අර්ජුනගේ සොයුරා නූගත් ධම්මික CPC සහ CPSTL ඛනිජ තෙල් සමාගම් විනාශ කිරීම අරඹයි – සේවකයන්ගෙන් ජනපතිට අගමැතිට ලිපියක්

(11.09.2017 – 08:30 +0530 – lankaenews.com)

වරාය වැනසූ අර්ජුන රණතුංගව, ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් ඇමැති ලෙස පත් කිරීමෙන් පසු ඔහු වරායේ දී මෙන්ම තම නූගත් සොයුරා ධම්මික රණතුංග ඛනිජ තෙල් අමාත්‍යාංශයට අයත් සමාගම් දෙකෙහිම සභාපති ලෙස පත් කළේය. ඊට ජනාධිපතිතුමාගේ අවසරය ලැබුනේ කෙසේද යන්න පුදුමයකි. ධම්මික රණතුංග වරායේ දී කළා සේම තක්කඩි දූෂිත ක්‍රියා රාශියක් දැන් ඛනිජ තෙල් සමාගම් වලටද සිදුකරමින් රටේ මර්මස්ථානයක් වළ පල්ලට යවමින් සිටී. රටේ පාලකයන් රටේ මර්මස්ථාන මෙවැනි නූගත් දූෂිත පිස්සු පකිරෙන්තෙකුට බාර දෙන්නේ මන්දැයි සිහි බුද්ධියක් ඇති රටවැසියන්ට නම් නොතේරේ.. කෙසේ වෙතත් වරායේ සේම ඛනිජ තෙල් සේවකයෝද මේ දූෂිත සභාපතියාට විරුද්ධව අවදි වෙමින් සිටිති. ඔවුන් විසින් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යවන ලද ලිපි කිහිපයක පිටපත් ලංකා ඊ නිව්ස් කර්තෘවරයාටත් එවා තිබේ. පහත දැක්වෙන්නේ එම ලිපි වලින් එකකි. ඉතිරි ලිපි පසුව ප්‍රසිද්ධ කරන්නෙමු.

2017 – 08 – 17

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැති තුමනි,

ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩ් (CPSTL) යන සමාගම් දෙකෙහිම සභාපතිත්වය අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ සහෝදරයකු වන ධම්මික රණතූංග විසින් උසුලනු ලබයි. පළමුවෙන්ම කිව යුත්තේ මොහු ද්විත්ව පුරවැසියකු වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වූවාට පසුව ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බවය.

අර්ජුන සහ ධම්මික දෙබෑයෝ වරායට කළ සන්තෑසියම දැන් ඛනිජ තෙල් අමාත්‍යාංශයටද සිදුකරමින් සිටිති.

ධම්මික රණතුංග සහ ඔහුගේ මිත්‍ර කල්ලිය විසින් CPC සමාගමේ සභාපතිට අයත් නිල නිවසේ ලී බඩු ඇතුළු අනෙකුත් ගෘහ භාණ්ඩ සියල්ල ධම්මිකගේ සහෝදරයකුට අයත් නාවල පිහිටි නිවසකට මේ වන විටත් හොර රහසේ රැගෙන ගොස් ඇත. එමෙන්ම එම නිවසේ අලුත් වැඩියා කටයුතූ සඳහා CPC සමාගමට අයත් ඉංජිනේරු සහ පරිශ්‍ර අංශයේ සේවකයින් සේවයේ යොදවා ඇත. නමුත් වඩාත් භයානක තත්ත්වය වන්නේ CPSTL සමාගමෙහි සභාපතිවරයා ලෙස තම සහෝදරයාගේ නිවසට මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ ගණනක් නියම කර ගනිමින් එම කුලී ගාස්තු ද සමාගමෙන් අයකර ගැනීමට පියවර ගැනීමයි. එපමණක් නොව නිල නිවාසවල තිබෙන බඩු තමන්ගේ නිවාස වලට ගෙන යන අතරේ නිල නිවාස වලට තව තවත් බඩු භාන්ඩ සඳහා ඇස්තමේන්තු සකස් කරන ලෙසට නිළධාරින්ට උපදෙස් ලබා දෙයි.

එමෙන්ම CPSTL සමාගමට අමතරව CPC ආයතනයෙන් නිවසක් වෙනුවෙන් වෙනම ම කුලී ගාස්තුවක් වෙන්කර ගැනීමට ද ක්‍රියාකර ඇති අතර එම නිල නිවස කුළියට දීමේ සුදානමක් ද පවතී. මෙම නිල නිවෙස් වලට ලක්ෂ ගණනින් වියදම් කර විවිධ බඩු භාන්ඩ ගැනීමට ද සුදානම් වන මොහු ඒ සඳහා CPC ඉංජිනේරු සහ පරිශ්‍ර අංශයට සහ CPC ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් CPSTL සමාගමේ නිලධාරීන්ටත් බලපෑම් කරයි. අගෝස්තු දෙවන සතියේ මුල CPSTL සමාගමේ සියළුම නිලධාරීන් ගෙන්වා බැණ වැදුණ ධම්මික නාවල පිහිටි තම සහෝදරයාගේ නිවසට පිඩලි ඇල්ලීම සඳහා CPSTL සමාගමේ සේවකයින් ද රූපවාහිනී යන්ත්‍රයක් කප්පම් ලෙස තවත් ව්‍යාපාරිකයකු ගෙන් ද ලබා ගත්තේ ය. මීට අමතරව ධම්මික රණතුංග ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සඳහා මෙම සමාගම්වල සම්පත් අයථා අන්දමින් භාවිතා කරන අතර මෙම සමාගම් දෙකෙහි මුදල් අයථා ලෙස භාවිතය ගැන අපි රජයේ විගණන අංශය ද දැනුවත් කර ඇත්තෙමු.

අතිගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි.,

රණතුංග පවුලේ මුදල් වලට ඇති කෑදරකම නිසා සිදුවීමට යන මේ විනාශය වැලැක්වීමට ඔබතුමන්ලාට තවමත් හැකියාවක් පවතින බව අපගේ විශ්වාස යයි. මහින්ද රාජපක‍්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පවුල් පාලනට විරුද්ධ වු ඔබතුමන්ලා රණතුංගලාගේ පවුල් පාලනය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අපි නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු.

එමෙන්ම දැනට වඩාත් විනිවිද භාවයෙන් පවත්වා ගෙන යනු ලබන තෙල් ආනයනය කිරීමේ ක්‍රියාදාමයට මොහු අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් සිටී. මේ සඳහා CPC හි වාණිජ අංශයේ ඉහළ කළමනාකරණයට ද කළමනාකරණ අධ්‍යක්ෂකට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ද නිරන්තරයෙන් බලපෑම් එල්ල කරන බව දන්වන්නේ ඉතා කණගාටුවෙනි. එමෙන්ම ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් උසි ගන්වා වර්තමාන ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකරන ලෙසට ආයතනයන්ගේ ඉහළ නිළධාරින්ට ප්‍රකාශ කරන ධම්මික ආණ්ඩුවේ සියළුම සංවර්ධන වැඩසටහන් වලට බාධා කරමින් ප්‍රසිද්ධියේම ඒකාබද්ධ විපක්ෂයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද උත්සාහ දරයි. වෘත්තිය සමිති උසි ගැන්වුවා පමණක් නොව ජනාධිපතිතුමා සමග ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සුදානම් කළ සාකච්ඡා බිඳ දැමීමට ද ධම්මික රණතුංග උත්සාහ කළ නමුත් ඔබතුමාගේ දුරදක්නා නුවණ නිසා එය මග හැරී ගියේය.

තවද ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරීත්වයට උපදෙස් දීමට මෙම පුද්ගලයාට කිසිදු සුදුසුකමක් නොමැති අතර රාත්‍රී කාලයේ දී වැඩ කරමින් ආයතනය ගොඩ ගන්නවාය යන මතය පැතිරවීමේ නිශ්ඵල උත්සාහයක මොහු නිරත වේ. මේ සඳහා තම සේවා වැඩ මුරය අවසන් කල පසුව ද උසස් නිලධාරීන් බලහත්කාරයෙන් ආයතනය තුළ රඳවා ගන්නා මොහු සෙනසුරාදා මෙන්ම ඉරිදා දිනයන්හිදි ද එක්කෝ කාර්යාලයට නැත්නම් දුරකථනයට හෝ ගෙන්වා ගනී. සිය අරමුණ ඉටුකර ගැනීමට කීකරු නොවන සේවකයින් හට පරුෂ වචනයෙන් බැන වදිමින් වර්තමානයේ හිට්ලර්ගේ පාලනයක් මොහු විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩ් සමාගම්වල ගෙන යයි.

මෑතක සිට මොහුගේ බිරිඳ හරහා ද සේවකයින් අපහසුතාවයකට ලක්කරන මොහු රජයේ වාහන අවභාවිතා කරන්නේ රජයේ පිළිගත් ක්‍රමවේදයන් අමු අමුවේ උල්ලංගණය කරමිනි. මේ හා සමාන ක්‍රියාකරකම් රැසක් වරායේ සභාපති ලෙස සිටියදී ද සිදුකළ බව ඒ සේවකයන් විසින් ඔබතුමන් වෙත එවන ලද ලිපි වලින් තහවුරු වේ. හම්බන්තොට වරායේ සේවකයින් උසි ගැන්වීමේ තිරය පිටුපස සිටියේත් ඛනිජ තෙල් වෘත්තීය සමිති හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධව උසිගන් වනු ලැබුයේත් මේ ධම්මික රණතුංග යන ඇමරිකානු ජාතිකයා සහ අර්ජුන රණතුංග බව රටේම ජනතාව දැනගත යුතු වේ. ඒ පිළිබදව ඔබතුමන්ලා දැනුවත් කරන්නේ ඉතාම සංවේගයෙනි.

දැඩි මුදල් පිපාසයකින් පෙළෙන ධම්මික තම කාර්යාලය තුළ නිකරුනේ කාලය කා දමමින් ව්‍යාපාරිකයින් ගෙන්වා ඔවුන්ද බිය වද්දමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීමට පුරුදු වී සිටී. ආයතන දෙකටම ව්‍යාපාරිකයින් ගෙන්වා ගන්නා මොහු ඇතැම් ව්‍යාපාරිකයින් රාත්‍රියට ද ගෙන්වා ගන්නා අතර ආයතනයේ කාන්තා සේවිකාවන් තම සේවා වැඩ මුරය අවසන් කළ පසුවද සේවයේ තබා ගනිමින් තම කාම අශාවන් ඉටුකර ගැනීමට ද උත්සාහ දරයි.

වැටුප් ඉහල දමා ගැනීම බැරිවුනාම ඉන්දියානුවන්ගෙන් කප්පම් ගනී

මොහු කලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස ක්‍රියාකරමින් ඊට අනුබද්ධිත සියලු සමාගම් වලද සභාපතිධූර දරමින් මුදල් ගසා කෑමේ නිරත වුණි. විශේෂයෙන් රාජ්‍ය ආයතන වල උසස් නිළධාරීන් විසින් වැටුප් සහ දීමනාවන් ලබාගත යුතු ආකාරය දැක්වෙන චක්‍ර ලේඛණයන්ද උල්ලංගනය කරමින් රජයේ මුදල් නාස්ති කළ බවත් සෑම ආයතනයකින්ම මාසිකව මුදල් ලබාගත් බවත් වරාය සේවකයින් ඔබතුමන්ට දන්වා ඇත. මෙම ක්‍රියාදාමයම අනුගමනය කරමින් CPSTL ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය නොමග යවමින් වැටුප් මට්ටම් ඉහළ නංවා ගැනීමට ඉදිරිපත් කල අධ්‍යක්ෂ මංඩල පත්‍රිකාව අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින්ගේ විරෝධතා නිසා වළක්වා ගැනීමට හැකි වී ඇත. එහෙත් දැන් වාර්තා වන්නේ ඒ වෙනුවට ඉන්දීය ජාතිකයින්ගෙන් කප්පම් ඉල්ලා ඇති බවයි. මුදල් ලබා දෙන්නේනම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සුදානම් බව මෑතකදී ඉන්දීය සමාගමේ නියෝජිතයාට ප්‍රකාශ කළ බව අපට දැනගන්නට ලැබී ඇත

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ අනුමත වී ඇති සියලුම ව්‍යාපෘති අවලංගු කරමින් ඒවා නිසි ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව යමින් තම හිතවතුන්ට ලබාදීමට ද මොහු උත්සාහ දරමින් සිටී. ඒ සඳහා නිලධාරීන් ප්‍රසිද්ධියේ බිය ගන්වමින් ඔවුන් හරහා වාර්ථා ලබා ගැනීමේ සුදානමක් ද පවතී. ආරක‍්ෂක උපදේශකයකු ලෙසට විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් (දැනට මොහු හම්බන්තොට වරායේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරයි) බඳවා ගැනිමට ක්‍රියාකරන ලෙසට ආයතනයන්ගේ මානව සම්පත් නිලධාරීන් ගෙන්වා බැණ වැදී උපදෙස් ලබාදුන්නේ ය. තම පවුලේ ඥාතින්ට සහ හිතවතුන්ට රැකියා අවස්ථා ලබා දෙනවා පමණක් නොව ඔවුන් හරහා ආයතන දෙකම තම පාලනයට ගැනිමට ක්‍රියාකරයි. මේ හරහා පත්වීමක් ලබාගත් අජිත් ගුණසේකර නැමැත්තා ආයතනය තුළ මත්පැන් මෙන්ම සිගරට් බොමින් ආයතන සතු ප්‍රාදේශීය පිහිටා ඇති බංගලාවලට ගොස් සේවක මහතුන්ට පරුෂ වචනයෙන් බැණ වදී. මෙම කාර්යය සඳහා මාසිකව රුපියල් 75000 ක මුදලක් ද අජිත් ගුණසේකර ලබා ගනියි.

ස්ටාර් මැරයින් සමාගමේ ප්‍රධානියා මොහුට කප්පම් ගෙවන්නෙකු වන අතර ඔහුගේ කොම්පැනියට බංකරින් ඔයිල් පහසුකම් ලබාදීමට උත්සාහ කරන්නේ CPSTL ආයතනය විසින් ඒ සඳහා සුදානම් වන විටය. නමුත් මොහු දේශනා කරන්නේ රාජ්‍ය ආයතන වර්තමාන ආණ්ඩුවෙන් අරක‍්ෂා කරගත යුතු බවයි. අතිගරු ජනාධිපති තුමණි, ගරු අගමැති තුමණි, රාජ්‍ය ආයතන ආරක‍්ෂා කරගත යුතු වන්නේ මෙවැනි හොරුන්ගෙන් සහ කිසිදු සුදුසුකමක් නොමැති මෙවැනි පුද්ගලයන්ගෙන් නොවේ ද ?

තම ඇමරිකානු හිතවත් සමාගමක් ලඟදී කැඳවා ඔවුන්ට නීති ආධාර ලබාදෙන ලෙසට ඉල්ලා සිටිමින් මෙරටේ ධනය සුරාකෑමට ද අර අඳිමින් සිටි. එමෙන්ම නීතියට පටහැනිව යමින් ආයතන දෙක සතු නිල නිවාස සහ ආයතන සතු වාහන තම සහචරයන්ට ලබාදෙයි. මෙපමණක් නොව ඉදිරියේදී උපදේශකයකු ලෙස බඳවා ගැනීමට යන විදේශිකයකුට සංස්ථාව සතු නිල නිවසක් ලබාදීමටද සුදානම් වේ. ඉංග්‍රීසි භාෂාවවත් හරියට නොදන්නා නිතිඥ වරයෙකු අධ්‍යක්ෂ මංඩල ලේකම් ලෙසට පත්කර ඇත. මේ සියල්ලම අර්ජුන ඇමතිවරයා දැනගෙනම සිදුවන අතර ඕනෑම දෙයක් තමාගේ නමට හානියක් නොකර කර ගන්නා ලෙසට ඔහුට උපදෙස්දී ඇති බව කියන මෙම සභාපතිවරයා සමහර කරුණු ඇමතිතුමා සමග සාකච්ඡා කළහොත් සේවයෙන් නෙරපා දමන බවට සහ ස්ථාන මාරුවීම් කරන බවටත් තර්ජනය කරයි. දැනටමත් මෙම සේවක දඩයම ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ද මෙවැනිම ක්‍රියාකාරකම් මොහු විසින් සිදුකරන ලදී.

එබැවින් මෙම ලිපිය ලැබෙන අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා ඇතුළු ඔබතුමන්ලා සියළු දෙනාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කරුණු සොයාබලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. සමාජය ඉදිරියේ සුදු චරිත රඟපාන මොවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි. මෙහි ඇති කරුණු චෝදනා පමණක් ලෙස නොසලකා සිදුවන සහ සිදුවීමට යන විනාශයෙන් මෙම ආයතන බේරාදෙන ලෙසයි. දැනටමත් සිදුකර ඇති අක්‍රමිකතා විභාගකර අවශ්‍ය පිළියම් සහ දඬුවම් ලබාදෙන ලෙසයි. මෙවැන්නන් නිසා අතිගරු ජනාධිපති තුමා, ගරු අගමැතිතුමා සහ අපි සියළු දෙනා පැතූ යහපාලනයට කුමක් වන්නේදැයි නැවත වරක් සිතා බලන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

මීට අගතියට පත් සමාගම් දෙකෙහිම සේවක පිරිස

පිටපත් :
1. ගරු අගමැති තුමා
2. ගරු කථානායක තුමා
3. ගරු විපක්ෂ නායක තුමා
4. ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා
5. කෝප් කමිටුවේ ගරු සභාපති තුමා
6. ගරු විගණකාධිපති තුමා
7. ලංකා ඊ නිව්ස් කර්තෘ තුමා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *