේ වගකීම අතට ගත්තා.

10 හැවිරිදි ෂෙහාන් හා 7 හැවිරිදි මහේෂා ලොකු අයියට උදවු වුණා.

“මුල් කාලේ මේ දරුවෝ තුන්දෙනාම ඉස්කෝලේ යන්නේ නැතිව අපිට සලකන්න වුණා. ඒ දවස් ගැන මතක් වෙද්දී හිතට එන්නේ පුදුම දුකක්. අපි රැක බලාගන්න ඕන වයසේ ඉන්න දරුවන්ට සිද්ධ වුණා අපිව බලාගන්න.”

මේ කාලය පුරාවට ගීතා – නිමල්ගේ නිවෙස තුළ තිබුණේ දැඩි කෑම හිඟයක්. මුදල් හිඟයක්. අන්තිමට වටපිටාවෙන් ලැබෙන මොනවා හරි දෙයක් අම්මා තාත්තා දෙන්නටත් කන්න දීලා මේ දරු පැටව් තුන්දෙනා යාන්තමින් කුස ගිනි නිවා ගත්තෙ. තවත් අවස්ථාවලදී නොකා නොබී ඉවසාගෙන හිටියා.

ඒ විතරක් නෙවෙයි ඇවිදගෙන ගිහින් වැසිකිළි, කැසිකිළි වැඩ ටික කරගන්න බැරි මේ මවුපියන්ගේ ඒ ගැටලුවටත් උත්තර බැන්දේ මේ දරුවොයි.

ගීතා – නිමල් දෙන්නා ජීවත් වුණේ පුංචි කුලී කාමරයක. ඒ කාමරයේ ඉන්න ගමන් මේ දරු තිදෙනා කරන හෘදයාංගම සත්කාරය දැකලා අපට වට පිටාවේ ජීවත්වන අයගේ පවා නෙතග කඳුළු රැඳුණා.

මිනිස්සු අතර නොමිනිසුන් පවා සිටිනවා. ඒ අයගෙන් කෙනෙක් එක්තරා අවස්ථාවක පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඒ දරුවන්ව පාසල් නොයවා වැඩ ගන්නා බව දන්වමින්.

මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට පැමිණි නිලධාරිනිය මේ දරුවන්ගේ කැපවීම දැක්කා. රෝගීව එක්තැන්වී සිටින මවුපියන්ව රැකබලා ගන්නට දරන වෙහෙස හා හෘදයාංගම සත්කාරය ඇය සියැසින් දුටුවා. අවසානයේ ඇය පවා මේ දරු පවුලට උදවු කරන්න සිතා ගත්තා. පෞද්ගලික මුදල්වලින් ආහාර පාන ලබා දීමට පවා ඇය පෙළඹුණා.

මේ දරුවන්ගේ කැපවීම හා දරුපවුලේ ඛේදවාචකය දුටු කුලී නිවෙසේ හිමිකරු දැන් මුදල් ලබා ගන්නේ නැහැ. ඔහු මේ ප්‍රශ්නය දිහා සංවේදීව බලන්න පුරුදු වෙලා. ඒ විතරක් නෙවෙයි ඒ වටපිටාවේම ජීවත්වන වෛද්‍යවරයකු තමන්ගේ සේවාව නොමිලයේම ලබා දෙමින් ගීතාගේත් – නිමල්ගේත් සෞඛ්‍ය තත්ත්වය ගෙදරටම ඇවිත් බලනවා. බෙහෙත් ටික ලබා දෙනවා. අසල්වැසියන් දරු පවුල කන්නේ බොන්නේ මොනවද කියා සොයා බලනවා.

“අපිට කාලෙකට ඉස්සර ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා ඉඩමක් දුන්නා. ඊට පස්සේ ණයක් අරගෙන අපි එතැන ගෙයක් හදන්නත් පටන් ගත්තා. ‍දොඩම් යුෂ විකුණලා ජීවත්වෙන ගමන් මේ දේවල් පවා අපි කළා. ඒත් අද ඒ හැම දෙයක්ම අතරමඟ නැවතිලා. අපේ දුක දැකපු ස්වාමීන් වහන්සේ නමක් පොරොන්දු වුණා ගෙදර ඉතිරි වැඩ ටික කරගන්න උදවු කරනවා කියලා. දැන් අපි ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා මහත්තයා.” ගීතා සංවේදීව කියනවා.

අපි මේ සටහන ලියන්නේ ගීතා – නිමල් දෙන්නා තවමත් රෝගීව ගිලන් ඇඳේ ඉන්න වටපිටාවක් තුළ ඉඳගෙනයි. අපේ දරු පැටව් දෙන්නා දැන් පාසල් යන්න පටන් අරන්. ඒත් ලොකු දරුවා තවමත් ගෙදර. ඔහු නැති වුණොත් ගීතාට වගේම නිමල්ට සිදු වෙන්නේ ඇඳ උඩටම වෙලා මල මුත්‍රා කරගෙන ජීවත් වෙන්නයි.

“අපි මොනවා කියලා කරන්නද? මටවත් දරුවන්ගේ තාත්තටවත් ගෙදර නවත්තගෙන උදව් ගන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒකම තමයි මේ කරදරවලට මුල.”

මේ අයගේ ජීවිත යම් තත්ත්වයට පත් කරන්න නම් ඇත්තටම ඔබේ උදව් ඔවුන්ට අවශ්‍යයි. එහෙම වුණොත් අගෝස්තු නිවාඩුව ඉවර වුණාම මේ දරුවන් හැමෝටම ඉස්කෝලේ යන්න හැකිවේවි. ඔබ ඔවුන්ට කතා කරන්න. 077 830 5229 අංකය ඒ සඳහා ඔබට උපකාරි වේවි. ඒ වගේම කරන්දෙණිය ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ 223010501121 කේ. ජී. ගීතා නමින් තිබෙන ගිණුමට කිසියම් මුදලක් පරිත්‍යාග කරන්නත් පුළුවන්. ඔබ කරන ඒ පුංචි උපකාරය දවසක මහ ලොකු උපකාරයක් වේවි. අපි මේ සටහන ලිව්වේ අන්න ඒ නිසාමයි.

Bank : Regional Development Bank
Branch : Karandeniya (223)
A/C No. : 223010501121
A/C Name : K G Geetha

T. Phone No. : 077 830 5229

සමන් ප්‍රියංකර නම්මුනිගේ
වැලිපිටිය දිවිතුර – උපුල් මහේෂ්

****************************************

හදිසියේ කෝටිපතියකු වූ බන්ධනාගාර බුද්ධි අංශය බාර නිලධාරියා ගැන විමර්ශනයක්
(02.08.2018 – mawbima.lk)

සිරකරුවන් හා මත්ද්‍රව්‍ය අලෙවි කරන විවිධ ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති බව කියන බන්ධනාගාර බුද්ධි අංශය භාරව සිටි නිලධාරියකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව එකී දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරය තුළ මෙතරම් දූෂණ අක්‍රමිකතා සිදුව ඇත්තේ එකී නිලධාරියාගේ එම දූෂිත ක්‍රියාකලාපය නිසා බවද අනාවරණය වෙයි. මෙකී නිලධාරියා විවිධ සිරකරුවන් සමඟ පවත්වා ඇති සබඳතා හා විවිධ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සිදුකර තිබෙන දුරකථන සංවාද පිළිබඳව මේ වන විට විමර්ශන සිදුකරන කණ්ඩායම් කරුණු අනාවරණය කරගෙන ඇති බවද දැනගන්නට තිබේ. මෙම නිලධාරියාට එරෙහිව ඇති චෝදනා හඳුනාගෙන ඔහුට එරෙහිව උපරිම දඬුවම් ලබාදෙන ලෙසට අමාත්‍යවරිය අදාළ විමර්ශන අංශවලට දන්වා ඇති බවද දැනගැනීමට තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *