දුම්රිය මගීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව අවට රථවාහන තදබදයක්

(08.08.2018 – 17:12 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

මේ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරුවේ හදිසි වර්ජනයක් ආරම්භ කලා.

ඊට දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක යන වෘත්තිය සමිති ඊට එක්ව සිටිනවා.

මේ අතර දුම්රිය ප්‍රවේශපත්‍ර මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය අද පස්වරුවේ තීරණය කළා.

++++++++++++++++++++++++++++++++++++

හදිසි දුම්රිය වර්ජනය හේතුවෙන් කොටුව උණුසුම් – ප්‍රධාන මාර්ගය වසා දැමෙයි
(08.08.2018 – 17:26 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව කලහාරි ලෙස හැසිරෙමින් සිටියි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමත් සමඟ වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

ඒ අනුව පස්වරු 03.00 ට ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර කාර්යාල දුම්රිය නොමැති වීම හේතුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව ද වාර්තා වෙයි.

මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ඕල්කට්මාවතේ මං තීරු දෙකම දුම්රිය මගීන් විසින් අවහිර කර තිබේ.

පීඩාවට පත් මගීන් කිහිපදෙනෙකු අද දෙරණ සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කළ යුතු බවයි.

ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන බැවින් මෙවැනි වෘත්තිය සමිති කිසිසේත් රටේ ජනතාවට අවශ්‍ය නොවන බව ද සඳහන් කර සිටින මගී ජනතාව තරයේ කියා සිටින්නේ, දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කර තමන්ට සහනයක් සලසා දෙන ලෙසයි.

කෙසේ වෙතත් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මඟින් ගමනා ගමනයේ යෙදෙන මගීන් වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටීයි.

ඇතැම් පිරිස් කඳුළු සලමින් අප වෙත මේ බව කියා සිටි අතර, ඔවුන්ගේ ආවේගශීලි හැසීරීම් හේතුවෙන් කොටුව දුම්රිය පොළේ ඇතැම් පොදු දේපලවලට පවා සුළු සුළු හානි සිදුව තිබේ.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගී ජනතාවට එය ඉදිරිපත් කර කිසිදු ගෙවීමක් සිදු නොකර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් තම ගමනාන්තය වෙත යා හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දීමක් කර ඇත.

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

මගීහු පාලක මැරිදියට පහර දෙති
(08.08.2018 – 19:47 +0530 – lankadeepa.lk)

කොළඹ කොටුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාවත් සමඟ දුම්රිය නැවතුම්පොළට ගිය දුම්රිය මගීහු පිරිසක් කොටුව දුම්රිය නැවතුම්පොළේ මෙහෙයුම් මැදිරියට පහර දෙන්නට වූහ.

කැරලි මර්දන නිලධාරීහු ද එම ස්ථානයේ සිටිති.

දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කරන අයුරු අවාරණය නොකරණ ලෙස මගීහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියහ ෴

++++++++++++++++++++++++++++++++++++

සාකච්ඡාවකට එන්නැයි දුම්රිය වර්ජකයින්ගෙන් රජය ඉල්ලයි – මාර්ග අවසර පත් නොතකා බස් ධාවනයට අවසර
(08.08.2018 – 20:55 +0530 – sinhala.adaderana.lk)

වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිතිවලින් රජය ඉල්ලීමක් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පවසා තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි :

“පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අද දින 2018.08.08 සවස හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම අප රජය වෙනුවෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

ඊයේ (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කරන ලදි. එම තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්රරසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්‍රියා මාර්ගය රජය දැඩි සේ හෙළා දකී.

මෙම හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇත.

දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.

මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇත.

තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.

වැඩ වර්ජනය අවසන් කොට මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටී.”

++++++++++++++++++++++++++++++++++++++

විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවයි
(08.08.2018 – 20:33 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට හෙට (09) දින උදෑසන 6.00 වන විට දුම්රිය මූලස්ථානය වෙත පැමිණ යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබේ.

එමෙන්ම දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන හේතුවෙන් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව කලහාරි ලෙස හැසිරෙමින් සිටියි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමත් සමඟ වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

ඒ අනුව පස්වරු 03.00 ට ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

කොටුව දුම්රිය ස්ථානයට STF ආරක්ෂාව
(08.08.2018 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරුවේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.

ඉන් පීඩාවට පත් මගීන් කළහකාරී ලෙස හැසිරිමත් සමග දුම්රිය ස්ථාන කිහිපයක සහ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරිමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම මෙම වර්ජනයට හේතුව බවයි.

දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරු 3 ට සිය වර්ජනය ආරම්භ කළා.

මේ හේතුවෙන් අද පස්වරු 3 සිට ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබූ දුම්රිය වාර කිසිවක් ක්‍රියාත්මක වුයේ නැහැ.

වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ පසුගියදා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළ වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම හේතුවෙන් තමන් මෙම වර්ජනයේ නිරතවන බවයි.

මෙම හදිසි වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් මගීන් දුම්රිය ස්ථාන කිහිපයක විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලය අසළ රැස්වූ මගීන් විරෝධය පළ කිරීමත් සමග අතිවූයේ උණුසුම් තත්ත්වයක්.

කෝපයට පත්ව සිටි දුම්රිය මගීන් පස්වරු 5 ට පමණ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ප්‍රධාන මාර්ගය රථවාහනවලට ගමන් කළ නොහැකිවන ලෙස අවහිර කළා.

දුම්රිය මගීන් සඳහන් කළේ දුම්රිය ධාවනය සිදු නොවන්නේනම් බස් රථ ධාවනයටද අවස්ථාවක් ලබා නොදෙන බවයි.

එහිදී රථ වාහන තදබදයට හසුවී සිටි බස් රථ මගීන් සහ දුම්රිය මගීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

තත්ත්වය පාලනය කිරිම සඳහා අද පස්වරුවේ ජල ප්‍රහාරක රථ ද සමගින් පෙලිස් කැරලිමර්ධන ඒකකය කොටුව දුම්රිය ස්ථානය වෙත කැඳවනු ලැබුවා.

මගින් අද රාත්‍රි වනතුරුම ඉවත් නොවීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබුවා.

කෙසේ වෙතත්, ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් මහව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළා.

මේ අතර, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට පෙරවරු 6 වනවිට දුම්රිය මූලස්ථානයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය විශ්‍රාමික දුම්රිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අමාත්‍යාංශය සදහන් කලේ දුම්රිය සේවකයින්ගේ වර්ජනය අවසන් වන තෙක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

මේ අතර, අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී දුම්රිය සේවක වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

අනතුරුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

+++++++++++++++++++++++++++++++++

පොදු හා පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයට
(08.08.2018 – 22:27 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික බස්රථ හා ගමනා ගමන මණ්ඩලයේ සියලු බස් රථ ධාවනය කිරීම සඳහා තීන්දුවක් ගත් බවත් මඟී ජනතාවට මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවත් ප්‍රවාහන හ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අද (08) ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත් මඟී ජනතාව වෙත සිය කණගටුව පළ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා :

“දුම්රිය වෘත්තීය සමිති කීපයක් පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයක් සඳහා අවතීරණය වී තිබේ. ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳව රජයක් ලෙස කණගටුව ප්‍රකාශ කරනවා. ඔවුන්ට සාකච්ඡාව සඳහා ආරාධනා කළත් වැඩවර්ජනය තුළින් සාකච්ඡවට එන්න අඳහස් කළ බවක් පෙනුනා, අප ප්‍රකාශ කළා, ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස සහ වැඩවර්ජනය අවසන් කර සාකච්ඡවට පැමිණෙන්න කියලා.

ඊයේ (07) පැවැති කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් තිබුණා, සමස්ත රාජ්‍ය සේවයට ම වැටුප් වැඩි කිරීමට කොමිටියක් පත් කර, කැබිනට් අනුමැතිය ලබාගෙන මාස දෙකක් තුළ ක්‍රියාත්මක කරන්න තීන්දු කරනවා කියලා. ඒ පිළිබඳව සාකච්ඡවට පැමිණෙන්නේ නැතිව මෙලෙස ක්‍රිය කිරීම තුළ සිදු වූ අපහසුතාවය ප්‍රශ්නයක්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි අයට නොමිලේ ගමන් කිරීමට අවසරය ලබා දී තිබෙනවා. ඒවාගේම පුද්ගලික බස් රථ හා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථ ධාවනය කිරීම සඳහා තීන්දුවක් ගත්තා. මාර්ග බලපත්‍රයක් නොමැතිව, ඕනෑම මාර්ගයක ගමන් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

හෙට (09) දින උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් විශේෂ බස් රථ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඩිපෝ 106 දැනුවත් කරන්න පියවර ගන්නවා. උදැසන පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්න ලෙස මඟී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *