දෙවියන් සමීපයේ සිට බුදුන් දකින්නට පැමිණි ගමන

(05.08.2018 – divaina.com)

වයස අවුරුදු අටේදී පමණ හැටන් දික්ඔය ප‍්‍රදේශයේ විසූ සුබ‍්‍රමනියම් මහේන්ද්‍රන් නමැති දමිළ දරුවා කෝවිලක පූජකවරයෙකු ලෙස පත්වන්නේ මහේෂ්වර ෂර්මා නමින්ය. කාලයාගේ ඇවෑමෙන් හින්දු ආගම අතහැර බුදු දහම වැළඳ ගැනීම පමණක් නොව 2016 වසරේදී බගවන්තලාවේ රාහුල නමින් පැවිදි ජීවිතයට එළඹ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව මෙම වසරේ ජුලි මස 21 දින ලබා ගැනීමට පූණ්‍ය මහිමය මතුවීම පිළිබඳ කතා පුවත ලිවීමට අදහස් කළේ මෙය දිවයිනේ හින්දු පූජකවරයෙකු බෞද්ධ භික්‍ෂුවක් බවට පත් වූ ප‍්‍රථම අවස්ථාව ලෙස සැලකෙන බැවිනි.

රත්නපුර නව නගරයේ පිහිටි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ අනුස්මරණ මධ්‍යස්ථානයේදී උපසම්පදා පිංකම පසුගියාදා (21දා) පැවැත්වීමෙන් පසුව මෙම රාහුල හිමියන් දැනට වැඩවෙසෙන බළන්ගොඩ ඉහළ මණ්ඩාවෙල ශ‍්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී හමුවී (27 දා) පිළිසඳරක යෙදුනේ මෙම කතා පුවත පැහැදිලි ලෙස දැන ගැනීමටය. එහිදී ඉතා නිහතමානීව සියලු තොරතුරු රාහුල හිමියන් ප‍්‍රකාශ කර සිටියේ සිංහල බස ඉතා හොඳින් හසුරුවමිනි.

මගේ පියා වත්තක කම්කරුවෙක්. ඔහුගේ නම කන්දසාමි සුබ‍්‍රමනියම් වේ. මව හැටන් ප‍්‍රදේශයේ තේ දලූ නෙළීම ජීවිකාව කරගත් සුප්පයා සරෝජා දේවි නම් වේ. මා පවුලේ බාලයා වූ අතර මට අක්කා කෙනෙක් සහ සහෝදරයෙක් සිටියා. මම වයස අවුරුදු 8 දී පමණ හැටන් දික්ඔය වනරාජා ගණදෙවි කෝවිලේ හින්දු පූජකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. මෙම කෝවිලේ සිටි ප‍්‍රධාන පූජකවරයාගේ මග පෙන්වීම මත ඉන්දියාවේ ගොස් වසර හතක් පමණ හිංදු ආගම, භාෂා ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. එවකට මට එහි පුරවැසි භාවයද ලැබුණා. හින්දු ඉංග‍්‍රීසි භාෂාද හැදෑරුවා. කෙසේ හෝ හැටන් ප‍්‍රදේශයට පැමිණ පූජකවරයෙකු ලෙස කටයුතු කර 2013 වසරේදී බළන්ගොඩට පැමිණ මාරතැන්න කෝවිලේ පූජකවරයෙකු ලෙස කටයුතු ආරම්භ කළා.

මෙය මගේ ජීවිතයේ පෙරළියක් ඇති කිරීමට සමත් වූ යුගයක් වුණා. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ඇසුරු කරමින්, සිංහල බෞද්ධ ගිහි ජනතාව සමග විවිධ සමිති සමාගම්වලට සම්බන්ධ වී කටයුතු කළ අතර සිංහල භාෂා දැනුමද කඩිනමින් ලබාගන්න හැකි වුණා. මෙම අවධිය වන විට මට වැටහුනා ලෝකයේ තිබෙන ආගම් අතර බුදු දහම තරම් දර්ශනවාදී උතුම් දහමක් නැතැයි කියා. භික්‍ෂූන් වහන්සේට ජනතාව දක්වන ගෞරවය ගැනද මා සතුටු වෙමින් උන් වහන්සේ ඉතා ළඟින් ඇසුරු කරමින් බණ දහම් ඉගෙන ගත්තා. ධම්ම පදය පොත මුලින්ම කියවා තේරුම් ගත්තා. ගාථා 423 න් බොහොමයක් කටපාඩම් කරමින් තේරුම විමසුවා.

මේ රටේ යුද්ධය නිමවීමෙන් පසුව ජාතීන් ආගම් අතර සහජීවනය ඇතිකිරීමට වත්මන් රජය විවිධ සංවිධාන පිහිටුවද්දී හින්දු පූජකවරයෙකු ලෙස මාගේ සහභාගිත්වය පොලිසිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතන ලබාගත්තා. නමුත් මගේ යටිහිත නිතරම කිව්වා පැවිදි වීමට යන්න කියා. ඊට මුලදී බාධා ඇති වුණා. සමහර හිමිවරුන්ට මගේ අදහස පැවසූවත් විශ්වාස කළේ නැහැ. එහෙත් උඩගම විහාරස්ථානයේ රාහුල හිමියන්, මද්දේගම බෞද්ධ මධ්‍යස්ථානයේ වජිරසීහ හිමියන් මට උදව් කළා. ඒ අනුව අමරපුර සද්ධම්මවංශ නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක ඕපනායක කන්දේ පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය කුරුවිට සරණංකර මහානායක හිමියන් මාගේ උපාධ්‍යායන් වහන්සේ වුණා. ගුරු ස්වාමීන් වහන්සේ ලෙස බළන්ගොඩ, ඉහළ මණ්ඩාවල සුධර්මාරාමාධිපති කරවිට සුගුණනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි 2016 දෙසැම්බර් 16 දින පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. මෙතැන් සිට බණ දහම් ඉගෙන ගත්තා. දිවා රෑ නොබලා බෞද්ධ පිළිවෙත් සපුරාලන්නට වෙහෙස ගත්තා. ද්‍රවිඩ බසින් මෙන්ම සිංහලෙන්ද ධර්ම දේශනා සිදු කළා. දානමානවලට සහභාගී වුණා.

පසුගිය 27 දා යළි මා වැඩ වෙසෙන විහාරස්ථානයට වැඩම කළා. ප‍්‍රදේශයේ ජනතාව මාව ඉතා ඉහළින් පිළිගෙන පෙරහැරෙන් පන්සල වෙත කැඳවාගෙන පැමිණියා.

මා උපසම්පදාව ලැබීමෙන් පසුව පවත්වන ප‍්‍රථම ධර්ම දේශනාව මේ මස 6 දා මාගේ මෑණියන්ගේ නිවස පිහිටි බළන්ගොඩ සිසිල්ටන් වත්තේදී පවත්වනවා. පසුදින (07 දා) සාංඝික දානයක්ද පිරිනමනවා. මා වෙනුවෙන් අපමණ දුක් ගැහැට විඳි මාගේ අම්මාට මා ධර්මයෙන් හැකි පරිදි උදව් කරනවා. දැනටමත් මාස 6 ක පමණ සිට මාගේ මව පෝයට අටසිල් සමාදන් වනවා. ජාති ආගම් භේදයකින් තොරව බුදුදහම දේශනා කරමින් මාගේ පැවිදි ජීවිතය සාර්ථකව ගතකිරීමට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන බවද බගවන්තලාවේ රාහුල හිමියන් සඳහන් කළේය.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *