වනචර දශකයේ තිරශ්චීන ඝාතන රැසක් සිදුකළ ‘නේවි සම්පත්’ අල්ලයි

(14.08.2018 – News e Lanka)

2008-2009 වකවානුවේ දී ත්‍රිමලය සහ කොළඹ පදිංචිව සිටි සිංහල දෙමළ මුස්ලිම් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන කප්පම් රැගෙන පසුව ඝාතනය කරන ලද තිරශ්චීන අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ නමැත්තා වෙස් වලාගෙන සිටියදී රහස් පොලිසිය විසින් අද අත් අඩංගුවට ගන්නා ලදී.

කොළඹ ලෝටස් පාරේදී මොහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පොල්වත්ත ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කර ඇති අතර හඳුනාගත නොහැකි වන සේ මුහුණ පුරා රැවුල වවා කොණ්ඩය වවා සිටියේ ය. දොම්පේ ප්‍රදේශයේ වත්තක මුර කරුවෙකු වශයෙන් සේවය කරමින් සැඟව සිට ඇත. පසුගිය වනචර දශකයේ දී පැහැරගත් අය රැඳවූ වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබුනේ ද දොම්පේ ප්‍රදේශයේ ය.

ඉහත කී තරුණයන් 11 දෙනා ඝාතනය සම්බන්ධයෙන් බී/732/2009 දරණ නඩු විභාගයේ මොහු ප්‍රධාන සැකකරුවෙකුව නම් කර තිබියදී පරීක්ෂණ සඳහා රහස් පොලිසියට එන්නැයි කියද්දී මොහු හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්නගේ සහායෙන් සැඟවී සිට පසුව විදේශයකට පැන ගිය බවට වාර්තා විය.

නේවි සම්පත්ගෙන් අද ප්‍රශ්න කරද්දී මොහු මැලේසියාවේ සිට දැනට මාස 6 කට පමණ පෙර ලංකාවට පැමිණි බව පවසා තිබේ.

නේවි සම්පත් අල්ලා ගැනීමට මහජන සහාය ඉල්ලා පොලිසිය ප්‍රසිද්ධ පොලිස් නිවේදනයක් සේයාරුවක්ද සහිතව නිකුත් කර තිබූ අතර ජාත්‍යන්තර වරෙන්තුවක් ද සහිතව වරෙන්තු 3 ක් අධිකරණය විසින් නිකුත් කර තිබිණ. එම වරෙන්තු සහ නිවේදන වල සඳහන් වූයේ 41 හැවිරිදි නේවි සම්පත් වැල්ලම්පිටිය වැල්ලවත්තේ අංක 54/1 දරණ ලිපිනයේ පදිංචි කරුවෙකු පවත් දැන් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවයි.

නේවි සම්පත් පා.ම. නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ සැකකරුවෙකු ලෙස පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේ අත් අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබිණ. මොහු තිරශ්චීන ඝාතන පැහැරගැනීම් කප්පම් ගැනීම් සිදුකර තිබුනේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ‘බඩී’ (සමීපතම පෞද්ගලික සහ ආරක්ෂක නිලධාරියා) ලෙස රාජකාරි කළ කාලයේ දී ය. මෙම තිරශ්චීන ඝාතන සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නමද කියැවෙන නමුත් මෙතෙක් ඔහුට එරෙහිව හෝ මෙම ඝාතන සැකකරුවන්ට ආරක්ෂාව දුන්, ඔවුන් රහසිගතව රට පැන්නූ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්නට එරෙහිව හෝ චෝදනා මෙතෙක් ගොනු කර නැත.

නාවික හමුදාපති වරුන්ගේ නොමඳ රැකවරණය ලැබූ නේවි සම්පත් කොටහේන ප්‍රදේශයේ සිටි මොහොමඩ් අලි අන්වර් හාජියාර් නමැත්තෙකු මගින් ඉහත කී තරුණයන් 11 දෙනා පැහැරගෙන කප්පම් ගෙන මරා දමා තිබූ අතර පසුව රහස එළියට යනවාට බියේ මොහොමඩ් අලි අන්වර් හාජියාර් වද පැහැරගෙන මරා දමා තිබිණ.

අත් අඩංගුවට ගන්නා ලද නේවි සම්පත් අද සවස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා එම් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව හෙට (15) දක්වා රඳවා ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *