ඥානසාර හිමි වරදකරු වෙයි

(08.08.2018 – 11:04 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04 ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය අද (08) තීන්දු කළා.

මේ පිළිබඳව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව කැදවූ අවස්ථාවේදී දැනුම් දෙනු ලැබුවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබුණා.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව කරුණු සලකා බැලූ නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4 ක් යටතේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා ෴

++++++++++++++++++++++++++++++

ඥානසාර හිමිට වසර 6 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්
(08.08.2018 – 11:20 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6 කින් ගෙවිය යුතු බව නියම කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කටඋන් වහන්සේ වරදකරු කරණ බවයි.

ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම්දෙනු මෙන්න නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත් වරයෙකු මෙන් ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ගොනු කර තිබුණි.

නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම කොළඹ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබාදී තිබුණි.

විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *