වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවක්

(08.08.2018 – 13:25 +0530 – hirunews.lk/sinhala)

වාද්දූව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඊයේ දිනයේදී සාදය පැවති හෝටලය රජයේ රස පරීක්ෂකවරයාගේ විමර්ශණයට ලක් වූ අතර එම අවස්ථාව වන තෙක් හෝටලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සපයා තිබුණා.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම සාදය සදහා බීර සහ විදේශීය මත්පැන් යොදා ගෙන ඇති බවටයි.

එමෙන්ම, සාදය සදහා විදේශිකයන්, කාන්තාවන් ඇතුලු පුද්ගලයින් 1500 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුගිය 4 වන දා රාත්‍රී කාලයේ පෞද්ගලික සමාගමක් මෙම සාදය පවත්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් පිරිසක් එක් කරගනිමින්.

ඊට පෞද්ගලික ආයතනයක් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබුණා.

එහිදී මිය ගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන්.

මේ අතර, වාද්දූව සාදයේ සංවිධායකයින් අත්අඩංගුවට ගන්නා ලෙස සහ ප්‍රදේශයේ මත් උවදුරට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ සංවිධානය වාද්දුව පොලීසිය ඉදිරිපිට අද උදෑසන උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා ෴

******************************************

සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ උතුර පළාත් ඇමතිවරුන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්
(08.08.2018 – 15:10 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට සහ ආනන්දි ශෂිදරන්, කේ. ශිවනේෂන් යන පළාත් අමාත්‍යවරුන්ට අද නියෝග කෙරුණා.

ඒ උතුර පළාත් හිටපු අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පී. ඩෙනීෂ්වරන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එය අවලංගු කරන ලෙස ඉල්ලා මොහු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

ඒ අනුව අභියාචනාධිකරණය එම ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස දැනුම් දුන් අතර එම තීන්දුවට අනුව මෙතෙක් පී. ඩෙනීෂ්වරන්ට අමාත්‍ය ධූරය ලබා නොදීමට එරෙහිව ඔහු විසින් යලි අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එය අද කැදවූ අවස්ථාවේදීයි විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කරනු ලැබුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *