තිලංගගේ දූෂණයෙන් මිදුනත් වඳුරන් රජ කරන ක්‍රිකට් හෙවත් මුස්තාපා නොදන්නා මඟුල

(17.08.2018 – News e Lanka)

ඇමැති ෆයිසර් මුස්තාපාට මේ දවස්වල හරි ජොලිය. මෙතෙක් දැරූ අමාත්‍යාංශය ඔහුට දැන් අමතක ය. එයින් ඔහුට ලැබෙන පබ්ලිසිටියකුත් නැත. ඡන්දයක් ජය ගැනීමට යමක් කිරීමට ද නොහැකිය. තමන් නොදන්නා ක්‍රීඩා ඇමැතිකමක් පසුගියදා ඔහුගේ හිස මත කඩා වැටුනේ දයාසිරි ජයසේකර තිලංග සුමතිපාලගේ ලණු කමින් රජයෙන් ඉවත් වීමත් සමග ය.

තමන් ක්‍රීඩාව ගැන මෙලෝ මගුලක් නොදන්නා බව මුස්තාපා ක්‍රීඩා ඇමැතිකම බාර ගත් දා කීවේ ය. එහෙත් දැන් ඔහු තරම් ක්‍රීඩාව ගැන දන්නා අයෙකු නොමැති තරම් ය. ඔහු ක්‍රිකට් පිළිබඳ මුලින් තිලංග සුමතිපාලගෙන් සියළු උපදෙස් ලබා ගත් නමුත් පැණිවරකාවට හෙණ ගැසූ අයුරින් දැන් එම දීගය හබක් වී ඇත. තමන් කියන දේ නොකරන නිසා තිලංග දැන් මුස්තාපාට පහර දීම පටන් ගෙන ඇත. මුස්තාපා ද ක්‍රිකට් මගින් තමන්ට ලැබෙන ප්‍රසිද්ධිය, වරප්‍රසාද හා ඡන්ද ප්‍රතිලාභ වෙනුවෙන් මහ මැතිවරණය තෙක් ක්‍රීඩා ඇමැතිකමේ උපරිම භුක්තිය විඳීමට කැමැත්තෙන් සිටී.

මේ සඳහා ඔහු දැන් උපදේශකයන් ලෙස පත් කරගෙන සිටින්නේ හැමෝටම වදයක් වූ සුසන්තිකා ජයසිංහත්, සෑම ක්‍රීඩා ඇමැතිවරයෙකුම අන්දවා තමන්ගේ කටයුතු කරගන්නා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාත් ය. මේ අතරට ක්‍රීඩා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද එක්ව සිටිති. මුස්තාපා සිතා සිටින්නේ ඔවුන් හිතවත්ව තබා ගැනීමෙන් තමන්ට මාධ්‍ය මගින් පහර නොදෙනු ඇතැයි කියා ය.

මැද කොළඹින් තමන්ට අහිමි වන ඡන්ද පදනම රැක ගැනීම සඳහා මුස්තාපා දැන් ක්‍රිකට් භාවිතා කරයි. දකුණු අප්‍රිකාව සමග තරඟ සඳහා ආබාධිත රණවිරුවන්ට හා පාසැල් ළමුන්ට නොමිලේ ටිකට් ලබා දී ඔවුන් සමග එක්ව අප්පුඩි ගසන ආකාරය රූපවාහිනියෙන් සජීවීව පෙන්වා ගන්නා ඔහු ක්‍රීඩාංගණ වල ටිකට් දහස් ගණනක් නොමිලේ ලබාගෙන තම ඡන්ද දායකයන් අතර බෙදා දෙයි.

දිගින් දිගටම ක්‍රිකට් ආයතනයේ බලය අල්ලා ගැනීමට පෙරේත කමකින් පසුවන තිලංගට නිලවරණයට පෙර නිශාන්ත රණතුංග පැවරූ නඩුව නිසා 16 දෙනා කඩාගෙන ගොස් දේශපාලනයේ නන්නත්තාර වූ ආකාරයටම ක්‍රිකට් වලින්ද වලිගය පාගා ගැනීමට සිදුව ඇත. ක්‍රිකට් නඩුව තව මාස ගණනක් ඇදී යන ලකුණු පෙනෙන්නට තිබෙන අතර යම් හෙයකින් තිලංගගේ බුකි හා මාධ්‍ය සම්බන්ධතා අධිකරණයේ ඔප්පු වුවහොත් ඔහුට යළි ක්‍රිකට් නිලවරණයකටද ඉදිරිපත් විය නොහැකි වනු ඇත. මෙය අයිසීසීයේ ද සතුටට කරුණක් වනු ඇත්තේ තිලංගගේ ක්‍රිකට් පරිපාලනය තුළ ඔවුන්ට අසන්නට හා පරීක්ෂණ පවත්වන්නට යෙදෙන තරඟ පාවා දීමේ සිද්ධි වලින් මිදෙන්නට ඔවුන්ට හැකිවන නිසයි.

තිලංගගේ බුකී සම්බන්ධතා මත තරඟ පාවාදීම් ගැන ශ්‍රී ලංකාව තුළ නිතර කියැවේ. අර්ජුන ඇතුළු බොහෝ දෙනා මේ බව පෙන්වා දුන්නත් ජනාධිපති සිරිසේන මෝඩයාට අන්දාගෙන පසුගිය කාලයේ තිලංග කළ රඟපෑම් හේතුවෙන් ජනාධිපතිවරයාත් ක්‍රිකට් ක්‍රීඩාවට කෙළ වුනත් ඇහැ කණ පියාගෙන සිටී.

තිලංගගේ ලණු කෑ දයාසිරි තවමත් ඉඳ හිට රූපවාහිනියේ පෙනී සිටිමින් තිලංගට කඩේ යන්නේ රෙදි නොමැතිව ය. ඒ අතරින් දයාසිරිට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැත.

තම අමාත්‍යාංශ ලේකම් වරයා නිසි බලධාරියා ලෙස ක්‍රිකට් ආයතනයට පත් කළ මුස්තාපා ඊටත් උඩින් සිටිමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද නීති පවරයි. මේවා සඳහා වැඩි උපදෙස් ඔහුට දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පත් වු දුර්වලතම ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා යි. නිලවරණයෙන් පත් වන කුමන පාර්ශවයක හෝ එහෙයියෙකු වන ඈෂ්ලි මේ දිනවල මුස්තාපාගේ ක්‍රිකට් ගැන ඇති අල්ප දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටී. මුස්තාපා ඇන්දවීම ජයටම සිදුකරන ඈෂ්ලි දැන් තමන්ට මෙතෙක් කර ගත නොහැකි වූ දේවල් කර ගනී.

ලිංගික අල්ලස් පිළිබඳ කුප්‍රකට ඉතිහාසයක් ඇති ඈෂ්ලි තමනට අවනත නොවන ලේකම්වරියන්ගෙන් පළිගැනීම එදා මෙන්ම අද ද සිදු කරයි. අස්කරනු ලැබූ එක් ලේකම්වරියක් ඈෂ්ලිට එරෙහිව ගොනු කළ නඩුවක් තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

මසකට රුපියල් මිලියන 6 ක පමණ (සියළු දීමනා සහිතව) වැටුපක් ලබා ගෙන බංග්ලා දේශය හැර දමා පැමිණි චන්දික හතුරුසිංහ ද මේ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සියළු තේරීම් තමන් අතට අරගෙන තේරීම් කමිටුව බලු කර දමා ඇත. තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි ද නටන්නේ හතුරුගේ පදයට ය.

හතුරුගේ සැලසුම වී ඇත්තේ තම කොන්ත්‍රාත්තුව අවසන් කෙරෙන මීළඟ ලෝක කුසලාන තරඟාවලිය පමණි. එනිසා ඔහු සියළු සැලසුම් පිළියෙල කරන්නේ ඒ සඳහා කෙටි කාලීනව මිස ඉන් ඔබ්බට ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් නොවේ. තම කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු හතුරුසිංහ මෙන්ම අසංග ගුරුසිංහ ද නවතින්නේ ඕස්ට්‍රේලියාවේ ය.

එනිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ ඇත්තේ අවිනිශිචිත හා තිලංගගේ දූෂිත පරිපාලනයෙන් මිදුණු නමුත් වඳුරන් රජ කරන සමයකි.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට තහනමක් පනවන්නේ දැයි දැන ගැනීම සඳහා මේ මස අවසානයේ මුස්තාපා ඩුබායි ගොස් අයිසීසී බලධාරීන් මුණ ගැසීමට නියමිතව ඇත. නිලවරණයක් නොපැවැත්වුවහොත් අයිසීසී ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කොට ලැබීමට නියමිත මුදල් ද කපා හරිනු ඇතැයි තිලංග පාර්ශවය මේ අතර කට කතාවක් පතුරුවමින් සිටී.

මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත. උසාවියේ පවතින දෙයකට අයිසීසීය ඇඟිලි නොගසයි. හොඳම උදාහරණය ඉන්දියාව ය. මේ වන විට වසර දෙකක් මුළුල්ලේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු මෙහෙයවන්නේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද කමිටුවකිනි. එනිසා අතුරු කමිටුවක් පත් කිරීම තිලංගලා කියන පරිදි නීති විරෝධී හෝ අයිසීසී විරෝධී නොවේ.

එනිසා ෆයිසර් මුස්තාපා කළ යුත්තේ තමන්ට බැරි දේ නොකොට නිලවරණයක් පවත්වන තෙක් සුදුස්සන්ගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කිරීම ය.

-‘නිව්ස් ඊ ලංකා’ ස්පෝට්ස්මන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *