රාජපක්‍ෂ පවුලට මැතිවරණයකට තරග කරන්න බැරිවෙන ව්‍යවස්ථා සංශෝධනයක්… ලංකාවෙන් ලෝක වාර්තාවක්…

(21.08.2018 – 15:00 +0530 – lankacnews.com)

යහපාලන ආණ්ඩුවේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ යළි බලයට ඒම වැළක්වීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ බලයට ඒම වැළක්වීම සඳහා ඕනෑම පාවාදීමක් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බව පැවසූ රණතුංග මහතා රනිල්-මෛත්‍රී හවුලේ එකම හීනය ජාතිය පාවා දී හෝ බලය රැකගැනීම බවත් අවධාරණය කළේය.

මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි. ප්‍රසන්න රණතුංග මහතා එ හිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත වරක් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මතයක් අද මතු වෙලා තියෙනවා. නීති විශාරදයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ සඳහන් කරුණුවලට අනුව මහින්ද මහත්තයට නැවත වරක් ජනාධිපතිවරණයට තරග කරන්න පුළුවන් කියලයි.

මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනාපු ක්‍රමවේදය උඩයි. ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල දේශපාලන භූමියෙන් ඉවත් කරන්නයි. ඒ අනුව තමයි මේ 19 වැනි සංශෝධනය හැදුවේ. මේක රටට, ජාතියට ආදරයෙන් ගෙනාපු සංශෝධනයක් නෙමෙයි.

ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවරයි කියලා මේ සංශෝධනයේ සටහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් බලයට ඒම වළක්වන්නයි. ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ඉල්ලන්න බැහැ කියලා දැම්මේ ගෝඨාභය, බැසිල් ඉල්ලන එක නතර කරන්නයි. වයස් සීමාව අවුරුදු 35 යි කියලා දැම්මේ නාමල්ට වැට බඳින්නයි.

එහෙම බලනකොට මේ සංශෝධනය ගෙනත් තියෙන්නේම රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන බව පැහැදිලියි. මම හිතන්නේ එක පවුලක් ඉලක්ක කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාපු එකම රට ලංකාවයි. රටට වැඩක් කරන්න බැරි වුණත් ආණ්ඩුව මේ වගේ ලෝක වාර්තා නම් ඕනේ තරම් තියලා තියෙනවා.

ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෝ සේරම දැන් කලබල වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නැවත වරක් ඉදිරිපත් වෙයි කියලා. රනිල්- මෛත්‍රී හවුල දන්නවා මහින්ද මහත්තයා ආයේ ඉල්ලුවොත් ඇපත් නැති වෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුව රාජපක්ෂ මර්දනය අලුත් වටයකින් පටන් අරන් තියෙනවා.

පොලීසිය ලවා නීතිය නමලා හරි රාජපක්ෂවරුන් පරාජය කරන්නයි ආණ්ඩුවට දැන් ඕනේ වෙලා තියෙන්නේ. ඒකේ එක පියවරක් තමයි අර විශේෂ මහාධිකරණය. ඒකේ නඩු අහන්න අද පටන් ගන්නවා. තලතා අතුකෝරාල මහත්මියට අපි කියන්න කැමැතියි තමුන්නාන්සේලාගේ නීති තමුන්නාන්සේලාවම හිර කරන දවස වැඩි ඈතක නෙමේ කියලා.

මේ අවුරුදු තුනේ ලූණු බිකක් හරි හොරකම් කරපු කිසිම කෙනෙකුට අපෙන් කිසිම සමාවක් නැහැ. මහ බැංකු හොරුන්ගේ ඉඳන් පුටු හොරු දක්වා ඔක්කොම අපි බලයට ආපු ගමන් කොටු කරගන්නවා. අපි මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් ඒ ජනතා මුදල් කොල්ල කාපු යහපාලන හොරුන්ට විරුද්ධවයි කියලා මතක තියා ගන්න.

දැන් නිදහස් පක්ෂයෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙයි ඉන්නේ මොන්ටිසෝරි ලේකම්ලා දෙන්නෙක්. නිදහස් පක්ෂයේ ඉන්න මහාචාර්යකමකුත් තියෙන මොන්ටිසෝරි ලේකම්තුමා අපිට අභියෝගක් කරලා තියෙනවා මම දැක්කා. ගම් සභාවකටවත් ඡන්දයක් ඉල්ලලා නැති එතුමා කොහොමද අපිට අභියෝග කරන්නේ?

ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ ලක්ෂ ගණන් මනාප අරගෙන ජනතා ප්‍රසාදය දිනා ගත්තු පිරිසක්. ඒ නිසා මොන්ටිසෝරි ලේකම්තුමෝ අභියෝග කරන්න ඉස්සෙල්ලා ටිකක් කල්පනා කරන්න. තමුන්නාන්සේ අන්ධයෙක් වගේ ජනාධිපතිගේ පදයට නැටුවට අපිට කමක් නැහැ. හැබැයි ඒකාබද්ධයට අභියෝග කරන්න එන්න එපා.

අද රටේ ජනමතය තියෙන්නේ අපිත් එක්ක. රටේ විධායක ජනාධිපතිටවත් අගමැතිටවත් ඒකාබද්ධය මට්ටු කරන්න බැරි වුණා. එහෙම එකේ මේ මොන්ටිසෝරි ලේකම්ලා අපිව කොහොම මට්ටු කරන්නද? ඒ නිසා තමුන්නාන්සේට පැවරුණු කොන්ත්‍රාත්තුව කරගෙන පාඩුවේ ඉන්න කියලා අපි එතුමට මතක් කරනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *