ඩිලන්ත මාලගමුව ඝාතනයට පාතාලයට කොන්ත‍්‍රාත් දුන් එජාප ප‍්‍රබලයා මෙන්න..

(17.08.2018 – 10:00 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම ජාත්‍යන්තර මෝටර් රථ තරඟ ධාවන ක‍්‍රීඩකයා වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීම සදහා පාතාලයට තොන්ත‍්‍රාත්තුනක් දුන්නේ යයි කියන සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කළ ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය ආසනය හිටපු ආසන සංවිධායකවරයා වන බෙවන් පෙරේරා ගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඩිලන්ත මාලගමුව මහතා හා බෙවන් පෙරේරා අතර ඉඩම් ප්‍රශ්නයක් මුල්කරගනිමින් මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව මහතා ගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත ෴

++++++++++++++++++++++++++++++++.

+++++++++++++++++++++++++++++++

වත්තක් බදු ගත්තාට ජීවිත වන්දියක් ගෙවන්න මාලගමුවට සිදුවෙයිද?
(19.08.2018 – mawbima.lk)

ඩිලන්ත මාලගමුව කිව්වොත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම පුද්ගලයකුම වගේ හඳුනනවා. ඒ නම එහෙම හඳුනන්නේ ඔහු මෝටර් රථයෙන් ලෝකයක් ජයගෙන ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙන දෙන හින්දම නොවෙයි. ඔහු ළඟ කිසිවකු ළඟවත් නොමැති මනුස්සකමක් තිබෙන හින්දයි. සියලුම ශ්‍රී ලාංකික පිරිස ඔහුට දක්වන ගෞරවය හා ආදරය නිසාම “නිහතමානී ශ්‍රී ලාංකිකයෝ” කියලා ඔහුගේ මෝටර් රථයේ සඳහන් කර තියෙන්නෙත් ඔහුගේ මේ නිහතමානීභාවය හින්දම වෙන්න ඇති.

කොහොම වුණත් මෙම අපූරු, අව්‍යාජ, නිහඬ, සැහැල්ලු චරිතයටත් මරණ තර්ජන එනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් බදු පදනම මත ඉඩමක් මිලදී ගෙන ඇති ඩිලන්ත මාලගමුවට එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකුගෙන් එල්ල වී ඇති මරණ තර්ජනය පිළිබඳව මාලගමුව අපට කිව්වේ මෙහෙම දෙයක්.

“මම ඔය වත්ත ගත්තේ අවුරුදු පනහක් ගිවිසුම් ගහලයි. අවුරුදු 15 ක් නොකඩවා මම ඔය ඉඩමට බදු ගෙවලා තියෙනවා. ඒ සියලුම ලිපි ලේඛනත් මගේ ළඟ තියෙනවා. එහෙම බදු ගෙවාගෙන ඉන්නකොට ඔය කියන මනුස්සයා මට වත්ත කරගෙන යන්න ඉඩ දෙන්නේ නැතිව මට මරණීය තර්ජනය කරපු නිසා මම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා”

මාලගමුව ඒ වත්තට බදු ගෙවා තිබියදීත් මේ සිද්ධියට සම්බන්ධ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා විසින් මෙම ඉඩම ඔහුගේ ඥාතියකුට ලියා දී ඇති බව පැවැසෙන නිසා ඒ සම්බන්ධයෙන්ද අපි මාලගමුවගෙන් විමසීමක් කළෙමු.

“මම බදු ගෙවමින් ඉන්න අතරතුරේදී ඔය මනුස්සයා ඔය වත්තේ ලක්‍ෂ 300 ක් වටිනා ගස් කපලා තිබුණා. අනිත් එක එයා මේ වත්ත එයාගේ ඥාතියකුට ලියලා දීලලු. මමත් එක්ක ගිවිසුම් ගහලා තියෙද්දී එයා කොහොමද ඕවා කරන්නේ. මේවා හොයලා බලන්න කවුරුත් නැද්ද? හොරෙන් ගස් කපනවා කියන්නේ ලොකු වැරැද්දක්. ඒ වගේම යම් කෙනකු එක්ක නියමිත කාලයක් සඳහා බදු ගිවිසුම් ගහලා තියෙද්දී වෙන කාටවත් ඉඩමක් විකුණන්නෙ කොහොමද? ඒක නිසා මේ පිළිබඳව සොයා බලන්න කියලා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළා. එතුමා ඒ ගැන වහාම පරීක්‍ෂණයක් සිදුකරන බවත් මට කිව්වා.

“මගේ අම්මට මේවා බලන්න දැන් බැහැ. එයා දැන් වයසයි. ඒ වගේම මගේ බිරිය ඉන්නේ ජපානයේ. එයා කවදාවත් මේවා සොයන්න එන්නේ නැහැ. නංගි තමයි මේ පිළිබඳව ටිකක් හරි සොයලා බැලුවේ. ඇයි මට මේ වගේ අසාධාරණකම් කරන්නේ. කොහොම වුණත් මම මේ අසාධාරණය කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා” කියලා ඩිලන්ත අපට කිව්වා.

කෙසේ වෙතත් ඇති වී ඇති තර්ජන හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩිලන්ත මාලගමුව මහතාට පොලිස් ආරක්‍ෂාව සපයා ඇති බවද වාර්තා වුණා.

– විචිත්‍ර වීරසිංහ

****************************************

උතුරේ දේශපාලඥයන් නන්දිකඩාල් වලට එන්නේ පහන් පත්තු කරන්න විතරයි…
(17.08.2018 – 08:02 +0530 – lankacnews.com)

‘‘ශ‍්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත් වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පවත්වනවා. පාරවල් හදන්න, ජලය ඉල්ලන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, නිවාස පහසුකම් ලබාගන්න, ලංකාව පුරාම මහජනයා පාරට බැහැලා විරෝධතා කරනවා.’’

එහෙත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා පවත්වලා ආණ්ඩුවට හෝ පළාත් සභාවට බලපෑම් නොකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදි පැවති රැස්වීමකදී පැවසීය.

මුලතිව් සංවර්ධන කමිටු සාමාජිකයින් සමඟ යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවති රැස්වීමේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ පැවසූ අතර මෙම රැස්වීමට පැමිණි මුලතිව් සංවර්ධන කමිටුවේ නියෝජිත අන්තෝනි කෲස් මහතා මෙහිදී හැඩු කඳුලින් මෙසේ පැවසීය :

‘‘උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක වලින් දුප්පත්ම හා අසංවර්ධිත දිස්ත‍්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත‍්‍රික්කයයි. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් හොයන්න බලන්න කිසිම ද්‍රවිඩ දේශපාලඥයෙක් එන්නේ නැහැ. මුලතිව් නන්දිකඩාල් වලට උතුරේ දේශපාලඥයින් එන්නේ පහන් පත්තු කරන්න විතරයි. උතුරේ දේශපාලඥයින් ප‍්‍රදේශය සංවර්ධනය වෙනවාට අකමැතියි. ප‍්‍රදේශය සංවර්ධනය වුනාම උතුරේ දේශපාලඥයින්ට ජාතිවාදය පතුරවන්න බැහැ’’ යැයි මෙහිදී අන්තේනි කෲස් මහතා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය :

‘‘උතුරේ ධීවර විශ්ව විද්‍යාලයක් හදනවානම් සුදුසුම ස්ථානය මුලතිව් ප‍්‍රදේශයයි. මුලතිව් නගරයේ ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටිය සඳහා අවශ්‍ය සියලූම සැලසුම් නිර්මාණය කර තිබුණත් අදවන විට එය අතරමඟ නතර වී තිබෙනවා. ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ මා කඩිනමින් සාකච්ඡුා කර විසඳුම් ලබාදෙන බවට අද මෙහිදී මා පොරොන්දු වෙනවා. මුලතිව් දිස්ත‍්‍රික්කය හා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය යා කෙරෙන කෝකිලායි කලපුව මතින් ඉදිකිරීමට යෝජිත පාලම කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සකස් වෙමින් තිබෙනවා.

දකුණේ බොහෝ නිලධාරීන් හා වෛද්‍යවරුන් මුලතිව් වල සේවයට එන්න බලවත් ලෙස අකමැත්ත පල කරන්නේ දිස්ත‍්‍රික්කයේ පවතින අඩුපාඩුකම්, පහසුකම් නොමැති වීම නිසා බව සොයා බැලීමේදී මා හට අවබෝධ වුණා. මුලතිව් රෝහලේ පවතින අඩුපාඩුකම් පිළිබඳවද මෙහිදී සඳහන් කළා. මා ඒ පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට මා මුලතිව් ප‍්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ ඔබ සියලූ දෙනාගේම පැමිණීම හා සහයෝගය අපේක්ෂා කරනවා. මා උතුරු පළාතේ ජනතා සේවකයෙක් මිස ආණ්ඩුකාරවරයා නොවන බවද ඔබ සැම මතක තබා ගත යුතු යැයි මා මෙහිදී සිහිපත් කරනවා.’’

මෙහිදී මුලතිව් සංවර්ධන කමිටුවේ සභාපති, ලේකම් මෙන්ම පැමිණි නියෝජිතයින් බොහෝ දෙනෙකු පැය දෙකකට ආසන්න කාලයක් තම ප‍්‍රදේශයේ අඩුපාඩු පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාව දැනුවත් කළහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *