තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග…

(21.08.2018 – 13:20 +0530 – lankacnews.com)

සත්ව අවිහිංසා ජාතික එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග…

ගවයින් ඇතුළු තවත් සතුන්ගේ ජිවිත අමු අමුවේම බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදාදමන මෙම දිනය ගවයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හා ලොව පුරා කෝටි සංඛ්‍යාත සතුන්ගේ දුක් වේදනා ගුවනට මුසුවන ඛේදනීය දිනයකි. කාර්-මික යුගයේ උච්ච ස්ථානයක සිටින යුගයක තවමත් මෙවැනි ගෝත්‍රික සිරිත් විරිත් වලින් ඈත් නොවී ඒවා බදාගෙන ඉන්නා සොබාදහමත් කම්පා කරවන, නොදියුණු ආගමික සංස්කෘතීන් තවමත් ඉතිරිව තිබීම කණගාටුදායකය.

තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ රුධිරය ගලායන අයුරු දකින දරුවන්ගේ මනසට ඇතිකරන බලපෑම නම් ම්ලේච්ඡත්වය සහ කෲරත්වය මිස වෙනකක් නොවේ. බෙලි කැපී, ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් හා නිවෙස් රුධිරයෙන් දෝවනය කිරීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ. පුරාතනයේ පටන් උතුම් සංස්කෘතික ගුණාංගවලින් හෙබි මෙම පින්බිම තුළ මෙවන් ම්ලේච්ඡ ආගමික චාරිත‍්‍ර හෝ සංස්කෘතියක කොටස් ඔවුන්ගේ උතුම් සංස්කෘතියක් ලෙස අප පිළිගත යුතුදැයි ප්‍රශ්ණ කළ යුතුය.

ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ජිවිත බිලිගන්නා මෙවැනි ආගම් හා ඔවුන්ගේ උත්සව කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? මිනිසත්කමට ඔබිනවාදැයි සිතා බලන්න.

එබැවින්, ඉදිරි දින දෙක තුන, විශේෂයෙන්ම ගවයින්ට ඉතා අනතුරුදායක කාලයකි. ගවයින් හොරකම් කිරීම, වෙනත් ක්‍ර‍මවලින් පැහැර ගැනීම, නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කිරීම හා සගවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේත් වැඩුණු ගවයන් මෙන්ම, වසු පැටවුන් හොරකම් කිරීම් පිළිබඳව දසතින් පුවත් වාර්තා විය.

එම නිසා ඉදිරි දින දෙක තුන තුළ තම නිවෙස් වල, ගව පට්ටිවල, තම ගම්බිම් වල නිදැල්ලේ සැරිසරන ගවයින්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත්, අහිංසක සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම්
සත්ව අවිහිංසා ජාතික එකමුතුව

********************************************

බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..
(21.08.2018 – 12:40 +0530 – lankacnews.com)

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවති.

මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කෝවිල් ඉදිකිරීම සඳහා වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක අවශ්‍යතාවය මතුව තිබෙනා බවටයි.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හදුණාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

යුද්ධය නිසා එම පළාත් වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම් වල අයිතියට පත්ව තිබෙන බවටත් නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල අතීතයේ දන්තධාතූන් වහන්සේද වැඩම කරවීමේ ගමන්මාර්ගයේ එක් සන්ධිස්ථානයක් බවටද වවුනියාවේ බෞද්ධ බැතිමතුන් කියා සිටිති.

බෞද්ධ නටබුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවන විනාශය වහාම නවත්වා බෞද්ධ නටබුන් ආරක්ෂා කිරීමේ වැඩපිලිවලක් දියත් කල යතු බවටද වව්නියාවේ බෞද්ධ බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *