පොල්ගහවෙල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

(06.08.2018 – 19:01 +0530 – hirunews.lk/sinhala)

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර වී තිබෙනවා.

පස්වරු 4:50 ට කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය නතර කර තිබූ දුම්රියෙහි පිටුපස ගැටී ඇති බවයි දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

පනලිය දුම්රිය අනතුර නිසා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක්
(07.08.2018 – gossiplankanews.com)

කොළඹ – කොටුව සිට ඊයේ (06දා) ප.ව. 4.35 ට මහනුවර බලා ධාවනය වූ අංක 35 දරන ශීඝ්‍රගාමී දුම්රියට පිටුපසින් පැමිණි අංක 164 දරන රඹුක්කාන බලවේග දුම්රිය ගැටීම නිසා මගීන් තිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතරින් බරපතළ තත්වයේ පසුවූ පස්දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. ඒ අතර කාන්තාවන් 2 ක් හා පිරිමි 3 ක් සිටි බව වාර්තාවේ.

මහනුවර බලා ධාවනය වූ ශිඝ්‍රගාමී දුම්රිය ඒ වන විට කාර්මික දෝෂයකට ලක්ව එම මාර්ගයේ නැවැතී තිබූ දුම්රික් නියාමකවරයාගේ උපදෙස් මත ඉදිරියට තල්ලු කරගෙන ගොස් පානළිය ප්‍රදේශයේ දුම්රිය දෙකම නතර කර තිබී ඇත. මාර්ග සංඥා නොතකා ඊට පිටුපසින් පැමිණි දුම්රියක් තල්ලු කළ දුම්රියේ පසුපස ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පොල්ගහවෙල හා රඹුක්කන අතර “පනලිය” දුම්රිය ස්ථානයට නුදුරුව සිදුවූ මේ අනතුර හේතුවෙන් මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැන එහි පිටුපස මැදිරියටත්, එහි වැදුණු රඹුක්කන බලා ධාවනය වූ බලවේග දුම්රියේ ඉන්ජින් මැදිරියටත් බරපතළ අලාභ හානි සිදුවී ඇතැයි වාර්තා වෙයි.

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකට බරපතළ හානි සිදුවී ඇති බැවින් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගනය අඩාල වී තිබේ. දුම්රිය අනතුරින් තුවාල ලැබූ 32ක් රඹුක්කන, පොල්ගහවෙල හා කෑගල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර එක් අයකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ඊයේ රාත්‍රී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මේ දුම්රිය අනතුර නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකකට අධික අලාභයක් සිදුවී ඇති බවට විශ්වාස කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. අංක 35 දරන කොළඹ – නුවර දුම්රියේ ගාඩ් පෙට්ටියටද, රඹුක්කන කොළඹ දුම්රිය එන්ජිමට ද වැඩි වශයෙන් හානි සිදුවී තිබේ. මහනුවර දුම්රියේ මැද පෙට්ටියක් පීලි පැන ඇති අතර කොළඹ – නුවර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.

සංඥා වැරදි ලෙස තේරුම් ගැනීම මේ අනතුරට හේතු වී ඇතැයි සැක කෙරේ. තුවාල ලත් අයගෙන් 12 දෙනකු රඹුක්කන රෝහලටද, 3 දෙනකු කෑගල්ල රෝහලටද, 17 දෙනකු පොල්ගහවෙල රෝහලට හා ඉන් 8 දෙනකු කුරුණෑගල රෝහලටද, ඇතුළත් කොට ඇත.

– උපතිස්ස පෙරේරා

+++++++++++++++++++++++++++++++++++++

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
(07.08.2018 – 15:50 +0530 – hirunews.lk/sinhala)

පොල්ගහවෙල – පනලිය දුම්රිය අනතුරෙන් පසු අවහිරව පැවති දුම්රිය මාර්ග දෙකම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර,අනතුර සම්බන්ධයෙන් දුම්රියේ රියදුරු, රිය සහායක, නියාමක සහ උප නියාමක යන හතරදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ අනතුර සිදුකළ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියේ රාජකාරියේ නිරත වූ හතරදෙනාගෙයි.

විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵලය ලැබෙන තුරු තාවකාලිකව මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ෴

*******************************************

මිනුවන්ගොඩ දී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
(06.08.2018 – 17:13 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනි අවිය ද සොයා ගත් බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට වාර්තා කර නැවත නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා ෴

*********************************************

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සියයට 24ක ආදායම් බද්ද 15 දක්වා අඩු කෙරේ
(06.08.2018 – 17:11 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයා සමඟ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ සාකච්ඡාවකින් පසු ඔවුන්ට පනවා තිබූ සියයට 24 ක ආදායම් බදු සියයට 15 දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කරනු ලබන සියයට 24 බද්ද සියයට 12 දක්වා යලි පහත හෙලන ලෙස බලකරමින් මීට පෙර ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණා ෴

+++++++++++++++++++++++++++++

වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ – මුදල් ඇමැති
(06.08.2018 – 23:09 +0530 – lankadeepa.lk)

වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ඇමැතිවරයා කීවේය.

සෞඛ්‍ය ඇමැතිවරයා සහ විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඉකුත් සිකුරාදා (3) වැනිදා පැවැති සාකච්ඡාවකදී අදායම් බදු ප්‍රතිශතය වෙනස් කිරීමක් ගැන තීන්දුවක් නොගත් බවද මංගල සමරවීර මහතා පැවැසීය.

වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය ෴

*************************************

සීගිරිය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකයි
(06.08.2018 – 15:43 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය සංචාරක කලාපයේ පිහිටි හෝටලයකට අද අලුයම ඇතුලූවූ කණ්ඩායමක් එහි නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයන් පිරිසකගේ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොල්ලකෑ මුදල පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති බවයි.

කොල්ලකරුවන්, සංචාරකයින් නවාතැන් ගෙන සිටි කාමර 5 කට ඇතුලූවී ඇති අතර, ඊට අදාළ දර්ශන හෝටලයේ සී සී ටී වී පද්ධතියේ සටහන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මීට පෙර ද දඹුල්ල සහ සීගිරිය යන ප්‍රදේශවල සංචාරකයන් ලැගුම් ගෙන සිටි හෝටල්වලට ඇතුලූවී මුදල් කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා ෴

*********************************************

ස්වයංක්‍රිය ගිනි අවියක් සමඟ හිටපු ගුවන් නියමුවෙකු කටුනායකදී අත්අඩංගුවට
(06.08.2018 – 15:09 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිලිමිටර් 6.35 ක වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ මැගසිනයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි පියාසර ගුවන් නියමුවෙකු අද (06) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මිට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමු කපිතාන් වරයෙකු ලෙස සේවය කර ඇති බවටයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.

එමෙන්ම සැකකරු මේ වනවිට කෙන්යාවේ ගුවන් සමාගමක සේවයේ යෙදෙන බවට ගුවන් තොටුපළ පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහු මෙලෙස ගිනි අවියක් රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කුමන කරණාවකටද යන්න පිළබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ පොලිසිය පවසන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *